Home FoodRecipes රසට කන්න, ලේසියෙන් උයන්න පුංචි පුංචි Tricks කිහිපයක්

රසට කන්න, ලේසියෙන් උයන්න පුංචි පුංචි Tricks කිහිපයක්

by LADY.LK

අපේ ගෙදරක සිද්ධ වෙන සහ සිද්ධ නොවී බැරි ප්‍රධානම දෙයක් තමයි ඉවුම් පිහුම් කියන්නෙ. ඒ වගේම කුඩා දරුවෙක් හැරෙන්නට අනිත් හැම කෙනෙක්ම තේකක් කෝපි එකක් වෙනුවෙන් හරි මුළුතැන්ගෙය පාවිච්චි කරන නිසා අපේ මේ සටහන ඕනෑම කෙනෙකුට වලංගුයි. මේ කියන්න යන්නෙ කාන්තා ඔබට වැඩ පහසු කරවන, රස වැඩි කරවන, නාස්තිය අඩු කරවන, වෙලාව ඉතිරි කරවන කුස්සියට ගැලපෙන tips සහ hacks කිහිපයක්. මේක නිසා අපි හිතේ කරදරෙන් ඉන්න බොහෝ දේවල්වලට සරළ විසඳුම් හොයාගන්න පුළුවන් වගේම අපි හැමෝටම වැදගත් ලේසිය කියන දේටත් මේ වැඩේ කදිමයි.

පවුලටම ලේසියෙන් බිත්තර

ගෙදර උදවියගෙ උදෑසන ආහාරයට ගොඩක් වෙලාවට එකතු වෙන දෙයක් තමයි බිත්තර. සමහරු කැමතියි බිත්තරය නිකංම කන්න. සමහරු කැමතියි බිත්තරය පාන් එක්ක කන්න. කොහොම වුණත් බිත්තර කියන්නෙ අපේ පෝෂණයටත් වැදගත් දෙයක් නිසා අම්මලා බිත්තර හදන්න මැලි වෙන්නෙත් නෑ. අන්න ඒ නිසාම පවුලටම බිත්තර සකසන වෙලාව ඉතිරි කරගන්න ක්‍රමයක් තමයි අපි මේ කියන්න යන්නෙ. කැමති විදියකට ආහාරයට ගන්න, හැමෝම ආසා විදියක් තමයි තරමක් තෙතමනය සහිත කහමදයකින් යුතු poached eggs. වැඩිදෙනෙකුට poached eggs හදන්න ලේසිම විදියක් තමයි අවන් එකේ මෆින් ට්‍රේ එක. මෆින් කප් එකකට වතුර මේස හැන්දක් දාලාඒකට බිත්තරේ කඩලා දාන්න. දැන් අංශක 350ට මිනිත්තු 10ක් බේක් කරගන්න. මේක පාන් එක්ක වගේම ඕනම විදියකට බිත්තර ආහාරයට ගන්න රසම විදියක්. ඒ වගේම පවුලටම ඕන බිත්තර හදාගන්න එකම වෙලාවෙ පුළුවන්කමත් ලැබෙනවා.

වතුර නොවෙන අයිස් කෝපි

මහන්සි වෙලා නිදිමතේ ඉන්න වෙලාවකට ගෙදර ඉඳිද්දි කරන්න හොඳම දෙයක් තමයි කූල්ම කූල් කෝපි එකක් හදාගන්න එක. සාමාන්‍යයෙන් ගෙදරදි අපි කෝපි බොද්දි කැෆේ එකකදි වගේ නෙමෙයිනෙ. ටිකක් වැඩිපුර කෝපි පුරවගන්නවා වගේම ටිකක් වෙලා වැඩිපුර නිදහසේ කෝපි එක බොනවා. අන්න එතකොට ඉතිං කූල් එකට ප්‍රශ්නයක් වෙනවා. ඒකට තියෙන එකම හොඳම විසඳුම තමයි අයිස් කැට. අයිස් කැට නිසා සිද්ධ වෙන ලොකුම අවුල තමයි කෝපි එක එන්න එන්නම වතුර රස වෙන එක. මෙන්න මේ වතුර රස නැති කරගන්න අපිට කරන්න පුළුවන් ලේසිම දෙයක් තමයි අපේ අයිස් ට්‍රේ වලින් එකක් කෝපි අයිස් කැට හදාගන්න වෙන් කරන එක. මේක නිසා අපි අපේ කෝපි එකට කොයිතරම් අයිස් කැට පුරවාගත්තත් කෝපි එක වතුර රස වෙන්නෙ නම් නෑ.

හැන්දෙන් ඉඟුරු 

ඉඟුරු කියන්නෙ පෝෂණීය දෙයක්. ඒ වගේම ලංකාවට ආවේණික රස රස කරි එකක් රස කරන්න ඉඟුරු නැතුවම බැරි තරම්. ඉඟුරු ගැන කොයිතරම් හොඳ තිබුනත් ගෘහණියන් හිතන විදියට ඉඟුරුවල තියෙන ලොකුම අවුල ඉඟුරු සුද්ධ කිරීම. ඒක තරමක් අසීරු දෙයක්. පීලර් එකක් පාවිච්චි කරන්නත් අමාරුයි. ඒ වගේම පිහියකින් ඉඟුරු සුද්ධ කරද්දි ඉඟුරු අපතේ යන ප්‍රමාණයත් වැඩියි. මේකට හොඳම විසඳුම තමයි තේ හැන්ද. සාමාන්‍ය කුඩා තේ හැන්දකින් ඉඟුරු කෑල්ලක් සුද්ධ කරලා බැලුවොත් ඔයාලටම තේරේවි ඒක කොයිතරම් ලේසි වැඩක්ද කියලා.

