Home FoodRecipes රසවත් මාලු ව්‍යංජනයක් පිසගන්න පුලුවන් ඉන්දියානු ක්‍රම 3ක්.

රසවත් මාලු ව්‍යංජනයක් පිසගන්න පුලුවන් ඉන්දියානු ක්‍රම 3ක්.

by LADY.LK

පහුගිය දවස්වල මාලු කෑම වර්ජනය කරලා තිබ්බ බොහෝ දෙනෙක් මේ වෙනකොට නැවතත් මාලු මිලට ගන්නා බව පෙනෙන්නට තියෙනවා. කාලෙකට පස්සේ කන මාලු ව්‍යංජනය අලුත් සහ වෙනස් විදියකට හදලා රස විඳින්න ඔබ වගේ ම ඔබේ පවුලේ සාමාජිකයිනුත් බොහොම කැමති වෙයි කියලා හිතන නිසා අපි හිතුවා ඉන්දියා​වේ වෙනස් ක්‍රමවලට පිසගත් fish curry recipes කිහිපයක් ඔබ වෙනුවෙන් අරන් එන්න.

කේරළ ක්‍රමයට මාලු ව්‍යංජනයක්.

කෑමට ගන්න දවසකට කලින් පිසගන්නවා නම් වඩාත් රසවත් මේ මාලු ව්‍යංජනයට කටට සැරට කන්න කැමති අය නම් ඉතාම ප්‍රිය කරන්න ඉඩ තියෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:- මාලු ග්‍රෑම් 500, මිරිස් කුඩු මේස හැන්දක්, කහ කුඩු තේ හැඳි බාගයක්, කොත්තමල්ලි කුඩු මේස හැඳි බාගයක්, ගම්මිරිස් කුඩු තේ හැඳි බාගයක්, උලුහාල් කුඩු ස්වල්පයක්, අබ ඇට ස්වල්පයක්, කුඩා බී ළූණු ගෙඩියක්, තලාගත් ඉඟුරු සහ සුදු ළූණු, රම්පේ සහ කරපිංචා, සියඹලා ඇට 3-4ක ඉස්ම, ලුණු, පොල් තෙල්

සදාගන්නා ක්‍රමය:- මිරිස්, කහ, කොත්තමල්ලි, ගම්මිරිස්, උළුහාල් සහ වතුර ස්වල්පයක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න. මැටි හට්ටියක් ලිපේ තියා තෙල් දමා, තෙල් රත් වූ පසු අබ ඇට දමා පිපිරෙන්නට ඉඩ හරින්න. එයට සිහින්ව කපා ගත් බී ළූණු, සුදු ළූණු, ඉඟුරු, කරපිංචා සහ රම්පේ එකතු කර හොඳින් තෙම්පරාදු කරගන්න. ගින්දර අඩු කර තුනපහ මිශ්‍රනයත් එයටම එක් කර විනාඩි 3-4ක් පමණ බැදගන්න. මේ තෙම්පරාදුවට වතුර කෝප්ප එක හමාරක්, සියඹලා ඉස්ම සහ රස අනුව ලුණු එකතුකර හොද්දක් හදාගන්න. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට වැඩි කර හොද්ද උතුරන විට මාලු කැබලි එක් කර තරමක් උකු ගතියට එනතුරු හින්දා ගන්න.

Masala Fish Curry

ඉතා රසවත් සහ සුවඳ විහිදෙන සහ හොඳ පෙනුමකුත් තියෙන මේ මාලු ව්‍යංජනයට කිසිම කෙනෙක් අකමැති වෙන්නේ නම් නැතිවෙයි.

අවශ්‍ය ද්‍රව්‍ය:- මාලු කැබලි ග්‍රෑම් 500, කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැන්දක්, ලුණු. (මේ සියල්ලම හොඳින් මිශ්‍ර කර පැය එක හමාරක පමණ කාලයක් season වෙන්න තියන්න).

මසාලා paste සඳහා:-සූදුරු තේ හැන්දක්, කැබලි කඩාගත් වියළි මිරිස් කරල් 2, සුදු ළූණු බික් 8-10, කපාගත් අමු මිරිස් කරල් 2, කොත්තමල්ලි කුඩු තේ හැඳි එකක්, කහ කුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳි 2.

