Home FoodRecipes වෙනස් රසක බත් වර්ග 3ක් හදලා බලමුද

වෙනස් රසක බත් වර්ග 3ක් හදලා බලමුද

by ladylk

මොන තරම් රස කෑම හදලා කෑවත් බත් ටිකක් කනකන් අපේ බඩට විතරක් නෙවෙයි හිතටත් සතුටක් නෑනේ නේද? ඒත් ඉතින් එකම විදියට බත් උයලා, එළවලු වෑංජන හදාගෙන කන එකත් හැමදාම කරන්න හිතෙන දෙයක් නෙවෙයිනේ. ඉතින් මේ ඒකාකාරී කෑම වේලට වෙනසක් එකතු කරගන්න කැමති නම් අපි මේ කියලා දෙන රසම රස බත් වර්ග තුන හදලා බලන්නකෝ. ඒ විතරක් නෙවෙයි ගෙදරට එන අමුත්තොන්ට පිළිගන්වන්නත් මෙය කදිම ආහාර වේලක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

Mutton biryani

අවශ්‍ය ද්‍රව්‍ය:- බාස්මතී සහල් 500g, එළුමස්  300g, ලොකු අර්තාපල් අල 2, ලොකු ලූණු ගෙඩි 2, තක්කලි ගෙඩියක්, yogurt මේස හැඳි 3, අමු මිරිස් කරල් 4, මිංචි කොළ සහ කොත්තමල්ලි කොළ ස්වල්පය බැගින්, bay leaf 1, star anise 1, කරඳමුංගු ඇට 3-4, කරාඹු නැටි 2, ඉඟුරු සුදු ළූණු paste ස්වල්පයක්, කුරුඳු කැබැල්ලක්, වසාවාසි ස්වල්පයක්, මිරිස් කුඩු තේ හැඳි 1, කහ කුඩු තේ හැඳි ½, biryani masala powder තේ හැඳි 1, ghee/ butter/ පොල් තෙල් වර්ගවලින් එකක්, ලුණු

පිසගන්නා ආකාරය:- තරමක් ලොකු කැබලි කපා හොඳින් පිරිසිදු කරගත් mutton වලට මිරිස් කුඩු, කහ කුඩු, masala powder, yogurt සහ රස අනුව ලුනු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මේ මස් ටික හොඳින් marinate වීම සඳහා පැයක් පමණ තිබීම අවශ්‍ය වෙනවා. ඉන් පසු ලොකු ළූණූ සිහින්ව ලියා රන්වන් පැහැ වන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න. බඳුනක් ලිපේ තියා එයට ghee, butter හෝ තෙල් දමා රත් කරගන්න. එයට ඉඟුරු සුදු ළූණු paste එක දමා මඳක් බැදෙන විට කපාගත් අමු මිරිස් සහ marinate කරගත් mutton ටික දමා හොඳින් මිශ්‍ර කරමින් මඳ වෙලාවක් බැදගන්න. ඉන්පසු එයට බැදගත් ලොකු ළූණු වලින් අඩක්, තරමක් විශාලවට කපාගත් අර්තාපල්, තක්කාලි කැබලි, අවශ්‍ය පමණට ලුණු, කපාගත් මිංචි සහ කොත්තමල්ලි කොළ එකතු කර තවත් විනාඩි 15ක් පමණ කාලයක් පිසෙන්නට ඉඩ හරින්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. මෙය හොඳින් තැම්බී මඳක් උකු ගතියට එනතුරු හිඳීම අවශ්‍ය වෙනවා. වෙනත් බඳුනක් ලිපේ තියා ghee එකතු කර රත්වෙන්නට ඉඩ හැර එයට කරඳමුංගු, කරාඹු නැටි, වසාවාසි, කුරුඳු, bay leaf, star anise සහ සෝදාගත් සහල් එක් කරගන්න. සාමාන්‍ය පමණට වඩා අඩුවෙන් වතුර යොදා බත පිසගන්න. ඉන්පසු තරමක් විශාල බඳුනක් ගෙන එහි අඩියට පිසගත් බත්, මස්, බැදගත් ළූණු, කොත්තමල්ලි සහ මිංචි කොළ  මාරුවෙන් මාරුවට තට්ටු කිහිපයක් වශයෙන් දමාගන්න. මෙහි පියන වසා තවත් විනාඩි 15ක් පමණ මඳගින්නේ තම්බාගෙන, බෙරි නොවන සේ ප්‍රවේශමෙන් කවලම් කරගෙන ආහාරයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා.

