Home FoodRecipes තේ වෙලාවට කදිමට ගැළපෙන රසකැවිලි කිහිපයක් හදමු ද

තේ වෙලාවට කදිමට ගැළපෙන රසකැවිලි කිහිපයක් හදමු ද

by ladylk

Plain tea එකක් හරි tea එකක් හරි බොනවට වඩා මොනවා හරි පැණි රස කැවිල්ලක් කන ගමන් කහට එකක් බොන එකේ තියෙන්නේ වෙනමම ගතියක්නේ. ඒ වගේම තමයි මේ රසකැවිලි ගෙදර හදනකොට තමන්ගේ රුචි අරුචිකම් අනුව සීනි, පැණි එකතු කරගෙන පිරිසිදුව හදාගන්න පුළුවන් නිසා බය නැතුව පොඩ්ඩොන්ට වගේම වැඩිහිටියන්ටත් රස බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් lady.lk අපි මේ ලිපියෙන් අරන් එන්නේ තේ වෙලාවට කදිමට ගැළපෙන රසවත් කැවිලි කිහිපයක් සකස් කරගන්නා ආකාරයයි.

හැලප

අවශ්‍ය ද්‍රව්‍ය:- පාන් පිටි ග්‍රෑම් 50, කුරක්කන් පිටි ග්‍රෑම් 150, වතුර, ලුණු, කරඳමුංගු කුඩු ස්වල්පයක්, ගාගත් පොල් ගෙඩි බාගයක්, සීනි ග්‍රෑම් 100, කැන්ද කොළ

සකස් කරගන්නා ආකාරය:- තරමක් විශාල බඳුනක් ගෙන එයට පාන් පිටි, කුරක්කන් පිටි සහ රස අනුව ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන් පසු වතුර ස්වල්පය බැගින් එකතු කර හොඳින් අනාගෙන අතේ නොඇලෙන ආකාරයේ dough එකක් සකස් කරගන්න. එයින් අවශ්‍ය ප්‍රමාණයේ බෝල කිහිපයක් සකස් කරගෙන පසෙකින් තියන්න. පැණි පොල් සකස් කරගැනීම තමයි ඊළඟ පියවර වෙන්නේ. බඳුනක් රත්කර, වතුර ස්වල්පයක් සහ සීනි දමා පැණි සකස් කරගන්න. එයට ලුණු ස්වල්පයක්, කරදමුංගු කුඩු සහ ගාගත් පොල් එකතු කර හොඳින් මලවාගෙන ලිපෙන් ඉවත් කරගන්න. පිරිසිදු කැන්ද කොළ ගෙන ඒ මතට කුඩා පිටි බෝල දමා තුනී කරගන්න. ඉන් පසු ඊට උඩින් පැණි පොල් දමා තුනී කරගෙන කැන්ද කොළය දෙකට නවා හුමාලයෙන් තම්බාගන්න.

හාල් පිටි අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය:- කැකුළු සහල් ග්‍රෑම් 250, හකුරු ග්‍රෑම් 150, පැණි කෝප්ප ½, කරඳමුංගු කුඩු ස්වල්පයක්, වැනිලා ස්වල්පයක්, ගා ගත් පොල් කෝප්ප 1, ලුණු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්

සකස් කරගන්නා ආකාරය:- පිරිසිදු කර පැය 2ක් පමණ පොඟවා ගත් සහල් වල වතුර බේරා වියළා ගන්න. ඒවා රන්වන් පැහැවන තෙක් බැදගෙන සිහින්වන තුරු හොඳින් grind කරගන්න. පැණි රත් කරගෙන එයට කරදමුංගු කුඩු, වැනිලා සහ grate කරගත් හකුරු මිශ්‍ර කරගන්න. ඉන් පසු ගාගත් පොල් සහ අවශ්‍ය පමණට ලුනු එකතු කරන්න. අවසානයට ගම්මිරිස් කුඩු සහ පිටි එකතු කර හොඳින් මිශ්‍ර කර මඳ රස්නයක් තියෙද්දීම කුඩා ප්‍රමාණයේ බෝල සකස් කරගන්න.

වන්ඩු

අවශ්‍ය ද්‍රව්‍ය:- කැකුළු සහල් පිටි ග්‍රෑම් 200, පාන් පිටි ග්‍රෑම් 50, පැණි කෝප්ප 1, පොල් වතුර කෝප්ප ½, ලුණු, උකු පොල් කිරි කෝප්ප ½ ක් පමණ, yeast තේ හැඳි ¼, සිහින්ව ගාගත් පොල් මේස හැඳි 2, කැන්ද කොළ හෝ කෙසෙල් කොළ.                                     