ව්‍යංජනය පිසගැනීමට:- සිහින්ව ලියාගත් බී ළූණු ගෙඩි 2, කරපිංචා, සියඹලා ඉස්ම මේස හැඳි 4, කොත්තමල්ලි කොළ ස්වල්පයක්, ලුණු, පොල් තෙල්, උකු පොල් කිරි කෝප්ප බාගයක්.

.

සදාගන්නා ආකාරය:- සූදුරු, වියළි මිරිස් සහ සුදු ළූණු මඳ ගින්නේ විනාඩි කිහිපයක් බැදගන්න. මේ මිශ්‍රනය සහ කපාගත් අමු මිරිස් blender එකක දමා grind කරගන්න. මෙයට කහ කුඩු, මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු සහ වතුර කෝප්ප කාලක් පමණ දමා නැවත grind කර මසාලා paste එක හදාගන්න. Pan එකකට තෙල් ස්වල්පයක් දමා මාලු කැබලි දෙපැත්ත දමමින් බැද ගන්න. මාලු කැබලි ඉවත් කර නැවතත් ඒ pan එකේම තෙල් දමා රත්කර බී ළුණු ටික තෙම්පරාදු කරගන්න. විනාඩි පහකට පමණ පසු මසාලා මිශ්‍රනය සහ රස අනුව ලුණු එකතු කරගෙන මඳ ගින්නේ සුළු වෙලාවක් පිසගන්න. මෙයට කරපිංචා, සියඹලා ඉස්ම සහ වතුර කෝප්පයක් එකතු කරගෙන තරමක් හිඳෙන තෙක් හැඳිගාන්න. අවසානයට බැඳගත් මාලු කැබලි සහ මිටිකිරි එක්කර හින්දවාගෙන උඩින් කොත්තමල්ලි කොළ ඉසගන්න.

පරව් මාලු ව්‍යංජනයක්

අවශ්‍ය ද්‍රව්‍ය:- පරව් මාලු පෙති කිහිපයක්, සිහින්ව ලියා ගත් බී ළූණු ගෙඩි දෙකක්, ඉඟුරු paste තේ හැන්දක්,  සුදුළූණු බික් 5-6,  පලාගත් අමු මිරිස් කරල් 2, උකු පොල් කිරි කෝප්ප දෙකක්, කපාගත් ලොකු තක්කාලි ගෙඩියක්, විනාකිරි මේස හැන්දක්, රම්පේ සහ කරපිංචා, කජු මද 10ක්,  කහ කුඩු තේ හැඳි කාලක්, ගම්මිරිස් කැබලි තේ හැන්දක්, කුරුඳු පොතු කැබැල්ලක්, කරාඹු නැටි 2, කරඳමුංගු 2, පොල්තෙල්, සූදුරු මහදුරු කොත්තමල්ලි කුඩු ස්වල්පය බැගින්, දෙහි ඉස්ම, ලුණු

සදාගන්නා ආකාරය:-

කරඳමුංගු, කරාඹු නැටි, කුරුඳු සහ ලියාගත් බී ළූණු, ලුණු ස්වල්පයක් එක් කර පොල් තෙලෙන් තෙම්පරාදු කරගන්න. මෙයට සුදු ළූණු, ඉඟුරු, අමු මිරිස් සහ රම්පේ කරපිංචා එකතු කර තවත් ස්වල්ප වෙලාවක් බැදෙන්නට ඉඩ හරින්න. තක්කාලි, මිරිස් කුඩු, කහ කුඩු සහ මාළු කැබලි එක් කරලා භාජනයේ පියන වහලා තවත් විනාඩි දෙක තුනක් පිසගන්න. පොල් කිරි සහ කජු මඳ blender එකකට දාලා අඹරාගෙන තෙම්පරාදු මිශ්‍රනයට එකතු කරන්න. අවසානයට විනාකිරි, සූදුරු මහදුරු කොත්තමල්ලි කුඩු ස්වල්පයක් සහ අවශ්‍ය නම් ලුණු එකතු කර විනාඩි 3-4ක් උතුරවා ගන්න. ව්‍යංජනය ලිපෙන් ඉවත් කළ පසු දෙහි යුෂ එක් කරන්න.

Related Articles