Home #BossladyEntrepreneurship ව්‍යාපාරයක් අරඹන්න කලින් සැළසුමක් හදමු

ව්‍යාපාරයක් අරඹන්න කලින් සැළසුමක් හදමු

by LADY.LK

ව්‍යාපාරයක් කියන්නෙ බොහෝ දෙනෙකුට සිහිනයක්. ඒ වගේම සිහිනය සැබෑ කරගන්නට ඒ තරම් පහසු සිහිනයකුත් නෙමෙයි. ඒ ව්‍යාපාරයක් සමග බැඳුනු වෙනත් කාරණා බොහොමයක් තිබෙන නිසායි. ව්‍යාපාරයක් අරඹන්නට කලින් අපි සිදු කළ යුතු සැළකිය යුතු වපසරියක groundcheck එකක් තියෙන නිසාම මේ සටහන ලියන්නෙ ව්‍යාපාර ලෝකයට එළැඹෙන්නට ඉන්න අයට තමන්ගේ ව්‍යාපාරයක් අරඹන්නට පෙරාතුව සිදු කළ යුතු දේ ගැන මූලික අවබෝධයක් ලබා ගන්නයි. ඒ වගේම අතේ සල්ලි තිබුණු පළියට හෝ වටේ මිනිසුන් සිටි පළියට ව්‍යාපාරයක් ආරම්භ කරනවා වෙනුවට නිසි අව​බෝධයකින් ව්‍යාපාරයකට යොමු වීම තමයි ඒ ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතු වෙන්නේ. නැතිනම් කවුරුන් හෝ කියූ නිසාවෙන් ජොබ් කරලා වැඩක් නැතැයි සිතා ව්‍යාපාර කිරීමට යාම විනාශයට අත වැනීමක්.

අත්දැකීම්

අපි අපේ අත්දැකීම් ඇති පැතිකඩ ගැනහොඳ විමසුමක් කරන්නට උවමනායි. මොකද අපි සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් වෙනුවෙන් යොමුවෙනවාට වඩා අපිට අත්දැකීම් ඇති පැත්තකින් ව්‍යාපාරික අදහසක් ලබා ගැනීම අපිට වෙළඳපොල තේරුම් ගැනීමට, අන්තරාය තේරුම් ගැනීමට උදවුවක් වෙනවා. උදාහරණයකට ඔයා පොත් කියවන කෙනෙක් නම් පොත් සම්බන්ධ ව්‍යාපාරයක් අරඹන්න එය උදවුවක්. ලෝකයේ අලුත් විලාසිතා ගැන හොයන, කෑමට ආසා අයට ඒ ඒ අත්දැකීම්වලින් තමුන්ගේ ව්‍යාපාරයට උදවුවක් ගන්න පුළුවන්.

හැකියාව

අත්දැකීම් තිබීම ව්‍යාපාරයක් අරඹන්නට පැතිකඩක් විවර කරගන්නට හොඳ වුණත් ඉන් ඉදිරියට යන්නට යම් හැකියාවකුත් තිබිය යුතුයි. උදාහරණයකට ඔයා පොත් කියවන කෙනෙකුට අමතරව කතාවක් ලියන්නත් හැකියාවක් තියෙන කෙනෙක් නම් ඔයාට ඒ ව්‍යාපාරයේ සාර්ථක වෙන්නට තියෙන ඉඩ වැඩියි. ඔයා විලාසිතා ගැන හොයන කෙනෙක් විතරක් නොවී අලුත් විලාසිතාවෙන් ඇඳුම් මහන්නටත් හැකි කෙනෙක් නම් ඔයාට ඒකට තියෙන ඉඩත් වැඩියි. ඒ නිසා ඔයාට යම් හැකියාවක් තියෙනවානම් ඒ පැත්තේ ව්‍යාපාරයක් තෝරා ගැනීමත් කදිමයි. අත්දැකීම් අඩු නම්, ඒ පැත්තේ ව්‍යාපාර කරන කිහිප දෙනෙකුගෙන් අදහස් විමසලා තමන්ගේ හැකියාවට එය උධවුවක් කරගනන්නත් පුළුවන්.

