Home #BossladyEntrepreneurship අඩු වියදමකින් වුණත් පටන්ගන්න පුළුවන් විදියේ ව්‍යාපාර අවස්ථා කිහිපයක්

අඩු වියදමකින් වුණත් පටන්ගන්න පුළුවන් විදියේ ව්‍යාපාර අවස්ථා කිහිපයක්

by LADY.LK

කාන්තාවන්ට නොයෙක් විදියේ ව්‍යාපරික අදහස් ලබා දෙමින් අප ගෙන ආ ලිපි පෙළ හරහා අද අපි කතා කරන්නට බළාපොරොත්තු වන්නේ අඩු ප්‍රාග්ධනයක් යොදා ආරම්භ කළ හැකි ආකාරයේ ව්‍යාපාර සම්බන්ධයෙනුයි. මින් පෙරාතුව අප නිවසේ සිටම සිදු කළ හැකි ව්‍යාපාර සම්බන්ධව සටහනක් ඔබ වෙත ගෙන ආ අතර අද දිනයේදී කුඩා මුදලක් යෙදවීමෙන් හෝ කිසිඳු මුදලක් නොයොදවාම ඔබට ආරම්භ කළ හැකි ව්‍යාපාර සම්බන්ධව මෙම සටහන ගෙන එන්නෙමු. මෙයින් අදහසක් ලබා ගෙන ඔබට යම් උත්සාහයක් කිරීමට හැකියාව ඇති අතර, ඔබ අත ව්‍යාපාරයට යෙදවීමට තරම් මුදල් ඇති නම් තරමක් වැඩි විශ්වාසයකින් මෙම ව්‍යාපාරයන් අරඹන්නටද පන්නරයක් ගත හැකි වනු ඇති බව Lady.lk විහ්වාසයයි. එසේම ව්‍යාපාරයක් යනු කිසිසේත්ම පහසු කටයුත්තක් නොවන අතර අඩු මුදලක් යොදවා අරඹද්දි එය තනිකරම ඔබේ හැකියාවන් මතින් පෝෂණය වන ව්‍යාපාරයක් බවද, හැකියාව ඇති කාන්තා ඔබ වටහා ගත යුතුය.

චිත්‍ර

චිත්‍ර අඳින්න හැකියාවක් තියෙන ඕනම කෙනෙකුට ඒක ලොකු වියදමක් නැතිව ව්‍යාපාරයක් විදිය​ට දියුණු කරන්න පුළුවන්. උදාහරණයක් විදියට චිත්‍ර අඳින්න ආසා අය ගාව තියෙන මූලික උපකරණවලින් චිත්‍ර ආශිත්‍ර ව්‍යාපාරයක් පටන්ගන්න, ෆේස්බුක් හොඳ වේදිකාවක්. ඒ වගේම ඒ ඇතුළෙ චිත්‍ර කලාව සම්බන්ධ ගෘප් උවමනා තරම් තියෙන නිසා උපදෙස් ගන්න වගේම ව්‍යාපාර අරඹන්නත් එය කදිමයි. ඒ විදියෙ මූලික උපකරණ නැතිනම් හැකියාව ඇති අයෙකුට, පැන්සලක් පෑනක් පමණක් වුණත් ප්‍රමාණවත්. එය සාමාන්‍යයෙන් දකින වර්ණ චිත්‍රයකට වඩා කදිම වෙනසකුත් එක් කරාවි. පැන්සලෙන් සහ පෑනෙන් පමණක් ඇඳපු චිත්‍ර අලෙවි කරන ව්‍යාපාරිකයින් බොහොමයක් දැනටත් ඉන්නවා වගේම ඒ වෙනුවෙන් මහන්සියට සරිලන ගෙවීමක් ලැබෙන හොඳ වෙළඳපොලක් තිබෙනවා. ඒ වගේම චිත්‍රය අඳින්නට පෙර සම්පූර්ණ මුදල අය කිරීමෙන් පසු නිර්මාණය සිදු කරන නිසා කිසිඳු බියක් සැකක් තියාගන්නට අවශ්‍යත් නැහැ.

වගාව

තමන්ගේ ගෙවත්තේ කුඩා බීජ කිහිපයකින් සරළ වගාවක් පටන්ගැනීමත් සාර්ථක ව්‍යාපාරයක්. මුලින්ම තමන්ගේ ගෙදර පරිභෝජනයට අවශ්‍ය එළවළු පළතුරු ලබාගැනීමෙන් ගෙදර වියදම් අඩු කරගන්නටත් පුළුවන් වගේම, පසු කාලීනව නිවස අසළ ඇති කුඩා වෙළඳසැල්වලට බව බෝග සැපයීමෙන් අමතර ආදායමක් ලබා ගන්නත් පුළුවන්. එබේ නිවස පිහිටන තැන අනුව එම අලෙවි කිරීම ඔබටම සිදු කරන්නටත් පුළුවන්. විෂ රසායනික ද්‍රව්‍ය නොමැති නිසා අසල්වාසීන් වුවත් විශ්වාසයෙන් මිළදීගන්නට ඉඩ තිබෙනවා.