Nasi goreng

අවශ්‍ය ද්‍රව්‍ය:- පිසගත් බාස්මතී බත් කෝප්ප 2, කුඩා කැබලි කපාගත් chicken කෝප්ප 1 ½, රවුමට කපාගත් දැල්ලෝ කෝප්ප ½, පොතු ඉවත් කර කපාගත් ඉස්සෝ කෝප්ප ½, කොටුවට කපාගත් කැරට් කෝප්ප ½, සිහින්ව ලියාගත් ගෝවා කෝප්ප ½, සිහින්ව කපාගත් ළූණු කොළ මේස හැඳි 2, කොටුවට කපාගත් ලොකු ළූණු ගෙඩි 1, කපාගත් ඉදුණු අමු මිරිස් කරල් 2, ඉඟුරු සුදු ළූණු paste තේ හැඳි 2, soya sauce සහ fish sauce ස්වල්පය බැගින්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, butter මේස හැඳි 1, බිත්තර 2, chilli paste මේස හැඳි 1

පිසගන්නා ආකාරය:- බඳුනක් ලිපේ තබා රත් කර butter, chicken, ඉස්සෝ සහ දැල්ලෝ එකතු කර හොඳින් බැදෙන්නට හරින්න. ඒ අතරවාරයේ එයට කැරට්, ලොකු ළූණු සහ අමු මිරිස් එකතු කරගන්න. මේ තෙම්පරාදුව මඳක් පසෙකට ඉවත් කර, whisk කරගත් බිත්තර දෙක බඳුනට දමා scramble කරගන්න. ඉන් පසු ගෝවා සහ chili paste එකතු කර හොඳින් මිශ්‍ර කරගෙන බත් කෝප්ප 2 එකතු කර බැදෙන්නට ඉඩ හරින්න. අවසානයට soya sauce, fish sauce, රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පය බැගින් එකතු කරගෙන බත් එක පොඩි නොවෙන ආකාරයට මිශ්‍ර කරන්න. කපාගත් ළූණු කොළ ටික උඩින් ඉස පිළිගන්වන්න.

දුන් තෙල් බත්

අවශ්‍ය ද්‍රව්‍ය:- සහල් 500g (කීරි සම්බා හෝ සූදුරු සම්බා), සිහින්ව ලියාගත් ලොකු ළූණු ගෙඩි 1, තරමක් විශාල කුරුඳු පොතු කැබැල්ලක්, ගම්මිරිස් ඇට 8-10, දුන් තෙල් මේස හැඳි 3, කරදමුංගු ඇට 3-4, කරාඹු නැටි 2, රම්පේ, කරපිංචා, සේර, ලුණු

පිසගන්නා ආකාරය:- බඳුනක් ලිපේ තියා දුන් තෙල් දමා රත් කර, එයට ලොකු ළූණු, ගම්මිරිස් ඇට, කරාඹු නැටි, කරදමුංගු, සේර, රම්පේ, සහ කරපිංචා එකතු කර බැදගන්න. ඉන් පසු මෙයට සෝදා වතුර බේරාගත් සහල් ටිකත් එකතු කර බැදෙන්නට හරින්න. විනාඩි 5 කට පමණ පසු කහ කුඩු, ලුණු කුඩු සහ උතුරන උණුවතුර කෝප්ප 3 ½ ක් පමණ එකතු කර බඳුනේ පියන වසා බත තම්බාගන්න. විනාඩි 10-12 ට පමණ පසු බත ප්‍රවේශමෙන් කූරු ගා, නැවතත් පියන වසා තවත් විනාඩි 5ක් පමණ මඳ ගින්නේ පිසගන්න. තවත් වතාවක් පියන හැර රම්පේ, කරපිංචා සහ සේර කැබලි ඉවත් කර බත නියම පමණට තැම්බෙන තුරු පියන වසා පිසගෙන පිළිගන්වන්න.

Related Articles