Home #Bosslady ව්‍යවසායිකාවක් වීමට බලාපොරොත්තු ව​න ඔබ කියවිය යුතු ම පොත් කිහිපයක්

ව්‍යවසායිකාවක් වීමට බලාපොරොත්තු ව​න ඔබ කියවිය යුතු ම පොත් කිහිපයක්

by LADY.LK

සාර්ථක ව්‍යාපාරිකාවක් වගේම ව්‍යවසායිකාවක් වීමට බලාපොරොත්තු වන ඔබට, ඒ අපේක්ෂාව සාර්ථකව ඉටු කර ගැනීම වෙනුවෙන් බෙහෙවින් කැපකිරීම් කරන්නට සිදුවෙනවා. ව්‍යාපාරය සම්බන්ධ කටයුතුවලට වෙහෙසෙන අතරේ පොත පත කියවීමටත් යම් කාලයක් වෙන් කරගන්නවා නම් එය ඔබට දැනුමින් සහ අදහස්වලින් සන්නද්ධ වීමටත්, උත්තේජනයක් ලබා ගන්නටත්, සැලසුම් සකස් කරගන්නට වගේම විනෝදය ලබන්නටත් උපකාරයක් වේවි. ඉතින්, ව්‍යවසායිකාවක් වීමට වෙහෙසෙන ඔබට කියවන්න සුදුසු පොත් කිහිපයක් ගැන තොරතුරු අරන් එන්න අපි තීරණය කළා. 

සාර්ථක ව්‍යාපාරිකයාට දැනමුතුකම්

නීතීවේදි එච්. අයි. පී ඉමදූව විසින්‍ රචිත කෘතියකි. ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට අවශ්‍ය සෑම ගුණාංගයක්ම, විශේෂයෙන් ආකල්ප, දැනුම සහ කුසලතා පිළිබඳව විවිධ දෘෂ්ඨි කෝණවලින් විමසා බලමින් සරල ලෙස රචනා කර ඇති මෙහි, ප්‍රායෝගික කරුණු කාරණාත්  වැඩි වශයෙන් අඩංගුව ඇති බව කියන්නට පුලුවන්. ව්‍යාපාර සැලසුම්, සංවිධාන ක්‍රමෝපායයන්, කළමනාකරණය, ප්‍රාග්ධනය, ව්‍යාපාර නීතිය, විගණනය, බැංකු ණය පහසුකම්, ව්‍යාපාරිකයෙකු සතුවිය යුතු නායකත්ව ගුණාංග, සේවක සුබ සාධනය යන කරුණු සම්බන්ධව සාකච්ඡා කර ඇති මේ කෘතිය නව ව්‍යාපාරයක් ඇරඹීමට පෙර කියවිය යුතු ම කෘතියක් විදියට හඳුන්වන්න පුලුවන්.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතිය පිළිබඳ හැඳින්වීමක්

නීතීඥවරියක් සහ කතිකාචාර්‍යවරියක් වන නිරෝෂිකා ලියනමුහන්දිරම්ගේ පළමු කෘතිය වන මෙය මෙරට ව්‍යාපාර නීතිය පිළිබඳ මූලික සංකල්ප සරල විදියට හඳුන්වා දෙමින් රචනා කරන ලද්දක් වනවා. ඔබ ව්‍යාපාරික ලෝකයට අමුත්තියක් පළමුව නම් මේ කුඩා ප්‍රමාණයේ කෘතිය කියවා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නීතිය පිළිබඳ යම් දැනුමක් ලබාගැනීම සුදුසු බව අපි යෝජනා කරනවා.

ජයගතිමි ජීවිතය

අතිසාර්ථක ව්‍යාපාර ජාලයක් වන Virgin Group හි නිර්මාපකයා වන Richard Branson විසින් රචිත Screw it, Let’s do it කියන කෘතිය “ජයගතිමි ජීවිතය” නමින් පරිවර්තනය කරන්නේ නිපුන් කුමාර කාලිංග විසිනු යි. කතුවරයා විසින් මුහුණ දුන් අත්දැකීම් තම පෞද්ගලික සහ ව්‍යාපාරික ජීවිතය සාර්ථක කරගැනීමට යොදවාගත් ආකාරය, නැවත නැවතත් උත්සහ කරමින් සාර්ථකත්වය හඹාගිය ආකාරය, බාහිර පුද්ගලයින් ගැන වද නොවී ආත්ම විශ්වාසයෙන් ක්‍රියාකළ ආකාරය, තමන් සිදු කරන කාර්‍ය ප්‍රියතාවයකින් යුතුව සිදු කිරීම  වැනි කරුණු සඳහන් කරමින් ලියැවුණු මෙය අනිවාර්යයෙන් ඔබව දිරිගන්වන කෘතියක් වන්නට ඉඩ තියෙනවා.  

