Home Novel Episode වෙනස් ම ආරක ළමා කතා පොත් රචනා කළ Roald Dahl

වෙනස් ම ආරක ළමා කතා පොත් රචනා කළ Roald Dahl

by ladylk

ඔබ Charlie and the chocolate factory කියන බොහෝම අපූරු චිත්‍රපටය නරඹලා තියෙනවා ද? ඒ චිත්‍රපටයට පාදක වුණු ජනප්‍රිය ග්‍රන්ථයේ රචකයා වන roald dahl ගැනත්, ඔහුගේ අපූරු ළමා කතා පොත් කිහිපයක් ගැනත් තමයි අපි මේ ලිපියෙන් කතා කරන්නේ. ඊට කලින් බලමුකෝ කවුද මේ roald dahl කියන්නේ කියලා.

1916 සැප්තැම්බර් මාසයේ 13 වනදා වේල්සයේ උපත ලැබූ රෝල් ඩාල් කුඩා දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් ග්‍රන්ථ රචනා කළ රචකයෙක් සහ screenwriter කෙනෙක් විතරක් නෙවෙයි, බුද්ධි අංශ නිලධාරියෙක් සහ දෙවන ලෝක යුද සමයේ දී ප්‍රහාරක ගුවන් යානා හැසිරවූ අති දක්ෂ ගුවන් යානා නියමුවෙක් ද වනවා. ස්වභාව ධර්මය සම්බන්ධව විශාල ලැදියාවක් දැක් වූ මේ රචකයාගේ කෘති මිලියන 250කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇති බවයි සඳහන් වෙන්නේ. කුඩා දරුවන්ගේ සිතිවිලි හඳුනාගනිමින් ඔහු විසින් රචනා කර ඇති ළමා කතා පොත්වල ඇති කෙළිලොල් බව සහ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ස්වභාවය නිසා ම ඒවා පොඩි දරුවන් පමණක් නොව වැඩිහිටියන්ගෙත් ආදරය දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි, Quentin Blake ගේ සිතුවම් නිසා මේ කතා පොත් තව තවත් ආකර්ෂණීය වෙලා තියෙන බවත් කිව යුතුම වෙනවා. මේ විශිෂ්ට රචකයා 1990 නොවැම්බර් මස 23 ජීවන ගමනෙන් සමු ගත්තත්, පොත පතට ප්‍රිය කරන්නන් හට ඔහුගේ නාමය නම් කිසිම දවසක අමතක නොවේවි කියලා අපි විශ්වාස කරනවා.

Charlie and the chocolate factory

චන්දන මෙන්ඩිස් මහතා විසින් ‘චාලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල’ නමින් රචනා කර ඇති මෙම පොතේ ප්‍රධාන චරිත දෙක තමයි අරුම පුදුම චොක්ලට් කම්හලක් අයිති විලී වොන්කා මහත්මයා සහ චාලි බකට් කියන ගුණ යහපත් පොඩි ළමයා. ඊට අමතරව බොහොම සිත් ඇදගන්නා සුළු චරිත කිහිපයක් ම මෙහි අඩංගු වෙනවා. එයාලා හැමෝම ගැන වැඩි විස්තර දැනගන්න නම් ඉතින් පොත කියවන්නම සිදු වෙනවා.

Matilda

උපාලි උබයසේකර මහතා විසින් ‘මැටිල්ඩා’ නමින් පරිවර්තනය කර ඇති මේ අපූරු කෘතියෙන් කතා කරන්නේ හිතා ගන්න බැරි තරම් දක්ෂ පොඩිත්තියක් ගැනයි. මැටිල්ඩට පොඩ්ඩක්වත් ආදරේ නැති එයාගේ දෙමව්පියො, මැටිල්ඩට පුදුම තරම් ආදරේ කරන මිස් හනි, නපුරුම් නපුරු මිස් ට්‍රන්ච්බුල් විතරක් නෙවෙයි තව පොඩ්ඩෝ කිහිප දෙනෙක් ගැනම සඳහන් වෙන අපූරු පොතක් තමයි “මැටිල්ඩා”.

Danny the champion of the world

පොඩි දරුවෙකුට ලැබෙන්න පුළුවන් අපූරුම තාත්තෙක් ලැබිලා තියෙන ඩැනී තමයි මේ පොතේ ප්‍රධාන චරිතය වෙන්නේ. ඒ අපූරු තාත්තයි පුතයි එකතුවෙලා සිදු කරන හපන්කම් ගැන දැනගන්න ආසා නම් කත්‍යානා අමරසිංහ විසින් පරිවර්තනය කරපු ‘සූර වීර ඩැනී’ කියවන්න ම වෙනවා.

