Home #BossladyEntrepreneurship ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ඇරඹීමට පෙර සැළකිලිමත් විය යුතු කරුණු

ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ඇරඹීමට පෙර සැළකිලිමත් විය යුතු කරුණු

by LADY.LK

නොයෙක් විලාසිතාවේ ඇඳුම් මසාගෙන ඇඳීම ඔබගේ ප්‍රියතම විනෝදාංශය නම් සහ නිවසේ රැඳී සිටිමින් ආදායමක් ලැබෙන කටයුත්තක යෙදීමට ඔබ කැමතිනම් තමන්ගේ විනෝදාංශයම ආදායම් මාර්ගයක් කරගැනීමේ හැකියාව ඔබට තියෙනවා. හැබැයි මෙය ක්‍රියාත්මක කරන ආකාරය සහ තමන් ගත් තීරණය කොයි තරම් නිවැරදි ද කියන කාරණය ගැන ඔබට එතරම් අදහසක් නැතුවා විය හැකියි. ඉතින් එවැනි ගැටලුවකට ඔබ මැදි වෙලානම් ඉන්නේ, ඇඳුම් මැසීමේ ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර සැළකිව යුතු කාරණා කිහිපයක් අඩංගු මේ ලිපිය ඔබට සහයෝගයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

ඔබේ හැකියාව

රෙදි මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තමන් ගත් තීරණය නිවැරදි එකක්ද කියන කාරණය ගැන හිතේ දෙගිඩියාවක් තියෙනවා නම් ඔබ මුලින්ම කළ යුත්තේ තමන්ගේ හැකියාව මැන බැලීමයි. ඇඳුම් මැසීමට මූලිකවම අවශ්‍ය වෙන්නේ අතේ හුරුව නිසා ඔබ ආරම්භ කළ යුත්තේ තමන්ට හොඳින්ම මසන්නට පුළුවන් ඇඳුම් වර්ගයෙන් බව අමතක කරන්නට එපා. නමුත් ව්‍යාපාරය දියුණුවීමත් සමඟ පසුකාලීනව වෙනත් වර්ගවල ඇඳුම් මැසීම ගැන අවධානය යොමු කිරීමට ඔබට හැකියාව තියෙනවා. මෙහිදී තමන් අවට සිටින, තමන්ගේ ව්‍යාපාරයට බලපෑ හැකි අනෙකුත් තරඟකරුවන්ගේ නිෂ්පාදන ගැනත් අවධානය යොමු කරමින් මේ දේ සිදුකළ යුතු වෙනවා.

ඔබේ ජීවන රටාවට ගැළපෙනවාද?

රෙදි මැසීම තමන්ට ගැළපෙන ව්‍යාපාරයක්ද කියන කාරණය ආරම්භයේදී ඔබේ හිතට ගැටළුවක් වන්නට ඉඩ තියෙනවා. පවුලේ සාමාජිකයින්ගේ අදහස් වගේම, ඔබ දැනටමත් රැකියාවක් කරනවා නම් වෙනත් දෙයකට කාලය වෙන් කිරීම කියන කරුණු ඔබට තරමක අභියෝගයක් විය හැකියි. ඊට අමතරව, පාරිභෝගකයින් සමඟ සුහදව ක්‍රියා කිරීමට තමන්ට ඇති හැකියාව, ව්‍යාපාරය වෙනුවෙන් ඉඩක් නිවස තුළින්ම වෙන් කරගැනීමේ හැකියාව යන කරුණු ගැනත් මෙහිදී අනිවාර්යයෙන් ම අවධානය යොමු කළ යුතු වෙනවා. නමුත් මෙය ආරම්භයේදි සුළු ව්‍යාපාරයක් නිසා සහ ව්‍යාපාරය අරඹා කෙටි කාලයකින් මෙවැනි ගැටලු වලට විසඳුමක් ලැබෙන්නට ඉඩ ඇති නිසා, ආරම්භයේදීම අධෛර්‍යමත් නොවී ව්‍යාපාරය ආරම්භ කර බලන්න කියලා අපි යෝජනා කරනවා.

