Home Parenting කුඩා දරුවෙකුට සුරතල් සතෙක් ලබා දීමේ වාසි

කුඩා දරුවෙකුට සුරතල් සතෙක් ලබා දීමේ වාසි

by ladylk

පවුලකට එක් දරුවෙක් හෝ දෙදෙනෙක් පමණක් එක් කරගැනීම වර්තමානය වෙනකොට අතිශය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම එක් දරුවෙක් පමණක් සිටින මව්පියන් වගේම ඒ දරුවාත් කොරෝනා වසංගත සමයේ විවිධාකාර අපහසුතාවයන්‍ට පත්වී සිටිනවා නොඅනුමානයි. කොහොම වුණත් එවැනි අසහනකාරී වාතාවරණයක් මඟහරවා ගන්නට සුරතල් සතෙක්ගෙන් ලැබෙන සහයෝගය හිතනවාටත් වඩා වැඩියි කියන කාරණය මේ ලිපිය කියැවීමෙන් පස්සේ ඔබට වැටහෙන්නට ඉඩ තියෙනවා. ඒ වගේම පොඩ්ඩාට සුරතල් සතෙක් ලබාදීම ගැන දෙගිඩියාවෙන් ඉන්නවා නම්, මේ ලිපිය කියැවීමෙන් ඒ තත්ත්වය මඟහැරෙයි කියලාත් අපි විශ්වාස කරනවා.

ඇදුම සහ වෙනත් අසාත්මිකතා අවම වීම

සාමාන්‍යෙන් කුඩා දරුවොන්ට ඒ වයස් සීමාවලදි අසාත්මිකතා සහ ඇදුම වගේ රෝගී තත්ත්වයන් හට ගැනීම නිතර සිදුවුණත් සුරතල් සතෙක් සමඟ ඇතිදැඩි වෙන පොඩ්ඩෙක්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හරිම ශක්තිමත් කියලයි පර්‍යේෂණ වලින් හොයාගෙන තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි පොඩ්ඩොන්ට පහසුවෙන්ම බෝවෙන හෙම්බිරිස්සාව, උණ වගේ රෝග හටගැනීමේ අවධානමත් හරිම අඩුයි කියලා ඒ පර්‍යේෂණ දත්ත වලින් හොයාගෙන තියෙනවා.

ශරීරයට ව්‍යායාම ලැබීම

ශරීරයට ව්‍යායාම මඳකම නිසා හටගන්නා “බෝ නොවන” ගණයට අයත් ලෙඩ රෝග මේ වෙනකොට දරුවන් අතරත් වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන බව ඔබ දන්නවා ඇති. සාමාන්‍යෙන් සුරතල් සතෙක් හිමි දරුවෙක් ඒ සුරතලා සමඟ ශරීරය වෙහෙසවමින් ක්‍රීඩා කරන්න පෙළඹෙනවා. මේ නිසා වෙනත් ව්‍යායාමයක් නොලැබුනත්, නිවස ඇතුළතදි සිදුකරන දුවපැනීම් සහ සුරතලාව නිවසින් පිටතට ඇවිදීම සඳහා ගෙන යෑම දරුවාගේ සෞඛ්‍යට හිතකර ව්‍යායාම විදියට සළකන්න හැකියාව ලැබෙනවා.

පරිසරය සුරැකීම ගැන දැනුවත් කිරීමට හැකියාව ලැබීම

තමන්ගේ සුරතලුන් ඇවිදවීමට නිවසින් පිටතට ගෙනියන පුද්ගලයින් විසින් සතා මහපාරේ බැහැරකරන මළ ද්‍රව්‍ය ඉවත් නොකරන අවස්ථා අපි දකිනවා. වගකීම් සහගත වැඩිහිටියෙක් විදියට ඔබ තමන්ගේ දරුවාට පරිසරය සුරැකීම ගැන කියාදීමට කැමති නම්, තමන්ගේ සුරතලා එළිමහනේ අපද්‍රව්‍ය බැහැරකරන අවස්ථාවක් ප්‍රයෝජනයට අරන් ඒ දේ සිදු කරන්න පුළුවන්.

මානසික සහනය

සුරතල් සතෙක් තමන් අසළ ගැවසෙන විට ලැබෙන මානසික සහනය ගැන සමහර විට ඔබ අත්දැකීමෙන් ම දන්නවා ඇති. තමන්ගේ සුරතල් පූසා/ බල්ලා තමන්ට පේන මානයේ හෝ සිටිනවා නම් පොඩ්ඩාටත් ඒ හැඟීම ම දැනෙන්නට ඉඩ තියෙනවා. විශේෂයෙන් ම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනකොට, පොත් පත් කියවනකොට හෝ නිදාගන්න සූදානම් වෙනකොට හිතේ සතුටින් ඒ කාර්‍යය සිදු කිරීමට හැකියාව ලැබෙනවා.

දරුවාට වගකීම් සහගත බවක් ලැබීම

තමන්ගේ සුරතලාට ආහාර ලබාදීම, සුරතලා සහ කූඩුව පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය ඉවත් කිරීම, ලෙඩ වූ විට බෙහෙත් ලබා දීම සහ වෛද්‍යවරයා ළඟට රැගෙන යෑම වැනි කටයුතුවලදි පොඩ්ඩාගේ සහයෝගය ලබා ගැනීමෙන් දරුවා තුළ වගකීම් දැරීමේ හැකියාව වර්ධනය කිරීමට අවස්ථාව උදා වෙනවා.

