Home FoodRecipes විවිධ විදියට පොල් සම්බෝල හදමු!

විවිධ විදියට පොල් සම්බෝල හදමු!

by ladylk

කොයි තරම් රස මසවුළු කෑවත් රසවත් පොල් සම්බෝලයක් එක්ක උණු උණුවේ බත් ටිකක් කන්න අකමැති කෙනෙක්ව නම් හොයාගන්න එක ලේසි පහසු වැඩක් නෙවෙයි. දෙහි ඇඹුල්, රතුළූණු, ලුණු, උම්බලකඩ සහ මිරිස් නියම පදමට දාලා කොටාගත්ත පොල් සම්බෝලයක් එක්ක බත් විතරක් නෙවෙයි පාන්, ඉඳි ආප්ප, පිට්ටු වගේ ඕනෑම කෑමක් රස විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් රස විතරක් නෙවෙයි, තන්තු, විටමින් සහ ප්‍රෝටීන් අඩංගු පෝෂ්‍යදායි ආහාරයක් වන පොල් සම්බෝලය හදාගන්න ක්‍රම කිහිපයක් තමයි අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ.

සාමාන්‍ය පොල් සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය:-  වියළි මිරිස් කරල් 10, රතු ළූණු ගෙඩි 7-8, මඳ වශයෙන් පැසුණු පොල් ගෙඩි බාගයක්, ලුණු සහ දෙහි යුෂ අවශ්‍ය පමණට, උම්බලකඩ කැබලි මේස හැඳි 2,

සකසා ගන්නා ආකාරය:- අඹරාගැනීම පහසුවීම සදහා වියළි මිරිස් කරල්වල නටුව ඉවත්කර ලුණු වතුරේ පොඟවා ගන්න. ලුණු වතුර පෙරා ඉවත් කරගත් මිරිස් කරල්, ලුණු කැට මේස හැඳි බාගයක් සහ උම්බලකඩ කැබලි ටික වංගෙඩියකට දමා හොඳින් කොටාගන්න (මිරිස් ඇඹරුම් ගල පාවිච්චි කරන්නත් පුළුවන්). මේ මිරිස් ගුලිය වංගෙඩියෙන් ඉවත් කර පිරිසිදු කරගත් රතු ළූණු ගෙඩි කිහිපය වංගෙඩියට දමා මඳක් තලා ගෙන නැවත එයට මිරිස් ගුලිය මිශ්‍ර කරගන්න. ගාගත් පොල් මිටක් සහ මේ මිරිස් තලපය හොඳින් මිශ්‍ර වන සේ වංගෙඩියේ දමා කොටාගෙන ඉතුරු පොල් ටිකත් එයට මිශ්‍ර කරන්න. රස අනුව ලුණු කුඩු සහ දෙහි යුෂ එකතු කර හොඳින් අනාගන්න.

මේ සම්බෝලයම තෙම්ප‍රාදු කරගන්නා ආකාරය

තෙම්පරාදු කරගන්නවා නම් දෙහි එකතු නොකළ සම්බෝලයක් පිළියෙළ කරගන්න. සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 1, ගම්මිරිස් කැබලි තේ හැන්දක්, කෑලි කපාගත් කරපිංචා මේස හැන්දක්, සිහින්ව ලියාගත් සුදු ළූණු බික් 1, තෙල් ස්වල්පයක් සහ අබ ඇට මේස හැන්දක් මේ සඳහා අවශ්‍ය වෙනවා. තෙල් ස්වල්පයක් තාච්චියකට දමා රත් කර එයට අබ ඇට දමා පිපිරෙන්නට ඉඩ හරින්න. අමු මිරිස්, ගම්මිරිස්, කරපිංචා සහ සුදු ළූණු විනාඩි 3- 4ක් පමණ කාලයක් බැදගෙන එයට පොල් සම්බෝලය දමා, හැන්දකින් මිශ්‍ර කරමින් මඳ ගින්නේ තෙම්පරාදු කරගන්න.

