Home FoodRecipes පොඩ්ඩොන්ට සුදුසු රසවත් බත් වර්ග

පොඩ්ඩොන්ට සුදුසු රසවත් බත් වර්ග

by ladylk

මොන තරම් කෑමවල රස බැලුවත් ලංකාවේ ඉපදුණු අපිට බත් ටිකක් කෑවේ නැත්තන් දැනෙන්නේ හරියට නොකෑවා වගේ හැඟීමක්. හැබැයි වැඩිහිටි අපිට එහෙම දැනුනට, බත් නොකාම ඉන්න එක තමයි පොඩ්ඩොන්ගේ සතුට. වෙන වෙන කෑමවලින් පොඩ්ඩගේ බඩ පිරෙව්වත් බත් චුට්ටක් කවාගන්න බැරිවුණොත් අම්මගේ හිතට නම් ඒ හැටි සැනසීමක් නෑ කියලා අපි හොඳින්ම දන්නවා. මේ නිසා, පොඩ්ඩොන්ට හදලා දෙන්න පුළුවන් රසවත් බත් වර්ග කිහිපයක් සකස් කරන ආකාරය ඔබට කියා දෙන්න අපි හිතුවා. හැබැයි පොඩ්ඩෝ වෙනුවෙන් හදන මේ රසවත් බත් වර්ගවල රස බලන්න  අම්මලා තාත්තලටත් කිසිම තහනමක් නෑ කියන කාරණයත් අපි මතක් කරනවා.

Tomato & Chicken Rice

අවශ්‍ය ද්‍රව්‍ය:- පිසගත් බත් කෝප්ප 1, තම්බා කුඩාවට කපාගත් chicken කෝප්ප ½, කුඩාවට කපාගත් එළවලු කෝප්ප ½, කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 1, greek yogurt මේස හැදි 2, කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ මේස හැදි 2, දෙහි යුෂ, රම්පේ, කරපිංචා, රතු ළූණු, ඉඟුරු, සුදුළූණු, අබ, කුරුඳු පොතු කැබැල්ලක්, ලුණු, ගම්මිරිස්, තෙල්/ butter හෝ ghee

සදාගන්නා ආකාරය:- තෙල් හෝ butter රත් කර එයට අබ ස්වල්පයක් දමා පිපිරෙන්නට ඉඩ හරින්න. ඉඟුරු, සුදු ළූණු, රතු ළූණු, රම්පේ, කරපිංචා සහ කුරුඳු පොතු කැබැල්ල එයට එක් කර විනාඩි 5ක් පමණ තෙම්පරාදු කරගන්න. ඉන්පසු කුඩාවට කපාගත් එළවලු, තක්කාලි සහ chicken  එකතු කර තවත් විනාඩි පහක් පමණ පිසගන්න. අවසානයට කොත්තමල්ලි කොළ, ගම්මිරිස් සහ ලුණු එකතු කර ලිපෙන් ඉවත් කරන්න. පිසගත් බත්, greek yogurt  සහ දෙහි යුෂ ස්වල්පයක් එක් කර කෑමට ගන්න.

Chicken Teriyaki Fried Rice

අවශ්‍ය ද්‍රව්‍ය:- බත් කෝප්ප 1, අවශ්‍ය ද්‍රව්‍ය:- කුකුළු මස් කෝප්ප ½, teriyaki sauce මේස හැඳි 2, තෙල්/ butter හෝ ghee ස්වල්පයක්, කොටු කපාගත් ලොකු ළූණු ගෙඩියක්, සිහින්ව ලියාගත් සුදු ළූණු බික් 1, කොටු කපාගත් කැරට් අල බාගයක්, බ්‍රොකලි අවශ්‍ය පමණ, බිත්තර 1, soya sauce මේස හැන්දක්, ගම්මිරිස්, ලුණු

සදාගන්නා ආකාරය:- කුඩාවට කපාගත් chicken වලට teriyaki sauce එකතු කර season වීම සඳහා පැයක් පමණ ශීතකරණයේ තියන්න. Pan එකකට තෙල් දමා තෙම්පරාදු කරගත් මස් කැබලි වෙනත් භාජනයකට ඉවත් කරගන්න. එම pan එකටම නැවතත් තෙල් ස්වල්පයක් දමා ලොකු ළූණු, සුදුළූණු සහ කැරට් කැබලි ටිකත් තෙම්පරාදු කරගන්න. පසුව බ්‍රොකලි සහ soya sauce එයට එකතුකර තවත් මිනිත්තු 4ක් පමණ පිසගෙන ඒ සියල්ලම pan එකේ එක් පසෙකට ඉවත් කරගන්න. හොඳින් beat කරගත් බිත්තරය අනෙක් පසට දමා scrumble කරගෙන සියල්ලම එකට මිශ්‍ර කරගන්න. පිසගත් බත් සහ තෙම්පරාදු කරගත් chicken කැබලි එයට එක් කර අවසානයට රස අනුව ලුණු, ගම්මිරිස් එක් කරගන්න.