ධනවත් පියා, දිළිඳු පියා

Robert T. Kiyosaki සහ Sharon L. Lecher දෙදෙනා විසින් එක්ව රචනා කළ “Rich dad, Poor dad” නම් ප්‍රකට කෘතිය ඉහත සඳහන් නමින් පරිවර්තනය කර ඇත්තේ ප්‍රදීප් කුමාර බාලසූරිය විසිනි. රොබර්ට් කියෝසාකි යනු මුදල් පරිහරණය පිළිබඳ නව සංකල්ප රැසක් ඉදිරිපත් කළ පුද්ගලයෙක් වන අතර තමන් තුළ ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම ධනවත් වීමේ රහස බව මේ කෘතියෙන් ඔහු පැහැදිලි කරනවා. වත්කම් හා වගකීම් අතර වෙනස, වත්කම් හිමිකර ගැනීමට වැඩි අවධානයක් යෙදවීම, ආයෝජනය කිරීමේ වැදගත්කම, සමාගමක ඇති බලය/ සමාගමකින් ලැබෙන නීතිමය ආරක්ෂාව, මූල්‍ය සාක්ෂරතාවය, වෙළඳපල හඳුනාගැනීම, නීතිය වගේ කරුණු කාරණා පිළිබඳව මේ කෘතියෙන් පැහැදිලි කිරීමක් සිදු කරනවා.

Rich Woman

Kim Kiyosaki නමැති කතුවරිය ලොව පුරා සිටින මුල්‍යමය සාර්ථකත්වයක් ලබාගන්න කැමති ඔබ වැනි කාන්තාවන් වෙනුවෙන් මේ කෘතිය රචනා කරලා තියෙනවා. වෙනත් පුද්ගලයෙක් මත නොයැපෙන, ආර්ථිකමය වශයෙන් ස්වාධීන කාන්තාවක් වීමේ වටිනාකම ඇය මේ කෘතිය හරහා පැහැදිලි කර දෙන අතරම අයවැය පිළිබඳ අවධානය යෙදීම, නිශ්චල දේපල, කොටස් සහ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කිරීම, මූල්‍යමය සාක්ෂරතාවය නිවැරදිව භාවිතා කරන ආකාරය වැනි කරුණු ගැන දැනුමත් මේ පොතේ අඩංගුවෙනවා.

Woman Who Launch

නව ව්‍යාපාරයක් ආරම්භ කරන කාන්තාවකට තියෙන ප්‍රධාන ම ගැටලුවක් තමයි ව්‍යාපාරයට යොදවන්න මූලික ප්‍රාග්ධනය සපයාගැනීමේ අපහසුතාවය. මේ අභියෝගය ජයගන්න අමාරුයි කියලා දැනෙනකොට බොහෝ කාන්තාවන් අධෛර්‍යමත් වෙලා, ව්‍යවසායිකාවක් වීමේ සිහිනය අතෑරලා දාන්න පෙළඹෙනවා. යම් විදියකින් ඒ වගේ තත්ත්වයකට මුහුණ දීලා ඉන්නවනම්, ඔබ කියවිය යුතු ම පොතක් තමයි Marlene Wagman Geller කියන කතුවරිය විසින් රචනා කරපු Woman Who Launch පොත. බොහෝ අසීරුතා මැඩගෙන තමන්ගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරලා ජීවිතය ජයගත්ත කාන්තාවෝ ගැන සත්‍ය කතා ඇය මේ පොතේ සඳහන් කරලා තියෙනවා. 

Million Dollar Woman 

Julia Pimsleur විසින් රචිත මේ කෘතිය, ව්‍යවසායිකාවක් වීම වෙනුවෙන් වෙහෙසෙන ඔබව දිරිගන්වන්නක් වෙයි කියලා අපි හිතනවා. කතුවරිය ඇතුළු තවත් කාන්තා ව්‍යාපාරිකාවන් කිහිප දෙනෙක් තමන්ගේ ව්‍යාපාර වෙනුවෙන් ප්‍රාග්ධනය රැස්කරගත් ආකාරය, ශක්තිමත් ව්‍යාපාර ජාලයක් ගොඩනගා ගත් ආකාරය සහ එමඟින් වත්කම් ගොඩනඟා ගත් ආකාරය ගැන මේ පොතෙහි සඳහන් වෙනවා. නිවැරදි ව්‍යාපාර සම්බන්ධතා ගොඩනඟා ගැනීම, නිවැරදි මඟපෙන්වීම් සහ සහයෝගය ලබා ගැනීම සම්බන්ධවත් අදහසක් ලබාගන්නට ඔබට හැකිවේවි. මේ අසීරු ගමන් මඟේදි ව්‍යාපාරිකාවකට මුහුණ දෙන්න වෙන බාධක සහ ඒ බාධක මැඩගන්නා ආකාරය ගැන වටිනා අදහස්වලිනුත් මේ පොත සමන්විත වෙනවා.

Related Articles