Home Parenting පොඩ්ඩා ස්වාධීන දරුවෙක් බවට පත් කරන්නේ මෙහෙමයි

පොඩ්ඩා ස්වාධීන දරුවෙක් බවට පත් කරන්නේ මෙහෙමයි

by ladylk

බොහෝ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව උස්මහත් කරන්නේ තමන්ටම අනන්‍ය වුණු parenting styles වලට අනුව බව ඔබ දන්නවා ඇති. හැබැයි එක් එක් වෙනස් ක්‍රමවල සුළු වෙනස්කම් තිබුණත් සමාන ලක්ෂණ වැඩි කියලා කියලා තමයි අපි නම් විශ්වාස කරන්නේ. එකිනෙකට වෙනස් parenting tips භාවිතා කළත් බොහොමයක් මව්පියන් කැමතියි තමන්ගේ පොඩ්ඩා බොහොම ස්වාධීන දරුවෙක් විදියට උස්මහත් වෙනවා දකින්න. ඉතින් lady.lk අපි හිතුවා මේ කාරණයට අදාළ වැදගත් කරුණු කිහිපයක් ගැන කතා කළොත් හොඳයි කියලා. බලන්න, මේ සම්බන්ධව උනන්දු වෙන ඔබටත් මේ ලිපිය කොයි තරම් දුරට වැදගත් වෙයිද කියලා. 

පොඩ්ඩාව ස්වාධීන කරවන්න අවශ්‍ය ඇයි

පොඩ්ඩා හැමදාම පොඩියට ඉන්නේ නෑනේ. දවසින් දවස ගතවෙලා, තව වසර කිහිපයක් ගෙවෙනකොට එයා වැඩිහිටියෙක් බවට පත්වෙනවා. ඉතින් වැඩිහිටි වියේදී තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට සහ තනිවම තමන්ගේ වැඩ කටයුතු කරගන්න අවශ්‍ය වෙන life skills කිහිපයකට හුරු පුරුදු වෙලා සිටීම කොයි තරම් නම් වටිනවාද?

Choices, decision making වගේ සංකල්ප හඳුනාගන්නට පොඩි දරුවන්ට තරමක කාලයක් ගත වෙනවා. සතුට සහ සාර්ථකත්වය තමන් වෙතට ළඟා කරගැනීම වෙනුවෙන් තමන් ගත යුත්තේ කොයි වගේ තීරණද, වැරදීම් සිදුවන්නේ කොයි වගේ අවස්ථාවලදී ද, එවැනි failures මඟහරවා ගැනීම සඳහා තමන් සිදු කළ යුත්තේ කවරාකාර තේරීම් ද වගේ කාරණා වටහා ගන්න නම් ඔවුන්ට තනිවම තීරණ ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතු වෙනවා. දරුවා තුළ තමන් සහ තමන්ගේ තේරීම් ගැන ආත්ම විශ්වාසයක් ඇති වන්නටත්, ඒ හරහා අනාගතයේදී මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් බිහි වන්නටත් නම් ඔහුට ස්වාධීනව ගොඩනැඟීමට අවස්ථාව ලබා දිය යුතු වෙනවා. දෙමව්පියෝ විදියට ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි දැන් බලමු.

පොඩ්ඩට දරන්න පුළුවන් වගකීම් විතරක් භාරදෙන්න

පොඩි දරුවෙකුට දරන්න අපහසු වගකීම් භාරදීලා සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න අපහසුයිනේ. මේ නිසා පොඩ්ඩාගේ වයසට ගැළපෙන විදියේ වගකීම් විතරක් පවරන්න වගබලා ගන්න සිදු වෙනවා. උදාහරණයක් විදියට තමන්ගේ time table එකට අනුව ඊළඟ දිනයට නියමිත පොත් ටික පිළියෙල කරගැනීම, සෙල්ලම් කිරීමෙන් පසුව toys පිළිවෙළට ඇසිරීම, grocery items අදාළ තැන්වලින් ඇසිරීමට උදව් ලබාගැනීම, සෝදා වේලා ඇති රෙදිවලින් තමන්ගේ රෙදි තෝරාගෙන නැවීමට භාර දීම වගේ පොඩි පොඩි වැඩ කටයුතු භාරදෙන්න උත්සහ කරනවා වඩා වටිනවා.

එයාට තනියම වැඩ කරන්නත් පුළුවන්

අපි පොඩ්ඩාට වැඩක් භාර දුන්නා කියමුකෝ. ඒ දේ එයාට තනියම කරන්න පුළුවන් වගේ පේනවා නම් ආයේ ඒ ගැන වදවීමේ අවශ්‍යතාවයක් නැහැ. තනියම ම කරන්න අපහසු නම් සහ පොඩ්ඩා උදව් ඉල්ලනවා නම් විතරක් පොඩි උදව්වක් දීලා ඉතිරි ටික එයාගෙම විදියකට කරන්න ඉඩ හරින එක තමයි වඩා සුදුසු වන්නේ. සමහරවිට අපි නොහිතන ආකාරයේ smart ක්‍රමයක් පාවිච්චි කරලා එයා ඒ කටයුත්ත සාර්ථකව සම්පූර්ණ කරන්න ඉඩ තියෙනවා.