උගන්වමු

ඔබට ඇති යම් දැණුමක් අන්තර්ජාලය හරහා හෝ නිවසට ගොස් ඉගැන්වීම සුළු ආයෝජනයකින් සිදු කළ හැකි කදිම ව්‍යාපාරයක්. ඉගැන්වීමට පෙර තමුන්ගේ දැණුම ගැන තවත් හොඳින් අධ්‍ය්‍යනය කර සූදානම් වී සිටීම වැදගත් අපි මෙතනදී අධ්‍යාපනය ලෙසින් හැඳින්වුවේ පාසල් විෂයම නොවෙයි. ඔබට හැකි ඕනෑම දෙයක් ඉගැන්විය හැකියි. මැහුම් ගෙතුම් සිට කේක් නිමැවුම් දක්වා විශාල පරාසයක ඉගැන්වුම් ඉඩක් ඇති නිසා ඔබේ හැකියාවට සරලන විෂයක් තෝරාගන්නට කිසිසේත්ම අපහසු නෑ.

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

අන්තර්ජාලයට පිවිසෙන ඩේටා වියදම පමණක් දරන්නට හැකි නම් අන්තර්ජාලය උවමනා තරම් ව්‍යාපාර ඉඩ කඩ ඇති තැනක්. ඔබේ ව්‍යාපාර දැණුමත් උපයෝගී කරගෙන කුඩා කුඩා ක්‍රියාකාරකම් මගින් පහසුවෙන් මුදල් උපයන්නට හැකියි. තරමක් වෙහෙස වන්නට සිදු වුවත්, එය එක් තැනක සිට සිදු කරන ක්‍රියාවක් නිසා විශාල මහන්සියක් දැනෙන්නෙත් නැහැ. නමුත් වැදගත්ම කරුණ වෙන්නේ ඔබ මෙහිදී අවධානය යොමු කළ යුතු, වංචා ඇති පසුබිමයි. මෙම ක්ෂේත්‍රයට බොහෝදෙනෙක් පිවිසෙන නිසා නොයෙක් මිනිසුන් අනෙකුන්ගේ මහන්සියෙන් ප්‍රයෝජන ගෙන මුදල් නොගෙවා මගහරින වංචාකාරී ක්‍රියා තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් පරෙස්සම් වුවහොත් මෙය සාර්ථක ව්‍යාපරික අවස්ථාවක් වනු ඇති.

විකුණුම් දායකත්වය

ලංකාවේ නොයෙක් ව්‍යාපාරවලට විකුණුම් සඳහා දායකත්වය දීමට ඔබට හැකියාව තිබෙනවා. රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළු, නොයෙක් ඉලෙක්ට්‍රොනික් උපාංග දක්වා අලෙවි කිරීමට නියෝජිතයෙකු ලෙසින් ඔබට කටයුතු කරන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන් රක්ෂන අලෙවි නියෝජිතයෙකු ලෙසින්ද කටයුතු කරන්නට හැකියි. එය කිසිසේත්ම අනෙකුන්ට වදයක් නොවන ලෙසින් සහ වඩා විශ්වාසී ලෙසින් කළ හැකි නම් අතිශය සාර්ථකත්වයට පත් විය හැකි ව්‍යාපාරයක්.

මැහුම් ගෙතුම්

මැහුම් ගෙතුම් ඇසුරෙන් ඉගැන්වීමේ නියැලෙන ලෙසින් අපි ඉහත එක් උප මාතෘකාවකදී කිවුවා. නමුත් ඊට වඩා අඩු මහන්සියකින් වැඩි ප්‍රතිලාභ ලබන්නට මැහුම් ගෙතුම් කර අලෙවි කිරීමෙන් ඉඩ තිබෙනවා. දැන් අන්තර්ජාලය හරහා දේශීය වෙළඳපොලට බොහෝ ඉඩ විවර වී තිබෙන නිසා පහසුවෙන්ම මේ කටයුත්තේ නියැලෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබේ හැකියාවන් අපතේ නොයවා එය ව්‍යාපාරයකට පෙරල ගැනීම ඔබේ නිකරුනේ ගෙවෙන කාලය ප්‍රයෝජනවත් යමකට යොමු කිරීමක් වගේම, සාධාරණව අතට යම් මුදලක් සොයාගත හැකි ක්‍රමයක් වනු ඇති.

Related Articles