ආවේග පාලනය සහ වෙනත් social skills දියුණු වීම

වයස අවුරුදු 3-4 දරුවන්ට සාමාන්‍යෙන් තමන්ගේ ආවේගය පාලනය කරගැනීම එතරම් පහසු කටයුත්තක් නම් නෙවෙයි. හැබැයි සුරතල් සතෙක් සමඟ හැදෙන පොඩ්ඩෙක් තුළ නිරායාසයෙන්ම ස්වයං විනය කියන දේ නිර්මාණය වෙනවා. පවුලේ වෙනත් සහෝදර සහෝදරියෝ නැතත්, බෙදා හදා ගැනීම, ඉවසීම, සහයෝගයෙන් ක්‍රීඩා කිරීම වගේ හොඳ ගතිගුණත් දරුවා තුළ වැඩි වර්ධනය වෙනවා. හැබැයි මේ දේවල් සිද්ධ වෙන්න නම් දෙමව්පියොත් තමන්ගේ සුරතලාට පවුලේ සාමාජිකයෙක් විදියටම සැළකීම අත්‍යවශ්‍ය වෙනවා.

මිතුරන් ලැබීම

සුරතල් සතෙක් ඇති කිරීම හරහා තමන් වගේම සත්තුන්ට ආදරේ කරන, සමාන අදහස් ඇති යාලුවෝ අඳුරගැනීමට හැකියාව පොඩ්ඩාට නිරායාසයෙන්ම උදාවෙනවා. එළි පහළියේ ඇවිදින්න යන අවස්ථාවල එහෙමත් නැත්තන් සුරතලාව අරගෙන doctor ළඟට යන අවස්ථාවල මේ විදියට අලුත් යාලුවෝ ඇති කරගන්න ඉඩ ලැබෙනවා.

සියලුම සතුන්ට ආදරය හැකියාව ලැබීම

සාමාන්‍යෙන් සුරතල් සතුන් ඇති කරන දරුවන් වයසින් වැඩෙනකොට තමන්ගේ සුරතලාට විතරක් නෙවෙයි අනික් සියලුම සතුන්ට සහ පරිසරයට ආදරය කරන්න යොමු වෙනවා. මේ හරහා, අප ජීවත්වෙන ලෝකය මිනිස්සුන්ට හා සමානවම සතුන්ටත් අයිති බව තේරුම් ගන්නා යහපත් ආකල්ප සහිත දරුවෙක් නිර්මාණය වෙනවා. ඊට අමතරව කරුණාව, විශ්වාසවන්ත බව, අන්‍යයන් කෙරෙහි සංවේදි වීම, උපකාර කිරීම වගේ යහගුණ වර්ධනයටත් මෙය උපකාරී වෙනවා.

සතා එක්ක කතා බහ කරනවා

සමහර දරුවන් පිටස්තර පුද්ගලයින් සමඟ කතා බහ නොකළත් තමන්ගේ සුරතල් සතා එක්ක කතා බහ කරන්නටත්, රහස් බෙදා හදා ගන්නටත් ප්‍රිය කරනවා. ඒ විතරක් නෙවෙයි, වෙනත් භාෂාවන්ගෙන් (ඉංග්‍රීසි වැනි) අම්මා තාත්තා එක්ක කතා කරන්නට මැළිවුණත් කිසිම පැකිළීමකින් තොරව සුරතල් බල්ලා හෝ පූසා සමඟ එවැනි භාෂාවලින් කතා කරනවා. කොහොම වුණත් එතරම් සමාජශීලී  නොවන පොඩ්ඩෙක්ට වුණත් සුරතල් සතෙක් සිටීම ඔහුගේ සමාජ සම්බන්ධතා සංවර්ධනයට මනා පිටුවහලක් වෙනවා.

පවුලේ සමගිය වැඩි දියුණු වෙනවා.

සුරතල් සතෙක් හදා වඩා ගන්නා විට පවුලේ සහෝදර සහෝදරියන් සහයෝගයෙන් තමන්ගේ සුරතලාගේ වැඩ කටයුතු ඉටුකරනවා. ඒ වගේම වගකීම් බෙදා හදා ගැනීම, සෙල්ලම් කිරීම සහ සුරතලා ගැන සාකච්ඡා කිරීම වගේ දේවලුත් බොහොම එකමුතුකමින් සිදු කරනවා. මේ දේ පවුලේ සාමාජිකයින් අතර සබඳතාවය වර්ධනයට විශාල සහයෝගයක් ලබා දෙනවා.

ජීවන චක්‍රය ගැන අවබෝධයක් ලැබෙනවා.

ඉපදීම, වයසින් සහ සිරුරින් වැඩීම, ලෙඩවීම, මිය යාම, පැටවුන් ලැබීම වගේ කාටත් පොදු සංකල්ප ගැන දැනුමක් ලබාගන්නට මේ හරහා අවස්ථාව උදා වෙනවා. ඒ වගේම එවැනි අවස්ථාවලට ශක්තිමත්ව මුහුණ දෙන ආකාරය ගැන හොඳ වැටහීමකුත් අත්දකීමෙන් ම ලැබෙනවා.

Related Articles