Home #Bosslady දේශීය ව්‍යාපාර ලෝකයේ මුල් තැන ගත් කාන්තාවන්

දේශීය ව්‍යාපාර ලෝකයේ මුල් තැන ගත් කාන්තාවන්

by LADY.LK

ලංකාවේ බොහෝදෙනෙක් ව්‍යාපාර සම්බන්ධයෙන් එලබ ගත්තු මත තියෙනවා. ඒ අතරින් ප්‍රධානම දෙයක් තමයි කාන්තාවන්ට ව්‍යාපාර හරියන්නෙ නෑ කියන එක. මේ නිසාම ලංකාවේ තරුණියන් ආරම්භ කරපු සහ ආරම්භ කරන්න හීන දැකපු ව්‍යාපාරවලට තිත තියන්න වුණා. නමුත් අපි අද Lady.lk තුළින් කතා කරන්නෙ මෙන්න මේ සමාජ මතය කීතු කීතු වෙන්න ඉරා දාපු ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම කාන්තා නාමයන් කිහිපයක් ගැන. ඉතින් මේ සටහන ව්‍යාපාර අදහසක්, ව්‍යවසාය සිහිනයක් හිතේ දරාගෙන ඉන්න ඕනම කෙනෙකුට ලොකු උනන්දුවක් ඇති කරාවි. උත්තේජනයක් එක් කරාවි. ඉතිං අපිට මේ සටහනට එක් කරන්නට අතපසු වුණු ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය ජයගත්තු කාන්තාවන් ගැන ඔබත් දන්නවානම් එය අදහසක් විදියට දක්වන්න.

ලිලාමනී ඩයස්

පසුගිය වසරේ ඇඩ්වටයිසින් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු හඬවමින් අවසන් ගමන් ගිය ලිලාමනී ඩයස් බෙන්සන් නොහොත් කෙටියෙන් සැවොම හඳුන්වන LDB ගැන මේ සටහනේ මුලටම එකතු කරනවා. ඇය ලින්ටාස් ආයතනයට නායකත්වය දෙන ඇය පිරිසුදු ජලය සහ සන්ලයිට්, අලියා බීම නැගීම, ජාතික ඉතිරිකීමේ බැංකුව NSB වීම පිටුපස සිටි දැවැන්ත හස්තයයි. සිය සේවකයන්ට අතිශය ලෙංගතු වූ ඇය ගැන ඇඩ්වටයිසින් ලෝකයේ පවතින්නේ නොමද ආදරයක්. සිය පියාගේ අඩිපාරේ යමින් දැන්වීම්කරණ සම්මාන උළෙලවල් වල ඉහළින්ම සම්මානිත නාමයක්. ඇය 60 දශකයේදි ලංකාවේ ප්‍රමුඛතම ඇඩ්වටයිසින් ඒජන්සියක් වුණු Grants හී ලේකම්වරියක් විදියට වැඩ කරලා ලබාගත්තු පන්නරයෙන් මේ දිගු ගමන එනවා.

චාන්දනී බන්ඩාර

සිය පියාගේ වෙදකම් ආභාෂයෙන්, ඒ අනුව යමින් ක්‍රීම් වර්ග තැනීමට ඇරඹූ ඇය ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් විදියට හඳුන්වන්න පුළුවන්. දැනට පහළොස් වසරක් මුළුල්ලේ පැවත එන ඇයගේ ව්‍යාපාරය ඇයගේ උත්සාහයත් කැපවීමත් සමගින් ඇයව ඉහළටම ඔසවා තැබුවේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන ෆෝරෙවර් ස්කින් නැචුරල්ස් ආයතනයේ අධිපතිනිය බවට ඇයව පත් කරමින්. ඒ අනුව යමින් දිවයින පුරාම රූපලාවන්‍යාගාර මෙන්ම, තම දැණුම බෙදාදෙන රූපලාවන්‍ය පාඨමාලාද පවත්වමින්, විදේශයන්ටත් යවන රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළත් ව්‍යාපාර ජාලයක හිමිකාරිනිය වන්නට ඇය සමත් වුණා. සැබවින්ම ඇය තරුණ ව්‍යවසායිකාවකට කදිම තල්ලුවක් ගන්නට ඇසුරු කළ හැකි චරිත කතාවක් සතු ස්ත්‍රියක්.  

