Home Food Vegetarian අයට ගෙදරදීම හදාගන්න Bites & Snacks

Vegetarian අයට ගෙදරදීම හදාගන්න Bites & Snacks

by ladylk

නිතර ඇද හැලෙන වැස්සත්, වැස්ස නිසා දැනෙන සීතලත් එක්ක වෙනදාට වඩා  බඩගින්නත් වැඩි බව ඔබට දැනිලා ඇති. ඉතින් ගෙදර ඉන්න ලොක්කෝ පොඩ්ඩෝ හැමෝම කොයි වෙලේත් කන්න දේවල් හොයන එකත් හරිම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඒ වගේ වෙලාවලට කෑමට ගන්න පුළුවන් පොඩි පොඩි bites වර්ග ටිකක් හදාගන්න විදිය තමයි අපි මේ ලිපියෙන් කියලා දෙන්නේ. හැබැයි මේවා මස්, මාළු, බිත්තර කිසිම දෙයක් නොදා හදන vegetarian bites නිසා බාධාවකින් තොරව ඕනෑම කෙනෙක්ට රස විඳින්න පුළුවන් විත්තියත් අපි මතක් කරනවා.

Vegetable Quiche

අවශ්‍ය ද්‍රව්‍ය:- පාන්පිටි 250g, ලුණු තේ හැඳි 1, කිරිපිටි මේස හැඳි 1, බටර් 150g, වතුර මේස හැඳි 3-4, කැමති filling එකක්

සදාගන්නා ආකාරය:- පිටි මිශ්‍රනය සදා ගැනීමේදී ඇනීම අවශ්‍ය නැති අතර මිශ්‍ර කිරීම පමණක් ප්‍රමාණවත් වෙනවා. වතුර ස්වල්පයක් පමණක් එකතු කරගන්නෙ ඒ හේතුව නිසයි. මුලින්ම පිටි, ලුණු සහ කිරිපිටි හොඳින් එකට මිශ්‍රකර ගන්න. එයට පිළිවෙලින්  බටර් සහ වතුර එකතුකර නැවතත් ඇඟිලි තුඩු වලින් හොඳින් කළවම් කර පිටි බෝලයක ආකාරයට අතින් තද කරගන්න. මේ මිශ්‍රනය වේලෙන්නේ නැති විදියට lunch sheet එකකින් හොඳින් ආවරණය කරලා fridge එකේ තියන්න. විනාඩි 20 කින් පමණ ඉවතට ගත් පිටි මිශ්‍රනය තත්ත්පර කිහිපයක් පමණක් අනාගන්න. ඉන්පසු පිටි ස්වල්පයක් ඉසගත් ලෑල්ලකට දමගත් පිටි මිශ්‍රනය හොඳින් තුනීකර, රවුම් කපා, කුඩා tart pans වලට දමාගන්න. එයට ඉහළින් තෙම්පරාදු කරගත් බිම්මල්, ළූනු , බෙල්පෙපර්, කැරට්, ලීක්ස්, මාලුමිරිස්, තම්බාගත් ග්‍රීන්පීස්, mozzarella cheese වැනි ඕනෑම දෙයක් තමන්ගේ රුචිය පරිදි දමාගන්න. Bake වෙන විට උතුරා නොයෑම සඳහා pan එකේ උඩටම වනතුරු filling එක පුරවා ගැනීමෙන් වළකින්න. 180°ට preheat කරගත් oven එකක විනාඩි 30ක් පමණ bake කරගන්න.



මඤ්ඤාක්කා බයිට්

අවශ්‍ය ද්‍රව්‍ය:- අවශ්‍ය ප්‍රමාණයට මඤ්ඤාක්කා, ලුණු කුඩු, මිරිස් කුඩු, තෙල්

සදාගන්නා ආකාරය:- මඤ්ඤාක්කා අලය පිරිසිදු කර සිහින්ව පෙති කපා ගන්න. පිරිසිදු රෙදි කැබැල්ලක් ඇතුළට ප්‍රවේශමෙන් මඤ්ඤාක්කා පෙති දමාගෙන රෙදි කැබැල්ල පොට්ටනියක ආකාරයට ගැටගසා විනාඩි 2ක් පමණ උතුරන වතුරෙ තම්බා ගන්න. ඉවතට ගත් මඤ්ඤාක්කා පෙති ඉතා ඉක්මනින් සීතල වතුරට දමා විනාඩි 20ක් පමණ තියන්න. වතුර බේරා හොඳින් තෙත මාත්තු කරගත් මඤ්ඤාක්කා පෙති ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බදින්න. රස්නය රැඳී තිබියදීම අවශ්‍ය පරිදි මිරිස් කුඩු සහ ලුණු කුඩු මිශ්‍ර කරන්න.

මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය:- කඩල පිටි 150g, හාල් පිටි 350g, baking powder මේස හැඳි 1, මිරිස් කුඩු තේ හැඳි 2, butter මේස හැඳි 2, රස අනුව ලුණු, කුඩාවට කපාගත් කරපිංචා කොළ මේස හැඳි 2, සූදුරු තේ හැඳි 1, වතුර, තෙල්

සදාගන්නා ආකාරය:- ඉහත සඳහන් ද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කර, දියාරු නොවන මෘදු බෝලයක් වෙනතුරු අනාගන්න. Piping bag එකකට කුඩා nozzle එකක් සවි කරගෙන මිශ්‍රනය පුරවා ගන්න. රත් කරගත් තෙල් වලට පිටි මිශ්‍රනය වත් කරමින් රන්වන් පාට වන තුරු බැදගන්න.

 Cauliflower bites

අවශ්‍ය ද්‍රව්‍ය:- cauliflower අවශ්‍ය පමණට, ලුණු, තෙල්, පාන් පිටි, corn flour, වතුර, පාන් කුඩු

සදාගන්නා ආකාරය:- කුඩා කැබලි වලට කඩාගත් Cauliflower ලුණු වතුරෙන් සහ පිරිසිදු වතුරෙන් හොඳින් සෝදාගන්න. උතුරන වතුරේ විනාඩි 2ක් පමණ තම්බා වතුර බේරා, තෙත මාත්තු කරගන්න. පාන් පිටි සහ corn flour සමානව ගෙන ලුණු සහ වතුර සමඟ මිශ්‍ර කර සාදා ගත් දියාරු batter එකක්, මේ cauliflower කැබලිවල තවරා ගන්න. ඉන් පසු පාන් කුඩුවල දවටා රන්වන් පැහැ වෙන තුරු ගැඹුරු තෙලේ බැදගන්න.

රටකජු බැදුම්

අවශ්‍ය ද්‍රව්‍ය:- රටකජු 200g, කඩල පිටි මේස හැදි 5, පාන් පිටි මෙිස හැදි 2, මිරිස් කුඩු තේ හැදි 2, කහ ස්වල්පයක්, තුන පහ තේ හැදි 2, ලුණු, තෙල්, වතුර

සදාගන්නා ආකාරය:- රටකජු pan එකකට දමා මඳක් බැද ගන්න. කඩල පිටි, පාන් පිටි, මිරිස්, කහ, තුනපහ සහ ලුණු භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. එයට තෙල් තේ හැන්දක්, වතුර ස්වල්පයක් සහ මඳක් බැදගත් රටකජු දමා හොඳින් අනාගන්න. පිටි මිශ්‍රනය හොඳින් තැවරුණු රටකජු ගැඹුරු තෙලේ බැදගන්න.

Related Articles