Paneer Rice

අවශ්‍ය ද්‍රව්‍ය:- පිසගත් බත් කෝප්ප 1, Paneer cheese (cottage cheese) packet ⅓,  කොත්තමල්ලි කොළ ස්වල්පයක්, සිහින්ව කපාගත් එළවලු, කුඩාවට කපාගත් මාළු මිරිස් කරලක්, කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්, සිහින්ව ලියාගත් ලොකු ළූණු ගෙඩියක්, තෙල්/ butter හෝ ghee ස්වල්පයක්, බිත්තර 1, ලුණු, ගම්මිරිස් කුඩු.

සදාගන්නා ආකාරය:- කුඩා කොටු කපාගත් paneer cheese ලුණු ස්වල්පයක් එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න. ඒවා වෙනත් භාජනයකට ඉවත් කර එම පෑන් එකටම එළවලු ටික දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු මාලු මිරිස් සහ තක්කාලිත් එක් කර නැවතත් විනාඩි 5ක් පමණ පිසගන්න. තෙම්පරාදු මිශ්‍රනය පසෙකට කර එම pan එකේම බිත්තරයත් scrumble කරගන්න. රස අනුව ලුණු, ගම්මිරිස්, බැඳගත් paneer සහ කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ එක් කර අවසානයට බත් කෝප්පය එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

Rainbow Rice

අවශ්‍ය ද්‍රව්‍ය:- බෙරි නොවන ආකාරයට පිසගත් බත් කෝප්ප ⅓, butter, රට කජු හෝ කජු (කැමති nuts වර්ග), වියළි මිදි, විවිධ වර්ණ වලින් එළවලු වර්ග කිහිපයක් (කැරට්, බීට් රූට්, බ්‍රොකලි, නිවිති, ළපටි බෝංචි, බෙල් පෙපර්, දම්පැහැති ගෝවා, පිපිඤ්ඤා, ලීක්ස්), දෙහි යුෂ, ලුණු, ගම්මිරිස්, අර්තාපල් අල ගෙඩියක්, කරපිංචා කොළ, ලොකු ළූණු ගෙඩියක්, සුදු ළූණු බික් 2-3, තක්කාලි ගෙඩියක්.

සදාගන්නා ආකාරය:- කරපිංචා කොළ, කපාගත් සුදු ළූණු, රවුම් හැඩයට කපාගත් ලොකු ළූණු ගෙඩිය සහ කුඩා කොටු කපාගත් අර්තාපල් අල ගෙඩිය වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගන්න (crispy ගතියක් එන ආකාරයට). Nuts වර්ග ටිකත් තෙල් නොදමා වෙනම බැදගන්න (අවශ්‍ය නම් පමණක්). කොටු කපාගත් කැරට්, බීට් රූට් සහ බෝංචි වෙන වෙනම තම්බාගන්න. එහෙමත් නැත්නම් steam කරගත්තත් කමක් නෑ. එළවලුවල පැහැය රැකෙන විදියට තම්බාගන්න අමතක කරන්න එපා. Pan එකකට තමන්ට අවශ්‍ය පමණට Butter එක් කර කුඩාවට කපාගත් ලීක්ස්, බෙල් පෙපර් සහ ගෝවා එක් කර විනාඩි 2-3ක පමණ  කාලයක් තෙම්පරාදු කරගන්න. මේ තෙම්පරාදුවට තම්බාගත් කැරට්, බීට් රූට්, බෝංචි, කපාගත් නිවිති, ලුණු සහ ගම්මිරිස් එක් කර විනාඩියක් පමණ නැවතත් පිසගන්න. මෙම මිශ්‍රනය ප්‍රවේශමෙන් පිසගත් බත් සමඟ මිශ්‍ර කර අවසානයට දෙහි යුෂ ස්වල්පයක් එකතු කරන්න. බැදගත් ළූණු, සුදු ළූණු, කරපිංචා, අර්තාපල්, nuts සහ වියළි මිදිවලින් සරසා ගත් බත තක්කාලි සහ පිපිඤ්ඤා පෙති සමඟ ආහාරයට ආහාරයට ගන්න පුළුවන්. තමන්ගේ රුචිය පරිදි මස්, මාළු හෝ බිත්තර එකතු කරගැනීමෙන් මෙහි රසය සහ පෝෂණය වැඩිවෙනවා.

Related Articles