Home #Bosslady ව්‍යාපාරික කාන්තාවන් ගැන නිර්මාණය වුණු චිත්‍රපට

ව්‍යාපාරික කාන්තාවන් ගැන නිර්මාණය වුණු චිත්‍රපට

by ladylk

වැඩිය එළිමහන​ට නොයන මේ දිනවල තම තමන්ගේ විනෝදාංශවල නිරත වෙන්නට වැඩි කාලයක් ලැබිලා තියෙන නිසා චිත්‍රපට නැරඹීම තමන්ගේ විනෝදාංශය කරගත්ත ඔබටත් මේ කාරණය අදාළ ඇති කියලා අපි හිතනවා. මේ නිසා, විනෝදයක් ලබා ගැනීමට අමතරව තමන්ගේ වැඩකටයුතු වලට inspiration එකක් වෙන විදියේ චිත්‍රපට කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. ජීවිතයේ තමන්ට මුහුණ දීමට සිදුවෙන නොයෙකුත් ගැටළු තමන්ගේ සාර්ථකත්වයට බාධාවක් කර නොගන්නට වෙහෙසෙන ඔබව තවදුරටත් දිරිමත් කරවන්නට, මේ චිත්‍රපටවල සිටින ශක්තිමත් චරිත සහයෝගයක් ලබාදෙයි කියලා අපි විශ්වාස කරනවා.

Baby Boom (1987)

“Tiger Lady” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධ වෙලා සිටින Wiatt, New York නගරයේ ජීවත්වෙන ඉතාමත් සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් වෙනවා. පිටරටක ජීවත්වෙන ඥාතියෙක්ගෙන් හිමිවන්නට නියමිත උරුමයක් ගැන ලැබෙන ආරංචිය නිසා ඇය එහි පිටත්වන්නේ මුල්‍යමය වාසියක් පිළිබඳව දැනගැනීමේ අරමුණින් වුවත්, උරුමය විදියට ඇයට හිමිවන්නේ කුඩා දැරියක්. අකමැත්තෙන් වුවත් තමන් සමඟ රැගෙන එන්නට සිදුවන මේ දැරිය නිසා ඇයට තමන්ගේ රැකියාව සහ පෙම්වතාත් අහිමි වෙනවා. වෙනත් පවුලකට හදා වඩා ගැනීමට ලබා දුන්නත් Wiatt හට දැඩි ලෙස ඇලුම් කරන දැරියව ඔවුන් හා තනිකර ඒමට ඇයට හිත හදාගැනීමට හැකිවන්නේ නෑ. කෙසේ වෙතත් පසුව සිඟිත්තිය හා නගරයෙන් පිටව හුදෙකලා වන ඇයගේ ඉරණම විසඳෙන ආකාරය දැනගන්නට නම් ඔබට මේ චිත්‍රපටය බලන්නම සිදු වෙනවා.

Chocolat (2000)

Vianne කියන්නේ තමන්ගේ කුඩා දියණියව තනිවම රැකබලා ගන්නා single mother කෙනෙක්. 1959 වසරේ සීත සමයේ ප්‍රංශයේ සාම්ප්‍රදායික ගම්මානයකට පැමිණෙන ඇය එහි පල්ලිය අසළ chocolate shop එකක් විවෘත කරනවා. තනි මවක් සහ උද්‍යෝගීමත් කාන්තාවක් වීම නිසා ම ප්‍රදේශ වාසීන්ගෙන් ඇයට යහපත් පිළිගැනීමක් නම් ලැබෙන්නේ නෑ. ක්‍රමක්‍රමයෙන් ප්‍රදේශවාසීන්ගේ පිළිගැනීමත්, සාර්ථක ව්‍යාපාරයකුත් වගේම ආදරණීය සහකරුවෙකුගේ ආදරයත් දිනාගන්නා Vianne ගැන කියැවෙන මේ චිත්‍රපටය සම්මාන කිහිපයක්ම දිනාගත් සුන්දර සිනමා පටයක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා.