ලැබෙන මුදල ප්‍රමාණවත් වෙයිද?

තමන්ගේ රැකියාවෙන් ලැබෙන වැටුපට අමතරව, තවත් මුදලක් ඉපයීම වෙනුවෙන් මෙය සිදු කරනවා නම් ඔබ වැය කරන කාලයට, හැකියාවට සහ ශ්‍රමයට සරිලන සාධාරණ මුදලක් ඔබ අය කළ යුතු වෙනවා. ඒ වගේම ඔබ මේ වන විටත් හිතවතුන්ට නොමිලේම ඇඳුම් මසා දෙනවා වන්නටත් ඉඩ තියෙනවා. නමුත් ව්‍යාපාරයක් වශයෙන් ඇඳුම් මැසීම සිදු කරනවා නම් නිෂ්පාදන වෙනුවෙන් මුදල් අය කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. වෙනත් ඇඳුම් මසන්නනන් අය කරන සාමාන්‍ය මිල ගණන් ගැන දළ අදහසක් ලබාගෙන මිල නියම කරනවා නම් එය වඩාත් සුදුසු වෙනවා.

අවශ්‍ය උපකරණ

දැනටමත් දීර්ඝකාලීන පාවිච්චියට සුදුසු ඉහළ තත්ත්වයේ උපකරණ ඔබ සතුව තියෙනවා නම් අඩුපාඩු පමණක් සොයා බලා සම්පූර්ණ කරගැනීම ප්‍රමාණවත් වන අතර පහසු ගෙවීම් ක්‍රම යටතේ අලුත් උපකරණ මිලට ගැනීමේ හැකියාවත් ඔබ සතු වෙනවා. ආරම්භයේදී ඇඳුම් අලුත්වැඩියා කිරීම වැනි සරල කටයුතු පමණක් සිදු කරනවා නම්, යුතු පාවිච්චි කරන ලද උසස් තත්ත්වයේ උපකරණ වුවත් ප්‍රමාණවත් වනවා. ව්‍යාපාරය සතු උපකරණ ඔබගේ වත්කමක්ද වන නිසා ඒ වෙනුවෙන් වැයකරන මුදල ව්‍යාපාරය වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් විදියට සළකන්න පුළුවන්. ඉතා උසස් තත්ත්වයේ උපකරණ සහ අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදන කටයුතු සිදුකිරීම ඔබගේ ව්‍යාපාරයේ දියුණුවට බෙහෙවින් බලපාන අතර පාරිභෝගිකයින් රඳවා තබා ගැනීමට මෙන්ම ව්‍යාපාරය වටා අළුත් පාරිභෝගිකයින් එකතු කරගැනීමටත් මෙය හේතුවක් වෙනවා.

ප්‍රාග්ධනය සහ උපදෙස් ලබාගැනීම

ව්‍යාපාරයට ප්‍රාග්ධනය රැස් කරගැනීම සඳහා බැංකු ණය ලබාගන්න උත්සහ කරනවා නම් ඔබගේ ස්වයං ව්‍යාපාරය රජයේ ලියාපදිංචි ආයතනයක් වශයෙන් ලියාපදිංචි කර තිබීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ ස්වභාවය අනුව නියමිත license, certificates සහ insurance ලබාගෙන තිබීම ගැනත් සැළකිලිමත් වන්නට අවශ්‍ය වෙනවා. මේ කාරණා සම්බන්ධව තව දුරටත් විස්තර දැනගැනීමට අවශ්‍ය නම් තමන්ගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය හෝ කාර්මික සංවර්ධන මණ්ඩලය වගේ රාජ්‍ය ආයතන හරහා ඒ දැනුම ලබාගැනීමට පහසුකම ඇති බවත් අපි මතක් කරනවා. නමුත් ඔබට බැංකු ණය ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැත්නම්, ඉතා සුළුවෙන් ආරම්භ කරන ව්‍යාපාරයක් නම් සාමාන්‍ය පරිදි ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්න හැකියාව තියෙනවා.

