Home FoodRecipes රසවත් කැඳ වර්ග කිහිපයක් පිසගන්නා ආකාරය

රසවත් කැඳ වර්ග කිහිපයක් පිසගන්නා ආකාරය

by ladylk

ලේසියට පහසුවට උදේ කෑමට වෙලාවට ගන්න සෞඛ්‍යාරක්ෂිත නැති කෑම බීම වෙනුවට කැඳ කෝප්පයක් බොන්න තිබ්බා නම් කොයි තරම් හොඳයිද නේද? වැඩිපුරම අපි අතරේ ජනප්‍රිය වෙලා තියෙන කැඳ වර්ගය තමයි කොළ කැඳ. කොළ කැඳ සකස් කරගන්න එක චුට්ටක් වෙලාව ගතවෙන වැඩක් වුණත් කොළ කැඳවලින් ලැබෙන පෝෂණය නම් හරි ඉහළයි. ඊට අමතරව හරිම පහසුවෙන් සකස් කරගන්න පුළුවන් තවත් රසවත් කැඳ වර්ග බොහොමයක් ම තියෙනවා. ඉතින් අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ ඒ වගේ කැඳ වර්ග කිහිපයක් සකස් කරගන්නා ආකාරයයි. බලන්න ඔබත් මේ කියන කැඳ වර්ගවල රස බලලා තියෙනවද කියලා.

කුරක්කන් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය:- කුරක්කන් පිටි මේස හැඳි 5, රතු හාල් මේස හැඳි 5, දිය පොල් කිරි කෝප්ප 1 ½, උකු පොල් කිරි කෝප්ප ½,  කරඳමුංගු ඇට 2-3, ලුණු

සකස් කරගන්නා ආකාරය:- වතුර මඳක් වැඩිපුර දමා බෙරි බතක් පිසගන්න. කුරක්කන් පිටි, කරඳමුංගු සහ දිය පොල් කිරි හොඳින් මිශ්‍ර කර පිසගත් බත් වලට එකතු කර හොඳින් හැඳිගා ලිපේ තියන්න. පොල් කිරි හිඳෙන තෙක් මඳගින්නේ පිසගෙන උකු පොල් කිරි සහ රස අනුව ලුනු එකතු කරන්න. කැටි නොගැසෙන විදියට දිගටම හැඳි ගා කැඳ එක උතුරන විට ලිපෙන් බාගන්න. අවශ්‍ය නම් කිතුල් පැණි ස්වල්පයක් එකතු කර රසගන්වා ගන්න.

මිශ්‍ර ධාන්‍ය කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය:- තම්බාගත් ධාන්‍ය වර්ග කිහිපයකින් කෝප්ප 1, දිය පොල් කිරි කෝප්ප 1, උකු පොල්කිරි කෝප්ප 2, සුදුළූණු බික් 2, ලුණු, ඉඟුරු ස්වල්පයක්

සකස් කරගන්නා ආකාරය:- හොඳින් තම්බාගත් ධාන්‍ය හැන්දක් භාවිතා කරලා පොඩි කරගන්න. මෙයට දිය කිරි, ඉඟුරු සහ සුදු ළූණු paste එකතු කර ලිපේ තියා හැඳිගාන්න. මිශ්‍රනය හිඳීගෙන එන විට උකු පොල් කිරි සහ රස අනුව ලුණු එකතු කරන්න. මඳගින්නේ හැඳිගාමින් පිසගෙන උතුරන විට ලිපෙන් බාගන්න.

කිතුල් පිටි කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය:- කිතුල් පිටි මේස හැඳි 4

වතුර කෝප්ප 2, උකු පොල් කිරි කෝප්ප 2, පැණි හෝ grate කරගත් හකුරු අවශ්‍ය පමණ, ලුණු, වැනිලා ස්වල්පයක්, කජු/ රටකජු, වියළි මිදි

සකස් කරගන්නා ආකාරය:-  කිතුල් පිටි සහ වතුර හොඳින් මිශ්‍ර කර ලිපේ තබා කැටි නොගැසෙන පරිදි හැඳිගාමින් පිසගන්න. ඒ අතරතුර වැනිලා එකතු කර වතුර හිඳෙන තුරු පිසගෙන අවසානයට මිටි කිරි සහ පැණි එකතු කරන්න. කැඳ එක උතුරන විට ලිපෙන් ඉවත් කර රස අනුව ලුණු, කජු සහ වියළි මිදි එකතු කරගන්න. අවශ්‍ය නම් මෙයට ඕට්ස් ස්වල්පයක් එකතු කරන්න වුණත් පුළුවන්.