The Devil Wears Prada (2006)

මෑතකදී උපාධිය ලබාගත් කුළෑටි තරුණියක් වන Andrea, New York නගරයේ ආයතනයක රැකියාවට බැඳෙන්නේ fashion magazine එකක second assistant කෙනෙක් විදියට‍යි. අනුකම්පා විරහිත, කෲර කාන්තාවක් විදියට ආයතනය තුළ ප්‍රසිද්ධ වෙලා සිටින Miranda ඇයගේ ප්‍රධානියා විදියට කටයුතු කරනවා. මාධ්‍යවේදිනියක් වීමට සිහින මවන Andrea ට, තම ප්‍රධානියාගේ රැවුම් ගෙරවුම්වලින් මිදී රාජකාරි කටයුතු කිරීමට උපකාර කරනු ලබන්නේ first assistant Emily සහ stylist Nigel විසිනුයි. ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ආකල්ප සහ හැසිරීම වෙනස් කරගන්නා Andrea තමන්ගේ පවුලේ උදවියගේ, හිත මිතුරන්ගේ සහ පෙම්වතාගේ ආදරය දිනා ගන්නා අතර ජීවිතය නිර්මාණය වන්නේ තමන් විසින් ම ගනු ලබන තීරණවලින් බව ඇය වටහා ගන්නවා.

Joy (2015)

විවාහයෙන් වෙන්ව ජීවත්වන Joy, තමන්ගේ දරුවන් දෙදෙනා පමණක් නොව ඇයගේ පවුලේ අනිත් සාමාජිකයින් ද රැකබලා ගන්නා කාන්තාවක් වනවා. අතෘප්තිකර රැකියාවක නිරතවෙමින් පවුලක් ම ජීවත් කරවන ඇයට කිසිම කෙනෙක්ගෙන් මානසික සහනයක් නම් ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් අන්තයටම කළකිරීමට පත්ව සිටින ඇය තමන් කුඩා වියේ සිට ඉතා ප්‍රිය කළ පරිදි නව නිපදවීමක් හරහා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කිරීමට තීරණය කරනවා. හරිහමන් පුහුණුවක් හෝ ශක්තිමත් ප්‍රාග්ධනයක් නොමැතිව අරඹන මේ ව්‍යාපාරය කටුක අත්දැකීම්‍ ගණනාවකට පසු  සාර්ථකත්වයට පත්වෙනවා. Joy Mangano නමැති ඇමෙරිකානු ව්‍යවසායිකාව පිළිබඳ සත්‍ය කතා පුවත ඇතුළත් මේ සිනමා පටයේ Joy ගේ චරිතය රඟ දක්වනු ලබන්නේ Jennifer Lawrence විසිනුයි.

Julie and julia (2009)

ඉවුම් පිහුම් පිළිබඳව කෘති රචනා කළ Julie Powell සහ කතුවරියක්, ඉවුම් පිහුම් උපදේශිකාවක් වගේම රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන Julia Child පිළිබඳ සත්‍ය කතා පුවත රැගත් සිනමා පටයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. තමන් ප්‍රිය නොකළ රැකියාවලින් ඉවත්ව තමන්ගේ විනෝදාංශ ආශ්‍රිත ව්‍යාපාරවලට යොමු වීම සහ ක්‍රමක්‍රමයෙන් ඒ ක්ෂේත්‍රවල ස්ථාවරයක් ගොඩනඟා ගැනීම ගැන මෙයින් හෙළිදරව් කරනවා.

Bombshell (2019)

Fox News ආයතනයේ සේවය කරන අතරතුර ආයතන ප්‍රධානියාගෙන් අතවරයට ලක්වන කාන්තාවන් තිදෙනෙක් එයට එරෙහිව ක්‍රියා කරන ආකාරය පිළිබඳ සත්‍ය කතා පුවත මෙම චිත්‍රපටයට පාදක වී තියෙනවා. තමන්ගේ වෘත්තිය ජීවිතය පරදුවට තබමින් ඔවුන් සිදුකළ හෙලිදරව්ව ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙය අතර Roger Ailes නමැති ආයතන ප්‍රධානියාට මේ නිසා ඔහුගේ රැකියාව පවා අහිමි වෙනවා. ඊට අමතරව වින්දිතයින්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට සහ විශාල වන්දියක් ගෙවීමටත් සිදුවෙනවා. කෙසේ වෙතත් ඔහුගේ මරණයෙන් පසුව මේ සිදුවීම Bombshell නමින් චිත්‍රපටයකට නැඟෙනවා.

Related Articles