Home #BossladyEntrepreneurship ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කලින් office job කිරීමේ වාසි

ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කලින් office job කිරීමේ වාසි

by ladylk

ස්වයං රැකියාවක් ආරම්භ කිරීම ඔබේ සිහිනය වුණත් ඊට පෙර ඔබට office job එකක නිරතවෙන්නට සිදු වෙලාද? ඒ වගේම  ඔබ පසුවෙන්නේ ඒ ගැන සිත් තැවුළෙන්ද? එහෙම නම් lady.lk අපි අරන් එන මේ ලිපිය ඔබට බෙහෙවින් ම වැදගත් වේවි. කාර්‍යාලයක සේවය කර තිබීම ස්වයං රැකියාවක් ඇරඹීමට ඔබට පන්නරයක් වනවා මිසක බාධාවක් වන්නේ නම් නැහැ කියලා මුලින්ම අපි කියන්න කැමතියි. මිල කළ නොහැකි දැනුම, අත්දැකීම් වගේම ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්නත් රැකියාවක නිරත වීම ඉතාමත් වැදගත් වන්නට ඉඩ තියෙනවා. ඉතින් එහෙනම් අපි තව දුරටත් හොයලා බලමු මේ වගේ තව වාසි මොනවද තියෙන්නේ කියලා.

තමන් ව හඳුනාගැනීමට හැකිවීම

රැකියාව කරන අතරතුරේදි ඔබට තමන්ගේ හැකියාවන් සහ දුර්වලතා හඳුනාගැනීමට අවස්ථාව උදාවෙනවා. අපි මීට කලින් SWOT Analysis ගැන කතා කලා ඔබට මතක ඇති. ඉතින් එහෙනම් රැකියාව අතරතුරේදි තමන් සම්බන්ධව ම SWOT Analysis එකක් සිදු කිරීමට හොඳම අවස්ථාවක් ඔබට ලැබී තියෙනවා. ඒ කියන්නේ ඔබට වඩාත් සාර්ථකව සම්පුර්ණ කළ හැකි දේ, ඔබ අසාර්ථක වන අවස්ථා, ඔබට තමන් තුළින් ම ලැබෙන උපකාර සහ තමන්ගේ ගති ලක්ෂණ නිසා ඔබට මුහුණදීමට සිදුවිය හැකි ගැටළු ගැන ප්‍රායෝගික අවබෝධයක් ලැබීමටත් එවැනි අවස්ථාවල තමන් ඒවාට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලත් ඔබට අධ්‍යනය කරන්න අවස්ථාව උදාවෙනවා. මෙය රැකියාවකින් ඔබට ලැබිය හැකි සුවිශේෂී ම වාසියක් විදියට තමයි අපි නම් දකින්නේ.

පුද්ගලයින් හඳුනාගැනීමට හැකිවීම

ඔබට තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න අදහසක් තියෙනවා නම් විවිධ වයස් මට්ටම්වල, විවිධාකාර දක්ෂතා සහ දැනුම සහිත, අත්දැකීම් වලින් අනූන, ඒ වගේම ඔබගේ ව්‍යාපාරයට කවරාකාරයකින් හෝ සහයෝගයක් ලබාදිය හැකි ආකාරයේ පුද්ගලයින් හඳුනාගෙන සිටීම අතිශය වැදගත් කාරණාවක් වෙනවා. ඔබ අධ්‍යාපනිකව සහ ආර්ථිකව කොයි තරම් ශක්තිමත් වුණත් අන් අයගෙන් ලැබෙන සහයෝගය මිල කළ නොහැකි තරමේ වටිනාකමකින් යුතු නිසා කාර්‍යාලයක සේවය කරමින් එවැනි පුද්ගල සම්බන්ධතා ගොඩනගා ගැනීම ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය විශාල රුකුලක් වනවා නොඅනුමානයි.

International skills

තමන්ගෙම ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඔබ අදහස් කරනවා නම්, එහි සේවකයින්, පාරිභෝගිකයින් සහ සැපයුම්කරුවන් සමඟ විතරක් නෙවෙයි රජයේ කාර්‍යාල සහ වෙනත් සේවා සපයන්නන් සමඟ පවා ගණුදෙනු කරන්නට සිදුවෙන බව ඔබට පැහැදිලි ඇති. ඉතින් මේ වගේ විවිධාකාර පුද්ගලයින් සමඟ වැඩ කරනකොට ඒ එක් එක් පුද්ගලයාට ගැළපෙන විදියට සහ වෘත්තීමය ආකාරයට ඔවුන් හා සන්නිවේදනය කළයුතු ආකාරය ගැන ඔබට මනා දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. කාර්‍යාලයක සේවය කිරීමේදී විවිධාකාර පෞර්ෂත්වය ලක්ෂණ තියෙන පුද්ගලයින් සමඟ ගණුදෙනු කර හුරු පුරුද්දක් තියෙනවා නම් මේ අභියෝගය ජයගැනීම ඔබට එතරම් අපහසු වෙන්නේ නැතිවෙයි කියලා අපි විශ්වාස කරනවා.