මීට අමතරව, එදිනෙදා ව්‍යාපාරික කටයුතුවලදී ඇතිවිය හැකි ගැටළු, අසීරු අවස්ථාවල ක්‍රියා කළයුතු ආකාරය, පාරිභෝගිකයින් හා ගනුදෙනු කළයුතු ආකාරය, මිල ගණන් තීරණය කිරීම, වැඩිදුර පුහුණුව ලබාගත යුතු අංශ සහ ලබාගත හැකි ආයතන වැනි කරුණු සම්බන්ධව උපදෙස් ලබාගත හැකි විශ්වාසවන්ත පුද්ගලයෙක් සිටිනව නම් එය ඔබට විශාල සහනයක් වනවා නොඅනුමානයි.

සේවකයින් බඳවා ගැනීම.

ආරම්භයේදී සේවකයින් බඳවා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නැතත් ව්‍යාපාරය දියුණුවන විට ඒ අවශ්‍යතාවය පැන නඟින්නට ඉඩ තියෙනවා. කැපවීමෙන් සේවය කළ හැකිවීම, වගකීම් සහගතබව, අත්දැකීම් සහිතවීම සහ දක්ෂතාවය කියන කරුණුවලට අවධානය යොමු කරමින්  සේවකයින් බඳවා ගැනීමට උත්සහ කිරිම වඩාත් සුදුසු වෙනවා.

ව්‍යාපාරික ස්ථානය.

බාධාවන්ගෙන් තොරව අමුද්‍රව්‍ය ගබඩා කරගැනීමට, පාරිභෝගිකයින් හමුවීමට සහ ඇඳුම් මැසීමට හැකි ආකාරයේ ස්ථානයක් මේ සඳහා අවශ්‍ය වෙනවා. නිවස ඇතුළට නෑවිත් පිටතින් පිවිසිය හැකි දොරක් යෙදූ ස්ථානයක් නම් වඩා සුදුසු වන අතර එම ස්ථානය පිරිසිදු  ස්ථානයක් වීම ඔබට වගේම පාරිභෝගිකයින්ටත් පහසුවක් වනවා නොඅනුමානයි. ඒ වගේම පෞද්ගලිකත්වය ආරක්ෂාවන ආකාරයේ කුඩා කාමරයක් වැනි ස්ථානයක් fit on කිරීම සඳහා වෙන් කළයුතු වෙනවා.

Market කරන විදිය.

ඔබගේ මුල්ම පාරිභෝගිකයින් විදියට අසල්වැසියන් සහ හිතමිතුරන් කරගැනීමේ පහසුකම ඔබ සතුවන අතර සමාජ ජාල වෙබ් අඩවි හරහා පහසුවෙන් ම ව්‍යාපාරයට ප්‍රචාරය ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

Business plan එකක් හදාගන්න.

ව්‍යාපාරය සුළුවෙන් ආරම්භ කළත්, ඊට අදාළ සියලුම කරුණු ඇතුළත් කරමින් business plan එකක් පිළියෙල කරගැනීම ව්‍යාපාරයේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා. ව්‍යාපාරයේ Target market එක, හැකියාව නිර්මාණශීලීව පාවිච්චි කරන ආකාරය, තමන්ගේ නිෂ්පාදන තරඟකරුවන්ට වඩා වෙනස්විය යුතු ආකාරය, ප්‍රාග්ධනය එකතු කරගැනීම, අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් ඇතුළු ඉහතින් සඳහන් කළ සෑම කරුණක් ගැනම අවධානය යොමුකරමින් මෙම ව්‍යාපාර සැලසුම සටහන් කරගත යුතු වෙනවා.

Related Articles