George’s marvellous medicine

‘ජෝර්ජ්ගේ අරුම පුදුම බෙහෙත් වඩිය’ නමින් මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ සමරසිංහ ගුණසේකර මහතා විසිනුයි. ජෝර්ජ් විසින් නිර්මාණය කරන අමුතු බෙහෙත් වඩිය පානය කරන කුකුල් කේන්තිකාර ආච්චි අම්මට මොනවා සිද්ධ වෙයිද? ජෝර්ජ්ගේ කතන්දරේ කියෙව්වොත් නම් ඒ ගැන දැනගන්න පුළුවන් වේවි.

Boy

‘පොඩ්ඩා’ නමින් මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ හසිත කැකුළාවල මහත්මයා විසිනුයි. රෝල් ඩාල් විසින් තමන් කුඩා කාලයේ මුහුණ දුන් සුවිශේෂී, හාස්‍යජනක, විචිත්‍රවත් වගේම අමිහිරි සිදුවීම් කිහිපයක් මූලික කරගෙන රචනා කරන ලද ඉතාමත් රසවත් කෘතියක් තමයි ‘Boy’ කියලා කියන්නේ.

Fantastic Mr. Fox

‘නරිහාමිගේ අපූරු වැඩ’ නමින් මෙලනි අමරසූරිය විසින් පරිවර්තනය කරලා තියෙන මේ පොතේ තියෙන්නේ නරි පවුලක් සහ නපුරු මිනිස්සු තුන් දෙනෙක් සම්බන්ධ කතාන්දරයක්. සූර නරි හාමි මේ නපුරෝ තුන්දෙනාව පරද්දපු විදිය දැනගන්න කැමත් 2නම් පොත කියවලාම බලන්න කියලා අපි යෝජනා කරනවා.

James and the giant peach

උපාලි උබයසේකර මහතා විසින් පරිවර්තනය කරලා තියෙන මේ පොතෙන් කියැවෙන්නේ අම්මා තාත්තා අහිමි අහිංසක ජේම්ස්ගේ කතාවයි. නපුරු නැන්දලා දෙන්නෙක් එක්ක උස් මහත්වෙන ජේම්ස්ට ඒ දෙන්නගෙන් බේරෙන්න උදව් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි, අරුම පුදුම යෝධ පීච් ගෙඩියක්. කොහොමද උදව් කලේ කියලා දැනගන්න නම් මේ පොත කියවන්නම වෙනවා.

The Twits

‘පිස්සු ගෙදර ඇත්තෝ’ නමින් සුදත් රෝහන මහතා පරිවර්තනය කරලා තියෙන මේ පොතේ ප්‍රධාන චරිත තමයි නපුරු ට්විට්ස් යුවල සහ එයාගේ වත්තේ කෙළවර කූඩුවක හිරකරලා ඉන්න වඳුරු පවුලේ සාමාජිකයින්. ට්විට්ස් ජෝඩුවට පාඩමක් උගන්නලා පැනලා යන අඟර දඟර වඳුරු පවුලේ කතාන්දරය තමයි මේ පොතේ අඩංගු වෙන්නේ.

The magic finger

‘පුංචි මැජික්කාරි’ නමින් උපාලි උබයසේකර මහතා පරිවර්තනය කරලා තියෙන මේ කතාන්දරයේ ප්‍රධාන චරිතය වන්නේ මැජික් බලයක් හිමි පුංචි ගැහැණු ළමයෙක්. දඩයමේ යන්න බොහොම ප්‍රිය කරන ග්‍රෙග් පවුලටම මේ පුංචි දැරිවි යස පාඩමක් උගන්නනවා. ඒ අපූරු මැජික්කාරිගේ හපන්කම් ගැන තමයි මේ කතාන්දරයෙන් කියැවෙන්නේ.

The giraffe and the Pelly and me තොම්සන් වැන්දබෝනා මහතා විසින් ‘ ජිරාෆුයි පෙලීයි මායි’ නමින් පරිවර්තනය කරලා තියෙන මේ රසවත් පොතේ අඩංගු වෙන්නේ බිලී, පෙලී, ජිරාෆි සහ මන්කි කියන ජනෙල් පිරිසිදු කරන කණ්ඩායම විසින් ලෝකයේ බිහිසුණුම දියමන්ති හොරාව හෙළිදරව් කරන ආකාරය ගැන කතා පුවතයි.

Related Articles