Home Health & WellnessBeauty Care Cosmetic products මිලට ගන්න කලින් මේ දේවල් ගැන හිතන්න

Cosmetic products මිලට ගන්න කලින් මේ දේවල් ගැන හිතන්න

by ladylk

පාරිභෝගිකයින්ගෙන් කිසිම අඩුපාඩුවක් නැති industry එකක් තමයි cosmetic industry එක කියලා කියන්නේ. ඉතින්, ඔබත් ඒ අතරින් එක් අයෙක් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. හැබැයි, දහස් ගණනින් නිපදවෙන මේ රූපලාවණ්‍ය නිෂ්පාදන අතරින් ඔබ තෝරාගන්නේ තමන්ට ගැළපෙනම සහ හොඳම නිෂ්පාදනය ද? ඇත්තටම cosmetic products මිලට ගන්නකොට අපි සැළකිලිමත් වෙන්න අවශ්‍ය වෙන්නේ කොයි වගේ කරුණු සම්බන්ධව ද? එහෙනම් ඉතින් මේ ලිපියෙන් අපි ඒ කාරණා සම්බන්ධව කතා බහ කරමු.

Cosmetics තේරීමේදී සැළකිලිමත් විය යුත්තේ ඇයි

Cosmetics සහ personal care products  නිපදවීම සඳහා යොදාගන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් ම නොවන බව ඔබ දන්නවා ඇති. සමහර product ingredients අතර අපේ සමට විෂ සහිත විය හැකි රසායනික ද්‍රව්‍යත් අඩංගු වන්නට ඉඩ තියෙනවා. මේ රසායනික ද්‍රව්‍යවල අහිතකර බලපෑම කෙටිකාලයක් ඇතුළත හෝ ඍජුවම පෙන්නුම් කරන්නේ නැති වෙන්නට පුළුවන්. හැබැයි දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ප්‍රමිතියකින් තොර නිෂ්පාදන භාවිතා කිරීම නිසා පසුකාලීනව යම් යම් ගැටළු පැන නගින්නට නම් වැඩි ඉඩක් තියෙනවා. විශේෂයෙන්ම ප්‍රමිතියකින් තොර නිෂ්පාදන වර්ග භාවිතා කිරීම සමේ පිළිකා ඇතිවීමට පවා හේතු වෙන්නට ඉඩ තියෙන බවට කරුණු සොයාගෙන තියෙනවා. ඉතින් මේ හේතුව නිසයි තමන් භාවිතා කරන cosmetics වර්ග ගැන ඔබ හොඳ දැනුවත් බවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ.

Skin type එක වටහාගන්න

විවිධාකාර Cosmetics වර්ග නිපදවීම නිෂ්පාදකයින්ගේ කාර්‍යක් වුවත් ඒවා ආලේප කිරීම සිදු කරනු ලබන්නේ ඔබ විසින්නේ. මේ නිසා වෙනත් අයෙක්ට යහපත් ප්‍රතිඵල ලබා දුන් පමණින් හෝ advertisement එකක් දුටු පමණින් එම නිෂ්පාදනය භාවිතා කිරීමට හදිසි නොවී තමන්ගේ සමට ගැළපෙන නිෂ්පාදන තෝරා ගැනීමට අවධානය යොමුකළ යුතු වෙනවා. වියළි, තෙල් සහිත, මිශ්‍ර, සාමාන්‍ය, සංවේදී යනාදි වශයෙන් සමේ ස්වභාවයන් කිහිපයක් ම තියෙන නිසා තමන්ගේ සමේ ස්වභාවය නිවැරදිව වටහාගෙන ඒ අනුව cosmetics තෝරා ගැනීමට සිහිතබා ගන්න කියලා අපි මුලින්ම සිහිපත් කරනවා.

සමේ ස්වභාවය හැමදාම එකම විදියට තියෙනව ද

කිසිසේත්ම නැහැ. නව යොවුන් වයසෙදි තිබ්බ සම තරුණ වයසට එනකොට වෙනස් වෙනවා. තරුණ වියේදි තිබුණු සම මැදි වියට එද්දි වෙනස් වෙනවා. හෝර්මෝන වෙනස්කම්, සිරුරට ලැබෙන පෝෂණය, බාහිර පරිසරයෙන් සමට සිදුවන බලපෑම් වගේ දේ නිසා තමයි මේ වගේ වෙනස්කම් සිදුවෙන්නේ. ඉතින් මේ විදියට අපේ සමේ ස්වභාවය වෙනස් වෙනකොට ඒ වෙනස්කම් වලට අනුකූලව තමන් භාවිතා කරන cosmetics products ත් වෙනස් කරන්නට සිදුවෙනවා.