සුදු ළූණු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය:- සුදු හාල් මිටක්, සුදුළූණු බික් 10, උකු පොල්කිරි කෝප්ප 3, ලුණු, ගම්මිරිස් ඇට 5-6

සකස් කරගන්නා ආකාරය:- සෝදාගත් සහල්වලට තලාගත් සුදු ළූණු, ගම්මිරිස් ඇට සහ වතුර වැඩිපුර දමා බෙරි බතක් පිසගන්න. වතුර හිඳී ගිය පසු උකු පොල් කිරි සහ රස අනුව ලුණු එකතු කර උතුරන තෙක් හැඳිගා ලිපෙන් ඉවත් කරගන්න.

සව්, රුලං සහ හබලපෙති මිශ්‍ර කැඳ

සව් කෝප්ප ½, මඳක් බැදගත් රුලං මේස හැඳි 3, හබලපෙති මේස හැඳි 3, දිය පොල් කිරි කෝප්ප 1, උකු පොල් කිරි කෝප්ප 2, කිතුල් පැණි හෝ grate කරගත් හකුරු අවශ්‍ය පමණ, ලුණු, කරඳමුංගු ස්වල්පයක්, කුරුඳු පොතු කුඩා කැබල්ලක්, කජු, වියළි මිදි

සකස් කරගන්නා ආකාරය:- කුරුඳු, කරඳමුංගු සහ සව් දියකිරි සමඟ මිශ්‍ර කර ලිපේ තියන්න. දියකිරි හිඳුණු පසු එයට පැණි, හබලපෙති, රුලං, ලුණු සහ මිටි කිරි එකතු කර හැඳිගාමින් පිසගන්න. කරඳමුංගු ඇට සහ කුරුඳු පොත්ත ඉවත් කර කජු සහ වියළි මිදි එකතු කරන්න. කැඳ එක උතුරන විට ලිපෙන් බාගන්න.

නෝම්බි කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය:- සහල් කෝප්ප 1 ½, ලොකු තක්කාලි ගෙඩි 1, සුදු ළූණු බික් 5, කරපිංචා, රම්පේ, අමු මිරිස් කරල් 2, උළු හාල් ස්වල්පයක්, කටු සහිත chicken කෝප්ප 1, කහ කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස්, උකු පොල් කිරි කෝප්ප 2

තෙම්පරාදුව සඳහා:- කරඳමුංගු ස්වල්පයක්, කරාඹු නැටි 1, කුඩා කුරුඳු පොතු කැබැල්ලක්, සූදුරු ස්වල්පයක්, අබ ඇට ස්වල්පයක්

සකස් කරගන්නා ආකාරය:- සෝදාගත් සහල්, තරමක් ලොකුවට කපාගත් තක්කාලි, දෙකට කපාගත් අමු මිරිස්, කරපිංචා, සුදු ළූණු, උළුහාල්, ලුණු සහ වතුර කෝප්ප 2ක් හට්ටියකට දමා තැම්බෙන්නට තියන්න. එයට කහ කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු සහ කුඩා chicken කැබලිත් එකතු කර භාජනයේ පියන් වසා මඳගින්නේ තම්බා ගන්න. වතුර හිඳුනු පසුව පොල් කිරි එකතු කර උතුරවාගෙන ලිපෙන් ඉවත් කරගන්න. තෙල් ස්වල්පයක් ලිපේ තියා අබ ඇට දමා පිපිරෙන්නට ඉඩ හරින්න. කුරුඳු පොතු, කරපිංචා, කරඳමුංගු, කරාඹු නැටි සහ සිහින්ව ලියාගත් ලොකු ළූණු හොඳින් තෙම්පරාදු කර කලින් සදා ගත් කැඳ එකට උඩින් දමා මිශ්‍ර කරගන්න.

Related Articles