Critical and creative thinking skills

ඔබ තුළ ඇති නිර්මාණශීලි බව තමයි ව්‍යාපාරයේ දියුණුවේ ඉනිමඟ වෙන්නේ. අර්බුදකාරී අවස්ථාවලදී නම්‍යශීලීව ක්‍රියා කළයුතු ආකාරයත්, අවස්ථානුකූලව සහ පාරිභෝගික රුචිය අනුව නිෂ්පාදන ලබා දීමේ හැකියාවත් වැඩි දියුණු වන්නේ මෙන්න මේ කියන නිර්මාණශීලි බව තුළින්. ඉතින් තමන්ගේ සහජ නිර්මාණශීලි බව දියුණු කරගන්නටත්, සහජ නිර්මාණශීලී බවක් නැත්නම් අත්දැකීම්, දැනුම සහ උත්සහවන්ත බවින් ඇති කරගන්නා නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නටත් ඔබ නියැලෙන රැකියාව මහඟු පිටිවහලක් වෙයි කියලා අපි හිතනවා

Leadership skills

ව්‍යාපාරයක හිමිකරුවෙකුට හිමිවිය යුතු ලක්ෂණ අතර නායකත්ව ලක්ෂණ අනිවාර්යයෙන් පැවතිය යුතු ගති ගුණයක් වෙනවා. පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩය හෝ සේවාව පාරිභෝගිකයා තෘප්තිමත් වෙන ආකාරයට ලබා දීමටත්, නිවැරදි තීන්දු තීරණ ගනිමින් ව්‍යාපාරය නිවැරදි මාවතේ ගමන් කරවීමටත්, ඵලදායක සැලසුම් සකස් කිරීමට වගේම සියලු වගකීම් සංවිධානාත්මකව ඉටු කිරීමටත් මෙය අත්‍යවශ්‍ය ගුණාංගයක් වෙනවා. ඉතින් ඔබේම ව්‍යපාරයක් ඇරඹීමට පෙර ඔබ කාර්‍යාලයක සේවය කරනවා නම් සාර්ථක ආයතන ප්‍රධානීන් තුළ ඇති මෙවැනි ගති ලක්ෂණ අත් විඳින්නටත්, තමන් තුළත් එවැනි ලක්ෂණ ඇති කරවා ගන්නටත් ඔබට අවස්ථාව ලැබෙනවා ඉඩ තියෙනවා. 

ඊට අමතරව,

ඉහතින් සඳහන් කළ කරුණුවලට අමතරව ගිණුම් තැබීම සම්බන්ධ කටයුතු, ප්‍රචාරණ කටයුතු, භාණ්ඩ අලෙවියේදී තිබිය යුතු දක්ෂතා, මූල්‍ය කළමනාකරණය, වෘත්තිය ආචාර ධර්ම, පීඩාකාරී සහ අසාර්ථක අවස්ථාවන්ට සාර්ථකව මුහුණ දීම, තරඟකාරී ආයතන සමඟ සසඳමින් තම දුර්වලතා සොයා ගැනීම වගේ නිපුණතා වැඩි වර්ධනය කර ගැනීමට ඔබට අවස්ථාව උදා වෙන්නට ඉඩ තියෙනවා. සමහරවිට මේ දේවල් ගැන වඩා ගැඹුරින් ඉගෙනීමට ඔබට අවස්ථාවක් උදා නොවෙන්නට පුළුවන්. නමුත් කිසිම දැනුමක් හෝ අත්දැකීමක් නොමැතිව ව්‍යාපාරයක් වෙනුවෙන් මුදල් ආයෝජනය කරනවාට වඩා තරමක හෝ දැනුමක් ලබාගෙන ඒ දේ සිදු කිරීම වඩා සුදුසු බවයි අපේ අදහස වෙන්නේ. කිසියම් ආයතනයක රැකියාවක නිරත නොවෙනවා නම් අවම වශයෙන් intern කෙනෙක් විදියට හෝ ආයතනයක් හා සම්බන්ධ වීම ඔබේ වැඩකටයුතු සාර්ථක වීමට රුකුළක් විය හැකි බව අවසන් වශයෙන් අපි සිහිපත් කරනවා.

Related Articles