Home Parenting දරුවාට නිවසේ දී ඉගැන්වීම් කටයුතු සිදු කරද්දී සැළකිය යුතු කරුණු

දරුවාට නිවසේ දී ඉගැන්වීම් කටයුතු සිදු කරද්දී සැළකිය යුතු කරුණු

by LADY.LK

වසර දෙකකට කිට්ටු කාලයක් පුරාවට පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවත්, මේ නිසා නිවසටම කොටුවෙලා ඉන්න දරුවාගේ  ඉගෙනීමේ කටයුතු වෙනුවෙන් ගුරුවරයාගේ භූමිකාව පවා භාරගන්න දෙමාපියන්ට සිදු වී ඇති බවත් අප හොඳින් ම දන්නවා. නමුත්, කුඩා දරුවන්ට ඉගැන්වීම එතරම් ලේසි පහසු කටයුත්තක් නොවෙන බව මේ වෙනකොට ඔබට වැටහිලා ඇති. ඒ නිසා මේ අපහසු කටයුත්ත පහසු කරගන්නට අනුගමනය කරන්න පුලුවන් උපක්‍රම කිහිපයක් අපි අරන් ආවා. බලන්න, මේ දේවල්වලින් ඔබට යම් උපකාරයක් ලැබෙයිද කියලා.

කාලසටහනක් පවත්වාගෙන යන්න

දරුවාට පාසලේදී ඉගෙනීමට සිදුවන සියලු ම විෂයයන්ට අදාළව කාලසටහනක් සදා ගන්න.  ඉතා දීර්ඝ වෙලාවක් තිස්සේ ඉගැන්වීමට උත්සහ කිරීමෙන් දෙපාර්ශවයටම මෙය සම්පූර්ණයෙන් ම අප්‍රියජනක කටයුත්තක් වන්නට ඉඩ ඇති නිසා වයසට ගැළපෙන පරිදි විනාඩි 20-30 කාලසීමාවක් ප්‍රමාණවත් වන බවයි අපේ අදහස වන්නේ. යම් විදියකින් දිනයට නියමිත පාඩම  එතරම් සාර්ථකව සිදු වුනේ නැත්තන් ඊළඟ දිනයෙන් යම් කාලයක් ඒ සඳහා වෙන්කිරීමේ හැකියාව ඔබට තියෙනවා. ඒ වගේ ම අධ්‍යාපන කටයුතු සඳහා බාධා අවම, හොඳින් ආලෝකය ලැබෙන සහ ස්ථීර ස්ථානයක් තියෙනවා නම් ඉගෙනීමත්, ඉගැන්වීම ඉතා පහසුදායක වේවි. 

වැඩ කරන්න පුළුවන් කොයි වෙලාවට ද?

ඔබට මේ වෙනුවෙන් වෙන් කළ හැකි කාලය ගැන වගේ ම දරුවාගේ හැකියාව සහ කැමැත්ත ගැනත් සිතා බලා වෙලාව වෙන්කරගන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔබත් දරුවාත් දෙදෙනාම හෙම්බත් වී සිටින හවස් වරුවට වඩා ප්‍රබෝධමත් උදේ වරුව අධ්‍යාපන වැඩ කටයුතු වෙනුවෙන් වෙන් කරගන්න පුළුවන් නම් වඩා සුදුසුයි කියලා අපි හිතනවා. නමුත් මෙය අපහසු නම්, ඔබ රැකියාව සඳහාත් වෙහෙසෙන මවක් නම්, දරුවාටත් ඔබටත් ගැළපෙන පරිදි  කාල සටහන වෙනස් කරගැනීමේ අයිතිය ඔබට තියෙනවා.

දරුවා tution ගුරුවරයෙක් සමඟ ඉගෙන ගන්නවා නම්

කුඩා දරුවන්ට ඉගැන්වීම ඕනෑම අයෙකුට සිදු කළ හැකි ලේසි පහසු කටයුත්තක් කියලා අපි හිතන්නේ නැහැ. උදාහරණයක් විදියට ඔවුන්ට යම් ගණිත සංකල්පයක් ඉගැන්වීමේදී ගුරුවරු විශේෂ ක්‍රම අනුගමනය කරන අතර ඇතැම්විට ඔබ මෙවැනි පහසු ක්‍රම ගැන නොදැනුවත් වන්නට හොඳින් ම ඉඩකඩ තියෙනවා. මේ වගේ හේතු නිසා දරුවාට වෙනත් ගුරුවරයෙක් හරහා ඉගැන්වීමේ කටයුතු කරනවා නම් දරුවාගේ පොත් පත් පරීක්ෂා කර බැලීමත්, ගැටළුවක් ඇත්නම් පමණක් ගුරුවරයා හා සාකච්ඡා කිරීමත් ප්‍රමාණවත් වනවා. ඒ වගේම ඒ විෂයය ඔබේ කාලසටහනෙන් ඉවත් කිරීමත් සුදුසුයි කියලා අපි හිතනවා.