කූනිස්සන් මිශ්‍ර සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය:- පොල් ගෙඩි බාගයක පොල්, වියළි මිරිස් කැබලි මේස හැඳි 3, කොච්චි කරල් 3, රතු ළූණු ගෙඩි 5, සුදු ළූණු බික් 1, කරපිංචා ඉත්තක්, දෙහි සහ ලුණු අවශ්‍ය පමණට, කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 1, කූණිස්සන් මේස හැඳි 3ක් පමණ

සකස් කරගන්නා ආකාරය:- කරපිංචා, රතු ළූණු, සුදු ළූණු, කොච්චි, කෑලි මිරිස් සහ ගාගත් පොල් මිටක් වංගෙඩියේ දමා හොඳින් කොටා ගන්න. මේ මිශ්‍රනය බඳුනකට දමාගෙන එයට පොල්, තක්කාලි, රස අනුව ලුණු, දෙහි සහ කබලේ බැද වියළා ගත් කූණිස්සන් එකතු කර හොඳින් අනාගන්න.

ගම්මිරිස් සහ අමු මිරිස් මිශ්‍ර පොල් සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය:- බාගෙට පැසුණු පොල් ගෙඩි බාගයක පොල්, කරපිංචා ඉත්තක්, ගම්මිරිස් කැබලි මේස හැඳි 2, අමු මිරිස් කරල් 4, සුදු ළූණු බික් 1, රතු ළූනු ගෙඩි 7-8, දෙහි සහ ලුණු අවශ්‍ය පමණට

සකසාගන්නා ආකාරය:- ගාගත් පොල් මිටක්, අමු මිරිස්, ගම්මිරිස් කැබලි, රතු ළූණු සහ සුදු ළූණු වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න. මේ මිශ්‍රනය බඳුනකට දමා පොල්, ලුණු සහ දෙහි යුෂ දමා හොඳින් අනාගන්න. (මෙය තරමක් සැර සම්බෝලයක් නිසා දෙහි යුෂ තරමක් වැඩිපුර එක් කරගන්න).

තෝසේ සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය:- පොල් ගෙඩි බාගයක පොල්, රස අනුව සියඹලා යුෂ සහ ලුණු, සුදුළූණු බික් 1, කුඩා ඉඟුරු කැබැල්ලක්, කරපිංචා ඉත්තක්, රතු ළූණු ගෙඩි 8, කෑලි මිරිස් මේස හැඳි 3, තෙල්, සූදුරු ස්වල්පයක්. වියළි මිරිස් කරල් 2

සකස් කරගන්නා ආකාරය:- රතු ළූණු ගෙඩි 5, ඉඟුරු, කරපිංචා ඉත්තෙන් බාගයක්, සුදු ළූණු, ලුණු සහ කෑලි මිරිස් වංගෙඩියක දමා හොඳින් කොටාගන්න. එයට ගාගත් පොල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. රස අනුව සියඹලා යුෂ සහ වතුර ස්වල්පයක් එකතු කර මඳක් දියාරු සම්බෝලයක් සකස් කරගන්න. බඳුනක් ලිපේ තියා තෙල් දමා රත් කර, අබ ඇට තේ හැන්දක් පිපිරෙන්නට තියන්න. සූදුරු, කරපිංචා, සිහින්ව ලියාගත් රතු ළූණු ගෙඩි 3 සහ කැබලි කඩාගත් වියළි මිරිස් කරල් ටික තෙම්පරාදු කරගෙන කලින් සකස් කරගත් සම්බෝලයත් එකතු කර විනාඩි කිහිපයක් පිසගන්න.

බැදගත් පොල්වලින් සකසාගත් සම්බෝලයක්

අවශ්‍ය ද්‍රව්‍ය:- පොල් ගෙඩි බාගයක්, රතු ළූණු ගෙඩි 10, උම්බලකඩ කැබලි මේස හැඳි 2, වියළි මිරිස් කරල් 7-8, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, රස අනුව ලුණු සහ දෙහි යුෂ

සකස් කරගන්නා ආකාරය:- සිහින්ව ලියාගත් රතුළූණු ගැඹුරු තෙලේ බැදගෙන තෙල් ඉවත් වෙන්නට තියන්න. සිහින් කැබලි ආකාරයට කපාගත් පොල් සහ මිරිස් කරල් pan එකකට දමා කර නොවෙන විදියට බැදගන්න. බැදගත් පොල් කැබලි සහ මිරිස් කරල්, ගම්මිරිස් කුඩු, ලුණු සහ උම්බලකඩ සියල්ලම වංගෙඩියක දමා හොඳින් කොටාගන්න. මෙයට රස අනුව දෙහි යුෂ සහ බැදගත් රතු ළූණු එකතු කර හොඳින් අනාගන්න.

Related Articles