Home #BossladyEntrepreneurship ස්වයං රැකියාවක් වශයෙන් ආරම්භ කළ හැකි ආහාර සම්බන්ධ ව්‍යාපාර

ස්වයං රැකියාවක් වශයෙන් ආරම්භ කළ හැකි ආහාර සම්බන්ධ ව්‍යාපාර

by LADY.LK

තමන්ගේ විනෝදාංශය හෝ විශේෂ හැකියාව ආදායම් මාර්ගයක් කරගැනීමට කැමති, නමුත් පිළිවෙළකට 8-5 රැකියාවක් කිරිමට අකමැති කෙනෙක්ට හොඳින් ආදායම් උපයන්න පුලුවන් මාර්ගයක් තමයි තමන්ගේම කියලා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඔබ පිසින කෑම රස බලන්නන්ගෙන් ඒවාට විශේෂ ඇගයීම් ලැබෙනවා නම්, මේ වෙනකොටත් ඔබ හිතමිතුරන්ගේ උත්සව අවස්ථාවලට නොමිලේම කෑම බීම සපයනවා නම්, අවම වශයෙන් ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් ඇරඹීමට ඔබට යම් සිතිවිල්ලක් හෝ තියෙනවා නම් මේ ලිපිය ලියැවෙන්නේ ඔබ වෙනුවෙන්ම යි.

බේකරි ආහා​ර

පාන්, බනිස්, muffins, cookies, cup cakes, pastries වගේ බේකරි ආහාරවලට විශේෂ ප්‍රියතාවයක් දක්වන, එදිනෙදා ආහාර වේලට මේවා එකතු කරගන්න පිරිස් ඔබ අවටම ජීවත්වනවා ඇති. මේ නිසා මේ විශේෂ පාරිභෝගික කාණ්ඩය ඉලක්ක කර රසවත්, පිරිසිදු සහ පෝශ්‍යදායි ව්දියට bakery food items සකසා විකිණීම ඔබට ලාභදායි ස්වයං රැකියාවක් වේවි. ඒ වගේම ඔබ සපයන ආහාර වලට යම් යම් සුවිශේෂීතා එකතු කරනවා නම් පාරිභෝගිකයින් වඩාත් සතුටට පත් කිරීමටත් හැකිවේවි. උදාහරණ විදියට sugar free ආහාර, gluten free ආහාර, වර්ණක භාවිතය අවම කේක් නිර්මාණ, ආහාර පාලනය කරන්නනන්ට සුදුසු පාන් වර්ග වගේ දේවල් පෙන්වන්න පුලුවන්. 

තෝරාගත් විශේෂ ආහාර වර්ගයක්

ඔබ සකසන යම් විශේෂ ආහාර වර්ගයක් අන් අයගේ නිරන්තර පැසසීමට ලක්වනවා නම් එය ම ආදායම් මාර්ගයක් බවට පත්කර ගැනීමේ හැකියාව ඔබ සතුවෙනවා. එය ජෑම් වර්ගයක්, ඇඹුල් තියල් හෝ බැඳුම් වර්ගයක්, නිවසේ දීම සකස් කරගන්නා සුවදැති කුළුබඩු කුඩු වර්ග, cereal වර්ග, cup cakes, බීම වර්ගයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් ඔබේ ගෙවත්තේ බහුලව ඇති ආහාර ද්‍රව්‍යයක් වෙන්නත් පුළුවන්.  සෞඛ්‍යාරක්ෂිත සහ ලාභදායි ලෙස සපයන ආහාර වර්ග වලට ඇති ඉල්ලුම වර්තමානය වෙනකොට වැඩිවෙනවා මිසක් අඩුවන්නේ නැති නිසා මේ හරහා ඔබට ස්ථීර ආදායම් මාර්ගයක් සදා ගැනීමේ හැකියාව ලැබෙනවා.

කෝකිවරියක් වශයෙන් සේවය කිරීම

අතිශය කාර්‍යබහුල වුවත් කඩ කෑම ගැනීමට අකමැති අය වෙනුවෙන් ඒ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ අවශ්‍යතාවය පරිදි ආහාර පිසදීම  ස්වයං රැකියාවක් වශයෙන් සිදු කරනවා නම් ඔබට වැයවන කාලය, ශ්‍රමය සහ හැකියාව වෙනුවෙන් සාධාරණ අය කිරීමක් සිදු කළ හැකිවෙනවා. රසවත්ව ආහාර පිසීමට කැමති වුවත් Catering service වැනි විශාල කටයුත්තකට අත ගැසීමට අකමැති කෙනෙක්ට මෙය ඉතා හොඳින් ගැළපෙන බව කියන්න පුළුවන්. බොහෝ විට සතියකට හෝ දින 3-4ට ප්‍රමාණවත් තරම් ආහාර පිසදීම හෝ වැඩිම වුවහොත් පිසගත් ආහාර පිළිවෙළකට freeze කරදීම ඔබට අයත් රාජකාරිය වන්නට ඉඩ තියෙනවා.