Options ලබාදෙන්න

පොඩ්ඩා එක්ක toy shop එකකට යන අවස්ථාවක් ගමුකෝ. අපිට පුළුවන් යම් සාධාරණ මිලක් සඳහන් කරලා ඒ මුදලට සරිලන සෙල්ලම් බඩු එකක් හෝ කිහිපයක් ගන්න අවස්ථාව ලබා දෙන්න. අඩු වටිනාකමක් සහිත toys කිහිපයක් මිලට ගන්නවාද, ඉහළ වටිනාකමක් සහිත එක toy එකක් මිලට ගන්නවාද කියන කාරණය පොඩ්ඩාට තීරණය කරන්න ඉඩ ලබා දෙන්න පුළුවන්. අවශ්‍ය නම් පමණක් පොඩි පැහැදිලි කිරීමක් කරනවා මිසක බලපෑම් කිරීම එතරම් සුදුසු නැහැ කියලයි අපි නම් විශ්වාස කරන්නේ. ඉතින් තමන්ගේ කැමැත්ත අනුව ගන්නා තීරණයේ වගකීම තමන්ට දැරීමට සිදුවන බව පොඩ්ඩා ඉබේම වටහාගනීවී. මේ විදියට යම් යම් සීමාවන්ට යටත්ව Choices සහ නිදහස ලබාදීම හරහා මව්පියන් තමන්ගේ තෝරාගැනීම් සහ තීරණවලට ගරු කරන විත්තියත් පොඩ්ඩට හිමින් සැරේ වැටහේවි.

නිදහස අත්‍යවශ්‍යයි

පොඩ්ඩා ස්වාධීන ගති පැවතුම් සහිත දරුවෙක් විදියට වැඩෙන්න නම් නිදහස කියන දේත් අත්‍යවශ්‍ය වෙනවා. පාඩම් වැඩ ඉවර කරලා සෙල්ලමට යෑම අම්මගේ කැමැත්ත වුණාට, සෙල්ලම් කරලා ඉවරවෙලා පාඩම් වැඩ කිරීම පොඩ්ඩගේ කැමැත්ත නම් සහ එයා ඒ පොරොන්දුව හරියටම ඉටු කරනවා නම් ඒ ක්‍රමය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. නිදහස ලැබෙන්නේ හරිම අඩුවෙන් නම්, කරන කියන හැම දේටම මව්පියොන්ගේ අණකිරීම්, උපදෙස් සහ අත පෙවීම් විතරයි නම් ලැබෙන්නේ පොඩ්ඩට තමන්ගේ හැකියාවන් ගැන සැකයක් සහ ඍජු තීරණ ගන්න නොහැකියාවකුත් ඇතිවෙන්න ඉඩ තියෙනවා. අවශ්‍ය නම් පොඩ්ඩාගේ වැඩ කටයුතු පිළිවෙළට කරගැනීමට සහයෝගයක් වශයෙන් time table එකක් සකස් කර දෙන්න පුළුවන්. එතකොට උපදෙස් හෝ අණකිරීම් වලින් තොරව පිළිවෙලට තමන්ගේ වැඩ ටික කරගන්නට පොඩ්ඩාට හැකියාව ලැබේවී.

තරහා ගන්නෙපා

වැඩිහිටි අපිට වගේම තමයි, දේවල් ඉගෙන ගන්න අතරතුරේදි සහ ක්‍රියාත්මක කිරීමේදී පොඩ්ඩා අතිනුත් වැරදීම් සිදු වෙන්න පුළුවන්. හැබැයි ඒ වැරදීම් තුළින් ම එයා නිවැරදි දේ ඉගෙන ගන්නත්  සමත් වේවී. ඒ වගේ සුළු සුළු අතපසුවීම් වලට තරහා නොගෙන ඉවසීමෙන් යුතුව පොඩ්ඩාට සහයෝගය ලබා දීමත්, දිරි ගැන්වීමත්, අම්මා තාත්ත කොයි තරම් එයා ගැන ආඩම්බර වෙනවාද කියලා පැවසීමත් තමයි මව්පියන් අතින් සිදු විය යුතු වෙන්නේ. ඒ වගේම තමයි පොඩ්ඩා හැම දෙයක්ම perfect විදියටම කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා කියලත් අපි සිහිපත් කරනවා. මොකද අපේ බලාපොරොත්තුව විය යුත්තේ දරුවා වගකීම් දැරීමට හුරු කිරීම වන නිසා පොඩි පොඩි failures ගැන කලබලයට පත් වීම හෝ නිරන්තරයෙන් ම දරුවාව නිවැරදි කිරීමට  උත්සහ දැරීම හරහා දරුවා පහසුවෙන් ම අධෛර්‍යමත් වෙන්නට ඉඩ තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයකට දරුවා පත් නොකිරීම ඔබගේ වගකීම වෙනවා.

ගැටළු විසඳාගන්න ඉඩ දෙන්න පවුලේ සහෝදර සහෝදරියන් සමඟ හෝ පාසලේදී ගැටුම් ඇති කරගත් අවස්ථාවක ඒවා විසඳාගැනීමේ වගකීම පොඩ්ඩාටම භාර දෙන එක තමයි වඩා හොඳ. මේකෙන් අදහස් කරන්නේ දරුවාගේ ගැටළුව නොසළකා හැරීම හෝ ගැටළුවට අසංවේදී වීම නම් නෙවෙයි. පොඩ්ඩා හිරිහැරයට පත් වෙනවා නම් ඔබ අනිවාර්යයෙන් ඒ ගැන සැළකිලිමත් වීම අත්‍යවශ්‍ය වෙනවා සහ  නිසි පරිදි මැදිහත්වීම ද සිදුකළ යුතු වෙනවා. හැබැයි ඊට පෙර පොඩ්ඩාටත් ඒ සඳහා පොඩි උත්සහයක් දැරීමට ඉඩ ලබා දෙන එක හොඳයි කියලා අපි අවසන් වශයෙන් සිහිපත් කරනවා.

Related Articles