සකස් කරගන්නා ආකාරය:- මුලින්ම yeast ටිකට සීනි ස්වල්පයක් සහ මඳ උණුසුම් ජලය එකතු කර විනාඩි 10ක් පමණ පිපෙන්නට තියන්න. සහල් පිටි, පාන් පිටි, පොල් කිරි, පැණි, පොල් වතුර, රස අනුව ලුනු සහ yeast එකතු කර මිශ්‍රනයක් සකස් කරගන්න. මෙය පැය 6ක් පමණ පිපෙන්නට තැබීම් අවශ්‍ය වෙනවා. (මේ වන්ඩු මිශ්‍රනය ආප්ප මිශ්‍රනයට වඩා තරමක ඝනකම් මිශ්‍රනයක් විය යුතු වෙනවා). ඉන් පසු කැන්ද කොළවලින් ගොටු සකස් කරගෙන මිශ්‍රනය වත් කර මිනිත්තු 30ක පමණ කාලයක් steam කරගන්න.

තල බෝල

අවශ්‍ය ද්‍රව්‍ය:- සුදු තල ග්‍රෑම් 100, ගාගත් පොල් කෝප්ප ¼, හකුරු ග්‍රෑම් 100, කරදමුංගු කුඩු ස්වල්පයක්, වැනිලා ස්වල්පයක්, ලුණු

සකස් කරගන්නා ආකාරය:- grate කරගත් හකුරු, ළාවට කබලේ බැදගත් පොල්, කබලේ බැදගත් පිරිසිදු තල, කරදමුංගු කුඩු, රස අනුව ලුනු සහ වැනිලා ස්වල්පයක් හොඳින් මිශ්‍ර කරගෙන අනාගන්න. ඉන්පසු මේ මිශ්‍රනයෙන් කුඩා ප්‍රමාණයේ බෝල සකස් කරගන්න.

නාරං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය:- සීනි 200, කැකුලු සහල් පිටි ග්‍රෑම් 350, පාන් පිටි මේස හැදි 2, ගාගත් පොල් ගෙඩි ½, බිත්තර 1, පොල් කිරි කෝප්ප 1, ලුණු, කහ කුඩු තේ හැඳි ½

සකස් කරගන්නා ආකාරය:- සහල් පිටි ග්‍රෑම් 250ක් සහ ගාගත් පොල් එකතු කර වතුර ස්වල්පය බැගින් මිශ්‍ර කරමින් පිට්ටු මිශ්‍රනයක් ආකාරයට සකස් කරගන්න. එය මිනිත්තු 30-45ක් පමණ කාලයක් හුමාලයෙන් තම්බාගෙන නැවත කැටිති ආකාරයට සකස් කරගන්න. Caramel කරගත් සීනි ස්වල්පයකට වතුර ස්වල්පයක් දමා මිශ්‍ර කරගෙන ඉතිරි සීනි සහ රස අනුව ලුනු එකතු කර විනාඩි 5-7ක් පමණ උණු කරගන්න (අවශ්‍ය නම් පැණි වලින් හදාගන්නත් පුළුවන්). මෙයට තම්බාගත් පිටි මිශ්‍රනය එකතු කර මිනිත්තු 10ක් පමණ හොඳින් හැඳි ගාමින් මඳ ගින්නේ පිසගන්න. මෙම මිශ්‍රනය නිවුණු පසු කුඩා බෝල සදා පසෙකින් තියන්න.

බඳුනකට බිත්තරය, පොල් කිරි, කහ කුඩු සහ අවශ්‍ය පමණ ලුණු දමා හොඳින් whisk කරගෙන එයට හාල් පිටි ග්‍රෑම් 100ක් සහ පාන් පිටි මේස හැඳි 2ක් එකතු කරන්න. මෙය හොඳින් කලවම් කර තරමක් ඝනකම් batter එකක් සකස් කරගන්න. බඳුනකට තෙල් දමා හොඳින් රත් කරගන්න. කලින් සකස් කරගත් නාරං කැවුම් බෝල පිටි batter එකේ දවටාගෙන රන්වන් පැහැවන තෙක් ගැඹුරු තෙලේ බැදගන්න.

Related Articles