උපදෙස් ගන්නේ කාගෙන්ද

සම සම්බන්ධව යම් ගැටළුවක් තියෙනවා නම්, ඒ සඳහා යම් නිෂ්පාදනයක් තෝරාගැනීමට අවශ්‍ය නම්, සමට හිතකර අහිතකර product ingredients ගැන උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නම් ඔබ යා යුත්තේ සුදුසුකම් සහිත dermatologist කෙනෙක් ළඟට මිසක නිෂ්පාදන අලෙවි කරන්නෙක්ගෙන් ළඟට නම් නෙවෙයි. තමන්ගේ ගැටළුව cosmetics seller කෙනෙක් සමඟ සාකච්ඡා කළහොත් ඔබට සිදුවන්නේ ඔවුන් නිර්දේශ කරන කුමක් හෝ නිෂ්පාදනයක් මිලට ගෙන පාවිච්චි කිරීමටයි. ඒ වගේම තමයි, විශ්වාසවන්ත සහ සුදුසුකම් ලත් රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් පවා නිවැරදිම පිළිතුර නොලැබෙන්නට ඉඩ තියෙන නිසා dermatologist කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම තමයි හොඳම විසඳුම වෙන්නේ.

Ingredients මොනවද

ප්‍රමිතියකින් තොර සහ සිරුරට හානිකර නිෂ්පාදන බහුලව නිපදවෙන නිසා තමන් මිලට ගන්න cosmetics වල අඩංගු ingredients, additives සහ preservatives මොනවද කියන කාරණය ගැන ඔබ හොඳින් විමසිලිමත් විය යුතු වෙනවා. සමහරවිට මේ දේවලින් එකක් හෝ ඔබේ සමට අහිතකර ප්‍රතික්‍රියා දක්වන්නට ඉඩ තියෙන නිසා තමයි මේ කාරණය සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ඇතැම් නිෂ්පාදකයින් ඔවුන්ගේ product labels වල සඳහන් කරන විස්තර පාරිභෝගිකයා නොමඟ යවනසුළු සහ අසත්‍ය තොරතුරු වීමටත් ඉඩ තියෙනවා. උදාහරණ විදියට ගත්තොත් hypoallergenic, completely natural, no added bleach වගේ terms අඩංගු වුනත් ඒවා 100% සත්‍යයි කියලා හිතන්න නම් අපහසුයි. ඒ වගේම තමයි, Ingredients විශාල ප්‍රමාණයක් අඩංගු නිෂ්පාදන වලට වඩා සුළු ප්‍රමාණයක් අඩංගු නිෂ්පාදන වලට යොමු වෙනවා නම් වඩා සුදුසුයි කියලත් අපි විශ්වාස කරනවා.

Product එක test කරන්න

මුල්ම වතාවට පාවිච්චි කරන product එකක් නම් කුඩා ප්‍රමාණයේ package එකක් මිලට ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. ඊට අමතරව, යම් නිෂ්පාදනයක් මිලට ගන්න කලින් Patch test එකක් කරන්න අවස්ථාව ලැබෙනවා නම් ඒ අවස්ථාව මඟ නොහැරීමටත් වග බලා ගන්න කියලා අපි සිහිපත් කරනවා. Product එකෙන් සුළු ප්‍රමාණයක් Forearm හෝ කන පිටුපස ආලේප කරලා පැය 24ක් පමණ කාලයක් පරීක්ෂාකාරී වීම තමයි සාමාන්‍ය පිළිවෙල වන්නේ. යම් විදියකින් කැසීම, පළු දැමීම හෝ රතු පැහැ වීම වගේ අසාමාන්‍ය තත්ත්වයක් ඇති වුවහොත් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වෙන්න කියලත් අපි අවධාරණය කරනවා.

මේ දේවල් ගැනත් හිතන්න. නිෂ්පාදනවල කල් ඉකුත්වන දිනය, packages damage වෙලා ද, අනුකාරක නොවන නිෂ්පාදන ද, කියවා තේරුම් ගත හැකි භාෂාවකින් උපදෙස් සටහන් වෙලා තියෙනවා ද, අන්තර්ජාලය හරහා වැඩි විස්තර සොයා ගත හැකි නිෂ්පාදන ද වගේ කරුණු ගැනත් අවධානය යොමු කරලම cosmetics මිලට ගන්න කියලා අපි අවසන් වශයෙන් සිහිපත් කරනවා.

Related Articles