Home Parenting පොඩ්ඩෝ එක්ක කෑම ගන්න පිටතට යනවා නම් මේ දේවල් ගැනත් හිතන්න.

පොඩ්ඩෝ එක්ක කෑම ගන්න පිටතට යනවා නම් මේ දේවල් ගැනත් හිතන්න.

by LADY.LK

මේ දවස්වල පිටතට යෑමත්, පිටතින් ආහාර ගැනීමත් වැඩිහිටි පොඩිහිටි කාටත් එතරම් ආරක්ෂිත නොවුනත්, යම් වෙනසක් වෙනුවෙන් කලාතුරකින් හරි එළියට යන්න ඔබ උත්සහ කරනවා වන්නට පුළුවන්. ඒ නැතත්, පවතින වසංගත තත්ත්වය තරමක් දුරට සමනය වුණාම පොඩ්ඩෝ එක්ක එළිපහළියේ ඇවිදලා, restaurant එකකින් ආහාර වේලක් ගැනීමේ පොඩි හරි බලාපොරොත්තුවක් ඔබේ හිතේ ඇති. ඉතින් ඒ වගේ අදහසක් ඔබට තියෙනවා නම්, පොඩ්ඩෙක් එක්ක පිටතින් කෑම ගන්න යනකොට සැළකිය යුතු කරුණු අඩංගු මේ ලිපිය ලියා ඇත්තේ ඔබ වෙනුවෙන්ම යි. 

යන්නේ kids friendly තැනකටද?

හැම restaurant/ hotel එකක්ම kids friendly නොවන හන්දා යන්න තැනක් තෝරනකොට අනිවාර්යයෙන් ම මේ කාරණයට අවධානය යොමු කරන්න වෙනවා. දරුවාට අනතුරුදායක විය හැකි ආකාරයට පිහිටා ඇති පඩිපෙල්, swimming pool, balcony, විශාල ජනේල වගේ දේවල් සහිත තැනක් නම් එවැනි ස්ථාන හැකි තාක් මඟ හරින්න උත්සහ කරන්න. ඒ වගේ ම දරුවාගේ වයසට සහ රුචියට ගැළපෙන ආකාරයේ කෑම සපයන ස්ථානයක් වීම සහ kids chairs ඇති තැනක් වීමත් අත්‍යවශ්‍ය වනවා. තමන්ගේ පාරිභෝගිකයින්ට බාධාවක් නොවෙන ආකාරයට හැසිරෙන්න කියලා විශේෂයෙන් නිවේදනය කරලා තියෙන restaurants ඔබ දැකලා ඇති. එවැනි ස්ථානවලට පොඩි දරුවෙක් අරගෙන නොයා, මුළු පවුලටම නිදහසේ ආහාර වේලක් ගන්න පුළුවන් තැනකට යන එක තමයි වඩාත් හොඳ. 

අවශ්‍ය දේවල් ගත්තද?

දරුවාගේ වයස සහ ඒ ස්ථානයේ රැඳී සිටින කාලය අනුව අවශ්‍ය දේවල් පිළිවෙළට pack කරගෙන අරන් යන්න. අමතර ඇඳුම්, පොඩි towel එකක්, diapers, දරුවාගේ වතුර බෝතලය වගේ අවශ්‍ය වෙයි කියලා හිතෙන දේවල් අමතක කරන්න එපා. ඒ වගේම කෑම ලැබෙනකන් පොඩ්ඩා සංසුන්ව තියාගන්න සමත්වෙන විදියේ සෙල්ලම් බඩුවක් දෙකක්, චිත්‍ර අඳින්න කැමති පොඩ්ඩෙක් නම් පාට පෙට්ටියක් සහ පොතක් වගේ දෙයක් අරන් යන එකත් පාඩුවක් නෑ.

බබා ඉන්නේ සතුටින් ද?

එළියට යන්න කලින්, පොඩ්ඩාව හොඳ wash එකක් දාලා සැහැල්ලු ඇඳුමක්/ සපත්තු දෙකක් අන්දවන්න. toilet යන්න අවශ්‍ය ද කියන දේ ගැනත් අහලා නිවසේදීම ඒ දේවල් කරගෙන යන්න පුළුවන් නම් වඩාත් හොඳයි. එහෙම නැත්තන් පිරිසිදු වැසිකිළි පහසුකමුත් තියෙන restaurant එකක් තෝරාගන්න උත්සහ කරන්න. එළියට එක්කගෙන යන්න කලින් පොඩ්ඩා හොඳ නින්දක් අරගෙන නම් ඉන්නේ බබාටත් දෙමව්පියන්ටත් එය විශාල පහසුවක් වෙන්න ඉඩ තියෙනවා. සරලවම කීවොත් දරුවා මේ ස්ථානයේ රැඳී ඉන්නේ සතුටින් සහ සුවපහසුවෙන් නම් අම්මලටත් කෑම වේල හොඳට enjoy කරන්න හැකියාව ලැබෙනවා.

සුවපහසු තැනක වාඩිවෙන්න.