දරුවා අගයන්න

කුඩා දරුවා සමඟ ගුරුවරයෙකු ලෙස ක්‍රියාකිරීම ඔබටත්, වෘත්තීමය ගුරුවරයෙකු නොවන ඔබ සමඟ වැඩ කිරීම දරුවාටත් එතරම්ම ම සුවපහසුදායක කටයුත්තක් නොවන්නට ඉඩ තියෙනවා. පන්ති කාමරයේ දී සමවයස් මිතුරන් හා ගුරුවරිය සමඟ ඉගෙනගන්නවාට හාත්පසින් ම වෙනස් දෙයක් මෙහිදී සිදුවන නිසා සමහරවිට නොයිවසිලිමත්කම් සහ අඩුපාඩු සිදුවීමට ඇති අවස්ථා එමටයි. මේ නිසා ඔබේ ඉවසිලිමත්කම අනිවාර්යයෙන් ම රඳවා පවත්වාගත යුතුමයි කියන කරුණත් අපි මතක් කරනවා. දරුවාගේ කුඩා හැකියාව පවා එවෙලේම ඇගයීම ඔබේ ඉවසීම රඳවාගන්න උපකාරයක් වේවි. හැකිනම් star chart එකක් වැනි points system එකක් පවත්වාගෙන යෑමත්, එය සිදු නොකළත් හැම මොහොතකම දරුවා අගය කිරීමත් මඟින් දරුවාගේ ඉතා යහපත් වර්ධනයක් ඔබට දකින්නට ලැබේවි. 

උපකාර ලබා ගන්න

දරුවාගේ ඉගැන්වීමේ කටයුතු පරිපූර්ණ ආකාරයට සිදු කිරීම මවක් විදියට ඔබට අපහසු කටයුත්තක් වෙන්න වැඩි ඉඩක් තියෙනවා. ඒ පිළිබඳව කිසිම කනස්සල්ලක් ඇති කරගන්නෙපා. නමුත්, ඔබේ පහසුව සඳහා අන්තර්ජාලය හරහා, දරුවාගේ පාසල් ගුරුවරයා හෝ හැකිනම් හිතවත් ගුරුවරු හරහා ඔබට අවශ්‍ය උපදෙස් ලබාගැනීමට උත්සහ කරන්න. විෂයට අදාළ පහසු ක්‍රම, සටහන්, ක්‍රියාකාරකම්, උපකරණ, සරල ක්‍රීඩා උපක්‍රම වගේ දේවල් ඕනෑ තරම් අන්තර්ජාලය හරහා ලබාගැනීමට ඔබට හැකියාව ලැබෙන නිසා පොතට පමණක් සීමා නොවී ඒ දේවලින් අදහස් ලබා ගැනීම ඔබට විශාල පහසුවක් වනවා නොඅනුමානයි. ඒ වගේම සියලු ම වැඩ කටයුතු  සම්පූර්ණයෙන් ම ඔබගේ වගකීමක් බවට පත් කර නොගෙන පවුලේ අනෙකුත් සාමාජිකයින්ගෙනුත් හැකි තරම් උපකාර ලබා ගැනීමෙන් ඔබට ඇතිවිය හැකි මානසික පීඩාව අවම වේවි.

විවේකය අත්‍යවශ්‍යයි

ඔබටත් දරුවාටත් අනිවාර්යයෙන් ම විවේකය අත්‍යවශ්‍යයි. දරුවා පොත පතට සීමා නොකර, විනෝදජනක රූපවාහිනි වැඩසටහනක් නැරඹීමට, පරිසරය නිරීක්ෂණය කිරීමට, නිදහසෙ සෙල්ලම් කිරීමට, යහළුවෙක් සමඟ දුරකථනයෙන් කතා බස් කිරීමට සහ ප්‍රිය කරන කෙටි කෑමක් ගැනීමට ඔහුට අයිතිය තියෙනවා. දරුවාගේ වැඩ කටයුතු, නිවසේ සහ රැකියාවේ වැඩ කටයුතු අතර දෝලනය වන ඔබටත් නිදහසක් ලැබීමට එවැනිම අයිතියක් තියෙනවා. ඒ වගේ ම සාර්ථකව ඉගෙන ගැනීමට වගේම ඉගැන්වීමටත් මානසික නිදහස කියන කාරණය අනිවාර්යයෙන් තිබිය යුතු නිසා මේ කරුණ ගැනත් අවධනය යොමු කිරීම ඔබේ වැඩකටයුතුවල සාර්ථකත්වයට හේතුවක් වේවි.

Related Articles