Home #BossladyEntrepreneurship ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් අරඹනවා නම් මේ දේවල් ගැනත් හිතන්න.

ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් අරඹනවා නම් මේ දේවල් ගැනත් හිතන්න.

by LADY.LK

නොකඩවා පරිභෝජනය කෙරෙන පාරිභෝගික ද්‍රව්‍ය වලින් මුල් ම තැන හිමි කර ගන්නා ද්‍රව්‍ය විදියට ආහාර පාන හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මේ හේතුව නිසා ම සාර්ථක food business එකකින් හොඳින් ලාභ ඉපයීමේ හැකියාව හිමි වුණත්, එවැනි ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ කොහොමද, මූලිකවම සැළකිලිමත් විය යුතු කරුණු මොනවාද කියන කාරණා පිළිබඳව ඔබට ගැටලු පැන නඟින්නට ඉඩ තියෙනවා. මේ නිසා මෙම ලිපියෙන් අපි කතා කරන්නේ, ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කීරීමේදී මූලිකවම ඔබ සැළකිලිමත් විය යුතු කාරණා කිහිපයක් සම්බන්ධවයි.

Business plan එකක් හදාගන්න.

ඔබේ ව්‍යපාරය ඉතා සුළුවෙන් පටන් ගත්තත්, මුලින්ම business plan එකක් හදාගන්න අමතක කරන්න එපා. ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කරන්නට කලින්, ඊට අදාළ වන සියලු ම කරුණු සැළකිල්ලෙන් සොයා බලා සටහන් කරගන්න. මෙය සති කිහිපයක් වැයවන research එකක් විදියටත් හඳුන්වන්න පුලුවන්. මූලිකවම මෙහිදි අවධානය යොමු කළයුතු සහ හඳුනාගත යුතු කරුණු වන්නේ, මෙය තනි ව්‍යාපාරයක්ද සමූහ ව්‍යාපාරයක් ද යන වග, ව්‍යාපාරයේ target market එක, තරඟකරුවන්ට සාපේක්ෂව ව්‍යාපාරයේ ඇති සුවිශේෂීතා, ව්‍යාපාරයේ ස්වභාවය (ආහාර පිටතට සපයනවාද, ආපන ශාලාවක ස්වභාවයෙන් සිදු කරනවාද), සපයන ආහාරවල ස්වභාවය, මිල ගණන්, අය වැය යනාදි කරුණු මූලිකවා  සම්බන්ධවයි. 

ආර්ථික තත්ත්වය කොහොමද?

ව්‍යාපාරය වෙනුවෙන් වැය කළහැකි පෞද්ගලික වත්කමක් ඔබ සතුව නොමැති නම් ස්වයං ව්‍යාපාර සඳහා බැංකු මඟින් ලබා දෙන business loan එකක් ලබාගැනීමට උත්සහ කරන්න පුළුවන්කම තියෙනවා.

තැනක් තියෙනවද?

ඔබ ආරම්භ කිරීමට උත්සහ කරන්නේ ස්වයං ව්‍යාපාරයක් නිසා ව්‍යාපාරික ස්ථානය බොහෝ දුරට නිවස හෝ තමන්ගේම ඉඩකඩක් (කඩ කාමරයක් වැනි) මේ වෙනුවෙන් පාවිච්චි කරන්නට හැකියාව තියෙනවා. කොහොම වුණත් මේ සඳහා වෙනත් ස්ථානයක් යොදා ගැනීමට ඔබ බලාපොරොත්තු වෙනවා නම්, කුලිය සඳහා යන වියදම (ඔබේ ආදායමට සාපේක්ෂව), පාරිභෝගිකයින්ට පහසුවෙන් ළඟා වීමට ඇති හැකියාව, වටපිටාවේ ඇති බාධාවන්, අවට ඇති තරඟකාරී ව්‍යාපාර, අනාගතයේදී වටපිටාවේ සිදුවිය හැකි වෙනස්කම් වගේ කරුණු ගැන අවධානය යොමු කළයුතු වෙනවා.

තෝරාගත් ස්ථානය design කරගන්න.

ව්‍යාපාරික ස්ථානයක් තෝරාගැනීමෙන් පසු ව්‍යාපාරයේ ස්වභාවය අනුව Dining area, ආහාර සකසන ස්ථානය, ගබඩා කාමරය සහ office room යනාදි වශයෙන් ඉඩ කඩ බෙදා වෙන් කරගැනිම ඔබේ රුචි අරුචිකම් අනුව සිදු කරන්නට පුළුවන්. මූලිකවම, ඉඩ පහසුකම් සහිත බව, පිළිවෙළ සහ පිරිසිදුකම කියන කරුණු ගැන අවධානය යොමු කරනවා නම්, පාරිභෝගිකයින්ට වගේම ඔබටත් එය ප්‍රියජනක ස්ථානයක් වේවී.