ෆ්‍රිජ් එක සුන්දර කරගමු

උයන පිහන අයට අතිශය වැදගත් වෙන දෙයක්නෙ ෆ්‍රිජ් එකට. භාවිතයට ගන්න එළවළු, මස්, බිත්තර වගේම කලින් සකස් කරගත්තු සමහර දේවල් පවා තියෙන්නෙ ෆ්‍රිජ් එකේ. එනිසා ෆ්‍රිජ් එක සුන්දර කරගන්න එක අතිශය වැදගත්. ඒ වගේම අපි කියන්නෙ ෆ්‍රිජ් එකේ පිටත ලස්සන මැග්නට්ස් ගහලා ලස්සන කරගන්න එක ගැනත් නෙමෙයි. මේ කියන්නෙ ෆ්‍රිජ් එකේ ඇතුළත සුන්දර කරගන්න විදිය. සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එක හොඳට පිරිසුදු කරාට පස්සෙ ෆ්‍රිජ් එකට එහෙම්මම දේවල් පුරවන්නෙ නැතුව ප්ලාස්ටික ඇසුරුම්වල දාලා ඇසිරීම් කරන එක තමයි හොඳම. ඒ වගේම සතියකට වතාවක්වත් ෆ්‍රිජ් එකේ අපිට අනවශ්‍ය දේවල් සැඟවිලා ගොඩගැහිලා තියෙනවනම් අයින් කරන එකත් වැදගත්. ඒ වගේම සතියකට එක පාර උයන කෙනෙක් නම් හොඳින් පියන වැහෙන මයික්‍රොවේව් බොක්සස් අරගන්න. එකෙන් ඔයාගෙ ෆ්‍රිජ් එකේ ඇතුළෙන් හොඳි සුවඳ වහනය වීම නවතිනවා. අධිශීතකරණයේ මස් මාළු තබාගන්නත් මේ ප්ලාස්ටික් ඇසුරුම් ක්‍රමය පාවිච්චි කරන එකෙන් ගඳ වහනය වීම අවම කරනවා වගේම, එක වරකට ගෙදර අයට අවශ්‍ය ප්‍රමාණය කැබලි කර පෙට්ටිවල දමා තබා ගැනීමෙන් විශාල පහසුවකුත් වෙනවා. ඒ වගේම ෆ්‍රිජ් එකේ බඩු අසුරද්දි නිතරම අතට ගැනෙන බටර්, ජෑම්, කූල් වතුර, චීස් වගේ දේවල්වලට නිශ්චිත හොඳින් පෙනෙන තැනක් තියාගැනීමත් පහසුයි. ෆ්‍රිජ් එකෙන් යම් ගඳක් එනවා නම් කුඩා තැටියක කෝපි කුඩු ටිකක් දාලා ඒක ෆ්‍රිජ් එක ඇතුළෙන් තියන්න. ගඳ ඉබේම නැති වෙලා යයි.තක්කාලි, කෙසෙල්, අඹ, අල, මී පැනි වගේ දේවල් ෆ්‍රිජ් එක ඇතුළෙ දාන්න හොඳ නැති දේවල්. ඒ වගේම ෆ්‍රිජ් එක ඇතුළේ තිබීමෙන් ඔයාලා නොහිතන වාසි දායක දේවලුත් තියෙනවා. පාන් පිටි, ධාණ්‍ය වර්ග, මොයිස්චරයිසර්, නේල් පොලිෂ්, ඉන්ස්ටන්ට් කොෆී වගේ දේවල් ෆ්‍රිජ් එකේ දාලා තියන එක වාසියක්.

ඕන විදියට පළතුරු

ගෙනාපු අලිගැටපේර ඉක්මනින් ආහාරයට ගන්නට උවමනායිද? එහෙමනං ඒ ටික බ්‍රවුන් පේපර් බෑග් එකක දාලා වහලා තියන්න. ඉක්මනින් ඉදේවි. කෙසෙල් ගෙඩි ඉක්මනින් ඉදීම වළක්වා ගන්න ඇවරියක් ලෙසින් නොතබා කෙසෙල් වෙන් කර එහි මුදුන ෆොයිල් එකකින් හෝ ප්ලාස්ටික් රැප් එකකින් වසා තබන්න. ඔබට පහසු ලෙසින් ආහාරයට ගන්න. ගෙදරට අමුත්තන් එද්දි ඇපල් කපා තබන එක ඔයාට ලේසියක් වුවත් අමුත්තන් එන වෙලාව වෙද්දි ඇපල් දුඹුරු පාට වීම වළක්වා ගන්න බෑ. ඒ නිසා කැපූ ඇපල් නැවත් ඇපල් ගෙඩියක් ලෙසින් එක් කර තබන්න. දුමුරු පැහැ කහට නොබැඳී දිගු කල් තබා ගත හැකියි.

කපන්න ලේසි මස්

උයන්නට පෙර මස් කපද්දි අපි සීතලා සම්පූර්ණයෙන්ම ඉවත් කරලා වැඩේ ආරම්භ කරන එකේ අවාසියක් තියෙනවා. ඒ තමයි තෙල් සහිත මස් කැපීමට අපහසු වීම. මේ නිසා විනාඩි දහයක් වත් ශීතකරණයේ තියපු මස් කපන්නට ලේසියි වගේම, කපන කොටස්වල පෙණුමද තෙල් ගැලවී ගොස් හැඩය වෙනස් වුණු පෙණුමක් වන්නේ නැහැ.

Related Articles