Home Health & WellnessBeauty Care පසුකාලීනව ඔයාගෙ සිරුරට අහිතකර විය හැකි කාන්තා විලාසිතා

පසුකාලීනව ඔයාගෙ සිරුරට අහිතකර විය හැකි කාන්තා විලාසිතා

by LADY.LK

ලස්සන කියන්නෙ අපි කවුරුත් කැමති දෙයක්. ලස්සන වෙන්න අපි කරන දේවල් බොහෝමයි. ඒ අතරේ අපේ ස්වභාවික ලස්සන වැඩි කරගන්න දේවල් වගේම, අපි ලස්සනයි කියලා හිතන දේ අපිට ආරෝපණය කරගැනීමත් දකින්න පුළුවන්. මේ කියන්න යන්නේ අපි මේ කරන විලාසිතාවලින් අපිත් නොදැනීම පසු කාලෙක අපිට සිද්ධ වෙන්න පුළුවන් අකරතැබ්බ. ඔයත් දැනටමත් මේ දේවල් කරනවානම්, ඒ ගැන දැනගෙන ඉන්න එක හොඳ නිසාම Lady.LK අපි තීරණය කළා ඔයාලා වෙනුවෙන් මේ ගැන ටිකක් කතා කරන්න.

උසට යමු!

ගෑනු ළමයි ආසයි උසට පේන්න අඩි උස සපත්තු පළඳින්න. මේකෙන් දිගු කාලීනව වෙන හානිය වගේම කෙටි කාලීනව වෙන හානිත් තියෙනව. අසමතුලිත බව නිසා වළලුකර පෙරලෙන්නට වගේම, පාරේ කාණු අතර ඇති සිහින් හිඩැස්වලට පාදය ගිලි යාම වගේම, යම් කඩතොලුවක පැටලී මෙම සිහින් උස කරවන කූර ගැලවී යාම සිදුවන්නට පුළුවන්. එය ඒ මොහොතේම ඔබේ සිරුරට හානි කර වන දෙයක්. ඒ වගේම කල් භාවිතයේදී බෙල්ලේ කැක්කුම්, ​කොන්දේ කැක්කුම් වගේම තුනටියේ කැක්කුම් ඇතිවීම සාමාන්‍යයෙන් දැකිය හැකියි. ඉතිං මේ විලාසිතාව කරන්න උවමනා නම් අවශ්‍යම තැනකට පමණක් පැළඳීම, දිගු වෙලාවක් නොදා සිටීම, උස නමුත් ඔබට පහසු අඩියක් තෝරාගැනීම සිදු කරන්නට පුළුවන්.

පහසුවට ඉමු!

උසට යන එකට හයි හීල්ස් දාන එක අවුල් වූ පමණින් අපේ පහසුවට ෆ්ලිප්ෆ්ලොප්ස් දාන එකත් ලෙඩ ගොඩක්. ඒ ඇයි? ෆ්ලිප්ෆ්ලොප්ස්වලින් ඔයාගේ යටි පතුළට පහසුවක් වෙන්නේ නෑ, ඔයාට ඒක දාන වෙලාවට නොතේරෙන්නෙ ඒකෙන් ඔයාගේ කකුල එළියට නිරාවරණය වන නිසා ලැබෙන නිදහස හේතුවෙන්. මේ නිසාම සාමාන්‍ය සෙරෙප්පු දැමීම පසු කාලීනව දනිස්සේ රිදුම් වගේම, ඇවිදීමේදී යම් ඇද ගැහීමක් වෙන්නටත් හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබේ දෙපයේ සතුරා හයි හීල්ස්ම පමණක් නෙමෙයි. ඔබේ කකුළට කදිමට නොගැලපෙන ඕනෑම පාවහනක් විලාසිතාවක් නොව පසුකාලීන විනම්බෑසියක් විය හැකියි.

සුදු වෙමු!

