Home #Bosslady තමන්ගෙම බිස්නස් එකක් කරන එකේ වාසි

තමන්ගෙම බිස්නස් එකක් කරන එකේ වාසි

by LADY.LK
Business Women

තමන්ගේම ව්‍යාපාරයක් කරන්න බොහෝ දෙනෙක් කැමතියි. ඒ වගේම සමහරු ඒ වගේ අවදානමක් ගන්න අකමැතියි. අපි මේ සටහනෙන් කියන්නෙ රැකියාවක් කරන එක නරක දෙයක් කියලානම් නෙමෙයි. මේ ව්‍යාපාරයක නියැලෙන එකේ තියෙන විශේෂ වාසි 7ක්. අපි අනාගතයේ දවසක රැකියාවක නියැලීමේ වාසි ගැනත් කතා කරන්නම්. මේ සටහන ව්‍යාපාරයක් ආරම්භ කරන්නට ආසාවෙන් ඉන්න වගේම ව්‍යාපාරයක් ගොඩනගාගෙන යන ඕනම කෙනෙකුගේ හිතට උදවුවක් වේවි. ඒ නිසාම මේ සටහනට තවත් ඔයාලා දන්න විශේෂ වාසි තියෙනවානම් එකතු නොකර ඉන්නත් එපා.

කරොත් ඔයාට

රැකියාවකට වඩා ව්‍යාපාරයකදී ඔයා කරන දේට ලැබෙන වටිනාතම වැඩියි. ඒකට හේතුව වෙන්නෙ ඒ කරන තරමක් වැඩවලින් වාසි වෙන්නෙ ඔයාට වීමයි. සාමාන්‍යයෙන් රැකියාවකදි අපි කරන තරමකින් අපිට ලැබෙන මූල්‍යමය වාසිය අඩුයි. ඒකට හේතුව වෙන්නෙ එයින් වැඩි කොටසක් ආයතනයට ගලා යන නිසායි. නමුත් ව්‍යාපාරයකදි ඔයා මහන්සි වෙන තරමට ඍජුවම වාසිය ලැබෙන්නේ ඔයාටමයි. ඒ වාසිය ඔයාට ඔයාගෙ ඇස් පනාපිට එක්වරම දකින්න නොලැබෙන්න පුළුවන්. ඒ වුනත් කවදාක හෝ ඔයාගේ මහන්සියේ ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ ඔයාටමයි.

අලුත් පාඩම්

රැකියාවක් කරන කෙනෙකුට අලුත් පාඩමක් ඉගෙනගන්න ලැබෙන්නෙ අතිශය කලාතුරකින්. ​මොකද රැකියාවෙදි තමන්ට කරන්න නියමිත වැඩක් තියෙන නිසා ඒකම කරනවා ඇරෙන්න වෙනිං දෙයක් කරන්න සිද්ධ වෙන්නෙ නෑ. ඒ වගේම රැකියාවෙදි බොහෝවිට තමන්ටම හොයාගෙන ඉගෙනගන්න වෙන්නෙ කලාතුරකින්. රැකියාවට එද්දි තමන්ට කරන්න තියෙන වැඩ ගැන යම් අදහසක් සහ ජ්‍යෙෂ්ඨයෙකුගෙ හැසිරවීමක් සිද්ධ වෙනවා. ඒ නිසාම ව්‍යාපාරයකදි තමන්ම ඉගෙනගෙන තමන්ම අවධානමක් අරගෙන, අනුන් දිහා බලාගෙන, කරන්න අවශ්‍ය දේ පවා හොයාගැනීම නිසා තමන් තුළ විශාල ප්‍රබෝධයක් සහ ජීවයක් ඇති වෙනවා.

තෘප්තිමත්

අනිවාර්‍යයෙන්ම රැකියාවක් කරන පුද්ගලයෙකුට වඩා ව්‍යාපාරයක යෙදෙන්නා ඉන් විශාල තෘප්තියක් ලබනවා. එයට ප්‍රධානම හේතුව වෙන්නෙ අපි මුළින් කියපු අපේ මහන්සියේ ප්‍රථිඵල සියයට සියයක්ම අපිටම ලැබීම. ඒ වගේම මේ සටහනේ අනෙක් කරුණු සියල්ලම වගේ නවතින්නේ ආත්ම තෘප්තිය කියන තැනින්. ඉතිං ව්‍යාපාරයකදී තමන්ගේ සිතට දැනෙන තෘප්තිය අමතක කරන්න අපිට කීයටවත් බැහැ.

ස්වාධීනයි

ඔව් ඔබ ස්වාධීනයි. රැකියාවක් කරන පුද්ගලයෙකුට වඩා අනිවාර්‍යයෙන්ම ව්‍යාපාරයක් කරන පුද්ගලයා ස්වාධීනයි. ඔයාව ගයිඩ් කරන්න ඉන්නෙ ඔයාමයි. ඒ වගේම ඔයාව ගොඩ දාගන්න ඉන්නෙත් ඔයාමයි. ඒ නිසා ඒ ස්වාධීන බවත් එක්ක ලොකු වගකීමකුත් ඔයාගෙ කර මත පැටවෙනවා. ඒ වගේම ඔයා යටතේ සේවකයන් ඉන්න කාලෙක ඒ වගකීම තවත් වැඩි වෙනවා. මේක ඔයාට ලොකු පන්නරයක් වේවි.

මේ පඩියෙන් අර පඩියට

අපි මේ කියන්නෙ මාසෙ පඩිය නෙමෙයි. මේ කියන්නෙ අපේ හීන ගැන. රැකියාවකදි අපේ ඉදිරි පියවර වෙන්නෙ ප්‍රමෝෂන් එකක්, ඉන්ක්‍රිමන්ට් එකක් වගේ දෙයක් විතරයි. නමුත් මෙතනදි අපේ හීනය අලුත් ශාඛාවක්, ව්‍යාපාරයට වාහනයක්, වැඩි සේවක පිරිසක් වගේ ලොකු හීනවලට තල්ලු වීමක්. ඒ නිසයි මේ කතාව සුවිශේෂ වෙන්නෙ.

නිදහස

මේ ගැන අපි කියන්නම් එක පේළියකින්. ඔයා හොඳින් කළමනාකරණය දන්නවානම් ඔයාගේ ව්‍යාපාරය එක්ක ඔයාට ජීවිතේ නිදහස උපරිමයෙන් විඳින්න පුළුවන්.

Related Articles