ප්‍රාග්ධනය

ව්‍යාපාරයක් අරඹන්නට සල්ලි තිබිය යුතුයි. අපි මින් පෙර නිවසේ සිට තරමක් මුදල් වියදම් කරලා අරඹන්නට පුළුවන් ව්‍යාපාර කිහිපයකට අදහස් වගේම, අඩු වියදමකින් අරඹන්නට හැකි ව්‍යාපාර කිහිපයකටත් අදහස් ලබා දුන්නා. මේ කියන්න යන්නේ ඒ විදියේ පොදු කාරණාවක් ගැන. ඒ තමයි අපි අපිට වියදම් කරන්නට පුළුවන් ප්‍රමාණය ගැන අදහසක් ගන්නට උවමනායි. අතේ තියෙන සම්පූර්ණ මුදල ව්‍යාපාරයකට යෙදවීම තරමක අන්තරායක්. අන්න ඒ නිසාම තමුන් අරඹන ව්‍යාපාරය වෙනුවෙන් යොදවන මුදල ගැන සැළකිලිමත් වෙන්නට උවමනායි. එය තරමක් විශාල මුදලක් නම්, ඒ මුදල ස්ථාවර තැම්පතුවක යොදවලා, එයට ණයක් ලබාගන්නත් ඔබට හැකියාව තිබෙනවා. 

වර්තමාන වෙළඳපොල

තමුන්ගේ ව්‍යාපාරයේ වර්තමාන වෙළඳපොල අධ්‍යයනය කිරීම වැදගත්. මේ වෙළඳපොලේ ප්‍රවීණයන්ගේ ජීවිත කතා කියවන්න පුළුවන් නම් අත්දැකීම් අහන්න පුළුවන් නම් තවත් වටිනවා. ඒ වගේම රටේ තත්ත්වය එක්ක මේ ව්‍යාපාරය මුහුණ දීපු අපහසුතා, මේ ව්‍යාපාරයේ නියැලෙන තවත් අය, මේ ව්‍යාපාරයට එළැඹීමෙන් අපිට මුහුණ දෙන්න වෙන තරගකරුවන්, මේ ව්‍යාපාරයට හානි කර වෙන්න පුළුවන් තත්ත්ව වගේ දේවල් ගැන හොඳ අධ්‍යයනයක් කරලා තිබීම අතිශය වැදගත්. 

Backup Plan එකක්

Backup Plan එකක් කියන්නෙ ව්‍යාපාරයකදී Groundcheck එකක් කරන්න කලින් ඉඳන්ම ලඟ තියාගත යුතු දෙයක්. ඒ තමයි මේ ව්‍යාපාරය අසාර්ථක වුණොත් අපිට යොමු විය හැකි වෙනත් පැති මොනවාද කියන දේ සොයා බැලීම. මේ ලබා ගත්තු භාන්ඩ අපිට යොදවන්න පුළුවන් වෙනත් තැනක් හෝ අපට අලෙවි කරන්නට හැකි විදියක්. නැති නම් වැටුනු ව්‍යාපාරය නගා සිටුවිය හැකි වෙනත් පැතිකඩක් කියන දේවල් ගැන ඔබ අනිවාර්යෙන්ම සිතිය යුතුමයි. ඒ නිසා Plan B එකක් නැතුව නම් කිසිම මොහොතක ව්‍යාපාරයක් අරඹන්නට එපා.

කකුල් දෙකම නොදා

මේක ඔයාගෙ පළමු ව්‍යාපාරය නම් ඒ ව්‍යාපාරය සම්පූර්ණ බරම නොදී සිටීම තරමක් දුරට අවදානම මග හරවන්නට පුළුවන් ක්‍රමයක්. ගඟක ගැඹුර බලන්න කකුල් දෙකම දාන්න එපා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවානෙ. එනිසා ව්‍යාපාරයක් ගැන යම් අදහසක් ගන්න ව්‍යාපාරවලට එළැඹෙන ඔයා අනිවාර්යෙන්ම වෙනත් විශ්වාස දායී අතට සරිලන මුදලක් ලැබෙන ආදායම් මාර්ගයක් සපුරාගෙනම ව්‍යාපාරයට පිවිසීම වැදගත් හැකි නම් ව්‍යාපාරය කරන්නට බළාපොරොත්තු වෙන ක්ෂේත්‍රයේම රැකියාවක් කරන්නට හැකි නම් කදිමයි. ඒ නිසා හැම තිස්සේම අවදානමට සූදානම් වෙන්න. එය පසුතැවිලි බොහොමයක් අඩු කරාවි.

Related Articles