සුදු වෙන්න ආසා ගෑනු ළමයි කරන වැරදි වැඩක් තමයි සුදු වෙනවා කියූ පමණින් නොසොයා නොබලා ක්‍රීම් ගාන එක. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ සමේ මෙලනින් වර්ණකය වැඩි විත්තිය. ඉතිං මේ ක්ෂණික සුදු බවක් හමට ලබාදෙන්න සකසන ක්‍රීම් බොහෝමයක් කරන්නෙ හමේ තියෙන මෙලනින් අඩු කරවන එක. ඒ වෙනුවෙන් එයාලා යොදාගන්නෙ රසදිය. ඉතිං ඉක්මනට සුදු වුණු පමණින් රසදිය වැඩිපුර අඩංගු ක්‍රීම් ගාගන්න එක පසුකාලීනව ස්නායු පද්ධතියට ප්‍රශ්නයක් වෙන තැනට එන්න පුළුවන්.

ඉන බස්සමු!

කාන්තාවන්ට අඳින ඇඳුම් හැඩට පේන්න තියෙන දෙයක් තමයි වේස්ට් ට්‍රේනර්ස් කියන්නෙ. වේස්ට් ට්‍රේනර්ස් ඇන්දම ඉදිරියට නෙරා ආපු බඩ එහෙම ඇතුළට ගිහින් ශරීරයට කදිම හැඩයක් ලැබෙනවා. නමුත් ව්‍යායාමයෙන් ශරීරය සිහින් කරගන්නෙ නැතුව කරන මේ වැඩෙන් ඇඟ හැඩ වුණාට බර අඩු වීමක් වෙන්නෙ නෑ. ඒ නිසා ඇතුළට තෙරපූ බර ඔයාගේ සිරුරේ වෙනත් තැනකට යම් තෙරපුමක් යොදනවා. ඉතිං ඔයා මේක දාගෙන ඉන්න වෙලාව අපහසුවෙන් ගත කරන්නට සිදු වෙනවා වගේම, පසුකාලීනවත් ආබාධ ඇතිවෙන්න පුළුවන්.

ඇහැට පාටක්!

සාමාන්‍යයෙන් ලංකාවේ අපිට උරුම අක්ෂි වර්ණයක් තියෙනවා. කළාතුරකින් වෙනස් පාට ඇස් තියෙන අය දකින්න ලැබුනත් අපේ ඇස්වල ස්වභාවික වර්ණය අඳුරු බවක් ගන්නවා. ඒ නිසාම තමුන්ගේ ඇඳුමට වගේම, තමුන් ආසා කරන පාටකට හරියන්න ඇස්වලට වර්ණ ගැන්වූ කාච යොදාගන්න බොහෝ තරුණියන් පෙළඹෙනවා. මේ දේවල් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව සිදු කළොත් සදාකාලික අන්ධ බව, ඇසට ඔක්සිජන් අහිමි වීම නිසා ඇතිවන ආසාදන තත්ත්ව වගේම පෙනීමේ දුර්වලතාත් හටගත හැකියි.

දාමු කරාබුවක්!කරාබු දාන එක කාන්තාවන්ට සාමාන්‍යය දෙයක්. ඉපදී කෙටි කලකින්ම කිසිත් නොදැන දෙමාපියන් දෙකනට දාන කරාබු දෙකෙන් පස්සෙ නහයට, තොලට, නාභියට, ඇහි බැමට වගේම සිරුරේ නොයෙක් තැන්වලට කරාබු දමන්නට කාන්තාවන් පෙළඹෙනවා. නමුත් ප්‍රශ්නය ඇතිවන්නේ පසු කලෙකදීයි. සාමාන්‍යයෙන් මිනිස් සිරුරට සිදුවන බැක්ටීරියා ආසාදනවලින් සියයට 20ක් මේ බොඩි පියර්සින්ස් නිසා සිද්ධ වෙන බවයි පැවසෙන්නේ. ඒ නිසා කෙටි කලකට ලැබෙන ආකර්ෂණය වෙනුවෙන් දිගු කලකට හානියක් සිරුරට කරගන්න එපා කියලයි අපි නම් කියන්නෙ.

Related Articles