Home Health & WellnessBeauty Care පිරිපුන් සිරුරක් සිහින්ව පෙන්වන විලාසිතා කිහිපයක්

පිරිපුන් සිරුරක් සිහින්ව පෙන්වන විලාසිතා කිහිපයක්

by LADY.LK

අපි හැඩවෙන විලාසිතාව අපිට කොයිතරම් ගැලපෙනවද කියන එක අතිශය වැදගත්. අපිට කොයිතරම් විලාසිතා කරන්නට මුදල් තිබුණත්, අපේ ආශාව ඇති විලාසිතා කොයිතරම් තිබුණත්, අපේ සිරුරත් එක්ක අපි මේ කරන විලාසිතාව ගැලපෙනවාද කියන දේ ගැන නොහිතා නම් අපිට විලාසිතා කරන්නට බැහැ. අන්න ඒ නිසාම අපි මේ සටහනට එක් කරනවා තරමක් පිරිපුන් ශරීරයක් තියෙන යුවතියකට තමන්ගේ සිරුරේ හැඉය සිහින් කර පෙන්වන සුළු විලාසිතා කිහිපයක්. සාමාන්‍යයෙන් පිරිපුන් ශරීරයක් තියෙන තරුණියන් තරමක් සිහින් පෙණුමක් ගන්නට උත්සාහ කරනවා වගේම සිහින් සිරුරක් ඇති යුවතියන් තරමක් පිරිපුන් බවක් පෙන්වන්නට උත්සාහ කරන නිසා ඉදිරි දිනයක අපි පිරිපුන් පෙණුමක් විලාසිතාවකින් සිරුරට එක් කරගන්නා ආකාරයත් සටහනකට ගේන්නට නියමිතයි. එහෙනම් මේ සටහන කියවලා ඉමු.

යට ඇඳුම්වලට වැඩි අවධානයක්

ඔයා අඳින ඇඳුම ඔයාව වැඩිපුර මහත් කරවා පෙන්වන්න හේතුවක් විදියට වැරදි යට ඇඳුම් භාවිතය දක්වන්න පුළුවන්. අලුතින් වෙළඳපොලට එන නව තාක්ෂණයේ ටීෂර්ට් බ්‍රා වගේම, පියයුරුවලට වඩා හැඩැතිව සැකසුනු පියයුරු උස් කර තබා ඔබේ උදරයත් පපුවත් අතරට කදිම හැඩයක් සහ ඉඩක් එක් කරන බ්‍රා එකක් ඔබට කදිමට ගැලපෙනවා. බොහෝදෙනෙකුගේ අදහසක් වන්නේ මේ අලුත් පන්නයේ බ්‍රාවලට මාරු වීම නිසා ඔබේ සිරුරට යම් අපහසුවක් දැනෙනවා යන්නයි. නමුත් නව තාක්ෂණයත් සමග ඔබට වඩා කදිමට ගැලපෙන ලෙසින් හැඩයෙන් මෙන්ම, නිමැවුමෙන්, යුතු bra සහ panties හෝ briefs තෝරා ගැනීම මේ කිසිඳු අපහසුවකින් තොරව හැඩට ඔබේ සිරුර විලාසිතාවෙන් ඉස්මතු කරගන්නට උදවුවක් වේවි.

V-neck

මේකත් ​පොඩි ඇස් බැන්දුමක්. ඇත්තටම සාමාන්‍යයෙන් ගෙල මුදුනටම හෝ තැමක් ඉඩ ඇතිව රවුම් කර සහිත ඇඳුමකට ගෙල සහ පපුව අතර පැහැදිලි ඉඩක් පෙන්වන මෙන්ම පියයුරු අතර පපුවේ බෙදීම හරහා ඇඟ වසා ගත් පිරිපුන් බව පළවා හරින ක්‍රමයක් තමයි V-කර සහිත ඇඳුම්. ඒ වගේම පිරිපුන් සිරුරක් ඇති බොහෝ කාන්තාවන්ගේ අඩු අවධානයක් යොමු වන උරහිස්වලටද මේ හරහා නව හැඩයක් සහ විවෘත නිදහස් බවක් අත්දකින්නට ලැබෙනවා. V-neck පන්නයේ විලාසිතා අඳින්නට ඔබ ප්‍රියතාවයක් නැති නම් ඔබ​ට බෝට්නෙක් ආකාරයේ පැතිරුණු රවුම් කර සහිත විලාසිතාත් මේ විදියටම උරයෙන් සහ පපුවෙන් වසාගත් පිරිපුන් බව සඟවන සුළු පෙණුමක් ලබාදෙනවා.

තනි පැහැයෙන්

සාමාන්‍යයෙන් පිරිපුන් සිරුරක් ඇති ඔබට පහසුවෙන්ම කිසිවෙකුට නොදැනෙන ලෙසින් කරන්නට හැකි විලාසිතාවක් තමයි මේ. ඒ තමයි තනි පැහැය හෝ තනි වර්ණයේ පැහැයන් සමග ඔබේ විලාසිතා සැසඳීම. උදාහරණයක් ලෙසින් ගත්තොත් නේවි බ්ලූ පැහැයේ ටීෂර්ට් එකකට ඩාක් වොෂ් බ්ලූ ජීන්ස් කියන්නෙ කදිම ගැලපුමක්. ඒ වගේම කළු පැහැයට වඩා ආසන්න තද නිල් ඩෙනිම් කලිසමකට කළු පැහැ ටොප් එකක් ඔබේ සිරුරේ ප්‍රමාණය කුමක් වුවත් යම් සිහින් බවක් එක් කර පෙන්වනවා ඇති. මෙය කළු වර්ණයටම සීමා විය යුතු නෑ. මෙරූන් වර්ණය හා ඝන රතු පැහැයක් ගලපන්නට වගේම, කා​ගෝ කලිසම්වලට ඔලිව් පැහැ බ්ලවුස් එකක් වුවත් එක්ක කරන්නේ කදිම පෙණුමක්.