වෙන වෙනම cabins විදියට වෙන්කරලා නැති තැනක් නම් අවම වශයෙන් කොනක මේසයක් තෝරාගන්නවා නම් එය තමන්ටත් අන් අයටත් විශාල පහසුවක් වෙන්නට ඉඩ තියෙනවා. තමන් ගෙනා බඩු බාහිරාදිය වගේම හිරිහැරයක් වෙයි කියලා හිතෙන වීදුරු, පිහි ගෑරුප්පු වගේ දේවල් වුණත් පවා දරුවාට හසු නොවෙන ආකාරයට අයින් කරලා තියන්න පසුබට වෙන්න එපා.

පොඩ්ඩගේ කෑම කලින් ම order කරන්න.

යන්න කලින් පොඩ්ඩා කන්න ආසා දේවල් අහලා බලලා ඒ දේවලුත් තියෙන තැනක් තෝ‍රාගන්න උත්සහ කරන්න. එතැනට ගියාම හැම දේටම කලින් ඒ කෑම බීම වර්ග order කරන්න අමතක කරන්න එපා. එහෙම වුනොත් පොඩ්ඩාට කෑම ටික නිදහසේ රස විඳින්න වෙලාව ලැබෙනවා වගේම සන්සුන් වෙන්නත් ප්‍රමාණවත් තරම් වෙලාවක් ලැබෙයි.  

පොඩ්ඩා එක්ක කතා කරන්න. 

ඇනවුම් කරපු කෑම ලැබෙන්න අඩුම තරමේ විනාඩි 15-30ක් වත් ගතවෙන නිසා ඒ කාලය බබා එක්ක කතා බහ කරමින් ගතකරන්න උත්සහ කරන්න. එහෙමත් නැත්තන් පොඩ්ඩක් ඇවිදලා වටපිටාව බලන්නත් පුළුවන්කම තියෙනවා. තමන්ට අවශ්‍ය තරම් අවධානය ලැබෙනකොට පොඩ්ඩා කලබල කරන්න පෙළඹෙනවා හරිම අඩු නිසා ඒ අවශ්‍ය අවධානය ලබාදීම ඔබේ වගකීම වෙනවා.

කලින් ගිහින් කලින් කන්න.

වැඩි දෙනෙක් යන එන වෙලාව තරමක් හෝ මඟහැරලා අදාළ ස්ථානයට යන්න පුළුවන්කම තියෙනවා නම් එය හැම අතින්ම පහසු වෙන්නට ඉඩ තියෙනවා. පිටතින් ආහාර ගන්නා දවස් අනිත් දවස් වලට වඩා වෙනස්වන නිසා සහ සෙනඟ අඩු ස්ථානයක, නිදහසේ ආහාර ගන්න අවශ්‍ය නම් පැයක් හෝ පැය බාගයක් කලින් ඒ ස්ථානයට යන්නට සිදුවෙනවා. ඒ විතරක් නෙවෙයි, අවන්හල් කාර්‍යමණ්ඩලයට ප්‍රමාදයකින් තොරව ආහාර සැපයීම සිදුකරන්නටත් එය පහසුවක් වෙනවා නොඅනුමානයි. හැබැයි ඔබට ඉන්නේ ලොකු පිරිසක් ඉන්න තැනක කලබලයකින් තොරව හැසිරෙන පොඩ්ඩෙක් නම් මේ දේවල් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නැහැ.

අනිත් අයට කරදරයක් වෙන්න ඉඩ හරින්නෙපා.

ඔබේ පොඩ්ඩා යම් දෙයක් වටහාගැනීමේ වයසක පසුවෙනවා නම්, ආහාර ගන්නා ස්ථානයේදි හැසිරිය යුතු ආකාරය ගැන උපදෙස් කිහිපයක් ලබාදෙන්නට අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඒ ස්ථානයේ සිටින අන් අයට බාධාවක් නොවෙන විදියට හැසිරීමේ වැදගත්කම කියා දීම ඉතාමත් වැදගත් වෙනවා. දඟකිරීම යනු ඕනෑම නිරෝගි දරුවෙකුගේ ලක්ෂණයක් වුණත්, ඒ කාරණය සියලු දෙනාම වටහා නොගන්නා නිසා පොදු ස්ථානයකදී හැසිරිය යුතු ආකාරය ගැනත්, ආහාර ගැනීමේදි අනුගමනය කළ යුතු table manners ගැනත් යම් අවබෝධයක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා.  

පොඩ්ඩක් පිරිසිදු කරන්න ලැජ්ජා වෙන්නේ ඇයි?

මේසය උඩ වැටිලා තියෙන කෑම කැබලි බිමට නොවැටෙන විදියට paper serviettes වලින් පිහදලා tray එකට දාන්න මැළි වෙන්න එපා. ඒ දේවල් එම ස්ථානයේ සේවය කරන්නන්ගේ රැකියාව වුණත් පොඩි දරුවෙක් ආහාර ගැනීමෙන් පසු අපිරිසිදු වීමේ ස්වභාවය වැඩි නිසා මව්පියන් විදියට මේසය මඳක් හෝ පිරිසිදු කර තැබීම යහපත් ක්‍රියාවක් වගේම දරුවාගේ සිතටත් යහපත් ආකල්පයක් ඇති කරවනවා.

Related Articles