ආහාර සැකසීම පිළිබඳව ඉගැන්වීම

මුදල් ගෙවා ආහාර පිසීම පිළිබඳව ඉගෙනීමට කැමති පිරිස් සඳහා ඉගැන්වීමේ හැකියාව ඔබට ඇත්නම් මෙය ඉතා හොඳ ආදායම් මාර්ගයක් විදියට පෙන්වන්න පුළුවන්. මෙය සිදු කළ හැකි ආකාර කිහිපයක් තියෙනවා. youTube නාලිකාවක් ආරම්භ කිරීම, තම නිවසේම tution class එකක් ආකාරයට සිදු කිරීම හෝ zoom වැනි මාධ්‍යක් හරහා පන්ති පැවැත්වීම සිදු කරන්න පුලුවන්. එහෙමත් නැතිනම් food blog එකක් එකක් ආරම්භ කිරීමත් ආදායම් ගෙනදෙන විනෝදාංශයක් විදියට පෙන්වන්න පුලුවන්. 

Catering service

මෙය ඔබට කිහිපදෙනෙකුගේ සහයෝගය සහ මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය වන ආකාරයේ ව්‍යාපාරයකි. ආහාර සැකසීමේ භාජන සහ අනෙකුත් උපකරණ, beverage vending machines, tents, පුටු මේස සහ light bulb strings වැනි දේ පාරිභෝගිකයින්ගේ ඉල්ලීම පරිදි සැපයීමට ඔබට සිදුවෙනවා. මේ නිසා ආරම්භයක් වශයෙන් කුඩා උත්සව අවස්ථාවන්ට ආහාර පාන පමණක් සම්පාදනයෙන් ඔබට ව්‍යාපාරය ආරම්භ කිරීමටත්, පසුකාලීනව එයට විවිධ අංග එක් කරගැනීමත් සිදුකළ හැකිවෙනවා.

කැඳ සහ වෙනත් බීම වර්ග/ උදෑසන ආහාර

උදෑසනට පෝශ්‍යදායි කැඳ වර්ගයක්, පළතුරු බීමක් හෝ smoothie වර්ගයක් ගැනීමට කැමති අසල්වැසියන් වෙනුවෙන් ඒවා සැපයීම ලාභදායි ස්වයං රැකියාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව කිරිබත්, කඩල, ඉඳිආප්ප, ආප්ප, හැලප හෝ පිට්ටු වගේ සරල උදෑසන ආහාර වේලක් සැපයීමත් ඔබේ ව්‍යාපාරයට එක් කරගන්න පුළුවන්.

කපා පිළිවෙළට ඇසිරූ එළවලු, පලා ආදිය සැපයීම

ආහාර සැකසීම වෙනත් අයෙක්ට භාරදීමට අකමැති නමුත් ඒ වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට අපහසු අය සඳහා මේ සේවාව සපයනවා නම් එය හොඳ ආදායම් මාර්ගයක් බවට පත්කර ගත් හැකිවෙනවා. එළවලු පලා ආදිය සපයා ගැනීම ඔබ සිදුකළ යුතු අතර පෝෂණය රැකෙන ආකාරයට කැපීම සහ ඇසිරීම ගැන වැඩි අවධානයක් මෙහිදී යොමු කළ යුතු වෙනවා. 

ඔබ සපයන කුමන ආකාරයක ආහාරයක් වුණත් ඒවා ආහාර පාන සම්බන්ධ සෞඛ්‍ය නීති රීතිවලට අනුගත සහ අතිශය පිරිසිදු ආහාර පාන බවට වගබලා ගන්න. අන්තර්ජාලය හරහා විකිණීම, නිවසට පැමිණ මිලට ගැනීමේ පහසුව සැපයීම, කාර්‍යාලයීය සහ පාසල් ආපනශාලා වලට සැපයීම, යම් යම් විශේෂ අවස්ථා සඳහා පමණක් සැපයීම, විශ්වවිද්‍යාල හෝ වෙනත් නේවාසිකාගාරවලට සැපයීම, උත්සව අවස්ථාවන්ට සැපයීම, දෛනිකව වෙළඳසැල් වලට සැපයීම වගේ ක්‍රමවලින් මේවා අලෙවි කරගැනීමේ හැකියාව ඔබ සතුවෙනවා.

Related Articles