සැපයුම්කරුවෝ හොයාගන්න.

මේ ලිපිය food businesses ගැන පොදුවේ ලියවෙන ලිපියක් නිසා සැපයුම් කරුවන් තෝරා ගැනීමේදීත් ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව සැපයුම් කරුවන් තෝරාගන්නට අවශ්‍ය වෙනවා. ව්‍යාපාරයේ කෙටි කාලීන සහ දිගු කාලීන අයවැය ගැන අවධානය යොමු කරමින් ආහාර සැකසීමේ උපකරණ, ආහාර ගබඩා කිරීමේ උපකරණ, පිළිගැන්වීමේ උපකරණ, මේස පුටු ඇතුළු dining area එක සැකසීමේ උපකරණ, පිටතට ආහාර සපයනවා නම් ඒවාට අවශ්‍ය ද්‍රව්‍ය සහ ප්‍රධාන වශයෙන් ම ආහාර සැකසීමේ අමුද්‍රව්‍ය සැපයුම් කරුවන් පිළිබඳව අවධනය යොමු කරන්නට සිදුවෙනවා. අනවශ්‍ය වැඩි වියදම් ඔබේ ව්‍යාපාරය බිඳ වැට්ටවීමට හේතුවිය හැකි නිසා සැපයුම් කරුවන් තෝරා ගැනිමේදී හොඳම දේ අඩුම මිලට ලබාදෙන විශ්වාසවන්ත සැපයුම්කරුවන් තෝරාගැනීම ගැන අවධානය යොමු කළ යුතු වනවා.

නීතිමය කරුණු ගැනත් සැළකිලිමත් වෙන්න.

ආහාර පානවල සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධව රට තුළ පවතින නීති රීති, ලබාගත යුතු license සහ permits, ඒවා බලාත්මක වන කාල සීමාවන් යනාදිය ගැන සුවිශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. එකිනෙකට වෙනස් සංකල්පවල food business වලට ඒ වෙනුවෙන්ම ඇති නීතී රීති ඇති නිසා ඒ සම්බන්ධවත් හොඳින් දැනුවත් වීම අනිවාර්ය වෙනවා.

වැඩට තව අය ගන්නවද?

ආහාර සම්බන්ධ ව්‍යාපාරයක සියලුම කටයුතු ඔබට තනිවම සිදු කිරීමට අපහසුතා ඇතිවෙන්නට ඉඩ ඇති නිසා සේවකයින් බඳවාගැනීමේ අවශ්‍යතාවය පැන නඟින්නට ඉඩ තියෙනවා. කොහොම වුණත් බඳවා ගන්නා සේවක ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ව්‍යාපාරයේ ස්වභාවය අනුව වෙනස් වෙන බවත් සඳහන් කළ යුතු ම වෙනවා. සේවය කරන්නන්ගේ හැසිරීමේ ස්වභාවය ව්‍යාපාරයේ දියුණුවට සෘජුවම බලපාන නිසා ඉතාමත් සැළකිලිමත්ව  ඔවුන්ව තෝරාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. සේවා අත්දැකීම්, විශ්වාසවන්ත බව, පාරිභෝගිකයින් සහ අනෙකුත් සේවකයින් සමඟ සුහදව ගනුදෙනු කිරීම, වේගවත් සහ නිවැරදිව ක්‍රියා කිරීමේ හැකියාව, පීඩන තත්ත්ව යටතේ වැඩ කිරීමේ හැකියාව, පිරිසිදුකම වගේ කාරණා පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ යුතු වෙනවා.

ප්‍රචාරක කටයුතු 

තම ව්‍යාපාරයට සැළකිව යුතු මට්ටමේ ප්‍රචාරනයක් ලබාදීමෙන් පසු අලෙවිය ආරම්භ කිරීම සෑම අතින්ම වාසිදායක වන්නට ඉඩ තියෙනවා. කට වචනය හරහා සිදුවන ප්‍රචාරයට අමතරව ව්‍යාපාරය සම්බන්ධ සියලුම තොරතුරු අඩංගු කර නිර්මාණය කරන ලද  facebook/ instagram/ Twitter pages, web site, හැකියාවක් ඇත්නම් පුවත්පත් වෙළඳ දැන්වීම් මඟිනුත් සාර්ථක ප්‍රචාරනයක් ලබාගත හැකි වෙනවා. ඊට අමතරව ව්‍යාපාරයේ ආරම්භක දිනය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදු කිරීම, මුල්ම පාරිභෝගිකයින්‍ට යම් යම් වාසි ලබාදීම වැනි දේ හරහාත් නොමිලයේම ප්‍රචරනය සිදුකරගැනීමට හැකියාව ඔබට හිමිවෙනවා.

Related Articles