උදරය සඟවමු

සාමාන්‍යයෙන් පිරිපුන් සිරුරක් ඇති යුවතියක් විලාසිතාවෙන් උදරය සඟවන්නට සිතනා නිසාම ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ක්‍රමය කියන්නයි මේ හදන්නෙ. ඒකට ඇති කදිමම විසඳුම වෙන්නෙ ඉනෙන් බෙදෙන බව පෙන්වීම අවම කිරීම. මේකට ඇති ලේසිම විසඳුම් දෙක තමයි තනි ඇඳුමක් ඇඳීම හෝ High-වේස්ට් ජීන්ස් ඇඳීම. මේ ක්‍රම දෙකෙන්ම මේ බෙදුනු ගතිය වැසීම හෝ බෙදෙන තැන උදරයෙන් පහළට නොව පපුවෙන් පහළට කර පෙන්වා කදිම හැඩයක් සිරුරට එක් කරනවා.

උස පෙන්වමු

සිරුරේ පිරිපුන් හැඩය වසාලන්නට හැකි තවත් හොදම ක්‍රමයක් වෙන්නෙ සිරුරට තරමක් උස් බවක් එක් කරගැනීම. එයට හොඳම විදියක් තමයි අපි පළඳින සපත්තු. හයි හීල්ස් දැමීම ඔබට අපහසු නම් පම්ප්ස් වර්ගයේ සපත්තු පැළඳීමෙන් ඔබට සිරුරට මේ උස එක් කරගන්නට හැකියි. low block heel, kitten heel, mule හෝ clog වර්ගයේ අඩි සහිත සපත්තු විලාසිතා මෙයට උදවුවක් වේවි. ඒ වගේම සිරුරේ උස පෙණුම තවත් වැඩි කරන ක්‍රමයක් විදියට ඔබේ ජීන්ස් හෝ ඩෙනිම් කලිසම් වළලුකරෙන් අඟලක් දෙකක් පමණ උසට සකසා හෝ නවාගෙන ඇඳීමත් කදිම ක්‍රමයක්. 

උස ඉරි සහ හරස් ඉරි

මේකත් ඇස් බැන්දුමේම කොටසක්. පළල් පෙනුම අඩු කරන සිරුරේ උස ගතියක් පෙන්වන්නට සිරස් අතට ඇඳපු ඉරි තියෙන විලාසිතාවක එකක ටොප් එකක් අඳින එකක් කදිමයි. ඒ වගේම මේ ඉරි හැඩය සිහින් සහ දිගු වෙන තරමට ඔබට එක් කරන උස පෙණුම වැඩියි. නමුත් සාපේක්ෂව ඔබේ පපුව තරමක් කුඩා නම්, එය ඉස්මතු කර පෙන්වන්නට උඩු කයට හරස් ඉරි සහ යටි කයට උස ඉරි විලාසිතාවක් තෝරාගන්නටත් පුළුවන්. මොකද හරස් ඉරි නිසා වෙන්න උස ඉරි වලින් සිද්ධ වෙන දේම අනිත් පැත්ත.

තවත් ඇස්බැන්දුම්

මේකත් අපි කියන ඇස් බැන්දුමේම කොටසක්. අපි ස්වභාවයෙන්ම කළු පැහැති දේ කුඩාවට දකිනවා. ඒක වෙන්නෙ බාහිර ආලෝකය එක්ක සිද්ධ වෙන තුලනයක් එක්ක. මේ නිසා හැකි තරම් කළු හෝ අඳුරු පැහැ ඇඳුම් ඇඳීම ඔබේ පෙණුම සිහින් කර දක්වන්නට හේතුවක්. 

ඒ වගේම කලිසම් වගේම ගවුම් වලටත් මැදින් තියෙන ලූප්ස්වලට විශාල බඳපටි විලාසිතා වෙනුවට සිහින් බෙල්ට් යෙදීම ශරීරය සිහින් සහ උස් කර පෙන්වන්න උදවුවක් වෙනවා. 

බෙල් බොටම් පන්නයේ මහතට හුරු කලිසම් වෙනුවට ලෙගින්ස්, ඩෙනිම් හෝ ස්ලිම්ෆිට් පෑන්ට්ස් ඇඳී​ම කදිමයි.

ඒ වගේම ඇඳුම්වල තියෙන ප්‍රින්ට්ස් ගැනත් හිතන්න. හැම විටම කුඩා මල් හෝ කුඩා හැඩ ඇති ප්‍රින්ට්ස් තෝරාගන්න. මහත ප්‍රින්ටඩ් ඩිසයින්ස් ඔබේ සිරුරට වැඩි මහතක් එක් කර පෙන්වනවා.

Related Articles