සෝමා එදිරිසිංහ

ලංකාවේ ව්‍යාපාරිකාවක් විදියට එක් නමක් කියන්නට යැයි කිවහොත් බොහෝදෙනෙකුගේ මතකයට මුලින්ම එන නම වෙන්නේ සෝමා එදිරිසංහ නාමයයි. සිය සැමියාගේ අභාවයෙන් පසු තම දරුවන්ද උස් මහත් කරමින් සැමියාගේ ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් කළ ඇය, එය ව්‍යාපාර ජාලයක් දක්වා වැඩි දියුණු කරන්නේ E. A. P. සමාගම මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරයක් බවට පත් කරමින්. ස්වර්ණවාහිනිය, සැවෝයි සිනමා ජාලය, EAP මූල්‍ය ආයතනය, සැෆයර් හෝටලය ඇතුළුව ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනයේද ප්‍රමුඛ නමක් තම ව්‍යාපාර ජාලය හිමි කරගන්නට ඇය සමත් වුණා. මීට සය වසරකට පෙර ඇය ජීවිත ගමනට සමු දුන්නා.

ජැනට් බාලසූරිය 

දේශීය අමුද්‍රව්‍යවලින් නිපදවූ රූපලාවණ්‍ය නිෂ්පාදන ජාත්‍යන්තරයට හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් කළ ඇය දෙස් විදෙස් සම්මාන ගණනාවකින් අගැයීමට ලක්වූවා. ඇය රූපලාවන්‍ය ක්ෂේත්‍රයට එන විට ඇය විශාල අභියෝගයකට මුහුණ දුන්නේ ඒ වන විට ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය අරක් ගෙන තිබුණේ ප්‍රමුඛ විදෙස් සමාගම්වල නිෂ්පාදන විසින් වීමයි. 2014 වසරේ මිය යන ඇය, රූපලාවන්‍ය ක්ෂේත්‍රයට දේශීය පන්නරය ලබා දීමේ පුරෝගාමියා ලෙසින් හැඳුන්විය හැකියි. කිසිවකුගේ උදවුවක් නොමැතිව තනිව වෙහෙසෙමින් ඇය එන නිෂ්පාදය අපනයනය කරන මට්ටමටම දියුණු කළා. වර්තමානය වන විට ඇයගේ බාල පුත්‍රයා විසින් SPA Ceylon සුපිරි රූපලාවන්‍ය නිෂ්පාදන පෙළ ලොව පුරා ප්‍රචලිත කරමින් සිටිනවා.

මල්ලිකා හේමචන්ද්‍ර 

මීට පනස් දෙවසරකට පෙරාතුව ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පිළිබඳ වැඩි දැණුමකුත් නැතිවම සේවකයන් දෙදෙනෙකුගෙන් පමණක් ඇරඹි මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් රන් නාමය පිටුපස ඇති ශක්තිමත් අත ඇයයි. රන් ආභරණ නිෂ්පාදනය පිළිබඳ යම් දැණුමක් සහිත පවුලකින් පැවත එන සිය සැමියාගේ උදවුවෙන් මෙම ව්‍යාපාරය ලංකාවේ මිනිසුන්ගේ මුවග රැඳුනු නාමයක් බවට පත් කරන්නට ඇයට හැකි වෙනවා. අතිශය කැපවීමකින් සිය ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසී මේ වන විට එය ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරයක් බවට පත් කිරීමට ඇයට ශක්තිය ලැබී ඇති බව නොරහසක්.

ඔටාරා ගුණවර්ධන 

තමුන් හැඩ කළ නිමි ඇඳුම් වාහනය​ක ගොස් අලෙවිකරමින් ක්ෂේත්‍රයට පැමිණි ඔටාරා ඩෙල් ගුණවර්ධන ඔඩෙල් (ODEL) හා එම්බාර්ක් (EMBARK) නාමයන් ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් අතිදක්ෂ ව්‍යාපාරිකාවක් සහ ව්‍යවසායිකාවක් ලෙසින් කල එලි බැස්සා. මුල් කාලයේ නිරූපණ ශිල්පිනියක් ලෙසින් ක්ෂේත්‍රයට පිවිසි ඇය සිය ඇඳුම්වලට ලැබෙන අසීමිත ප්‍රතිචාරත් සමගින් 1989 වසරේ සිය මුල් නමේ මුල් අකුරත් දෙවැනි නමත් යොදාගෙන මෙම නව ව්‍යාපාරය ආරම්භ කරනවා. දියුණුවේ හිණි පෙත්තටම නැගි පසු කිසිවෙකු නොසිතූ ලෙසින් සිය ව්‍යාපාරය විකුණා දැමූ ඇය මේ වන විට සුරතල් සතුන් වෙනුවෙන් ඇය ආරම්භ කළ Embark ව්‍යාපාරයේ නියැලී සිටිනවා.

Related Articles