Home Health & WellnessBeauty Care කරදරකාරී කෙස් කළඹට සමු දෙන්න

කරදරකාරී කෙස් කළඹට සමු දෙන්න

by ladylk

තමන්ගේ හිසකෙස්ව දිග ප්‍රමාණය කොහොම වුණත් එය නිරෝගී සහ හොද පෙනුමකින් යුතු නම් එයින් අපේ ආත්ම විශ්වාසය ඉහළ නැංවෙනවා. ඒ වගේම වියළී ගිය, අවුල් සහගත, ඉක්මනින් කැඩෙන සහ ගැළවී යන තුනී කෙස් කළඹක් කියන්නේ කාන්තාවකගේ පෙනුමේ සුන්දරත්වයට සැළකිය යුතු මට්ටමේ හානියක් සිදුකරවන දෙයක් විදියට තමයි හඳුන්වන්න පුළුවන්. හැබැයි තමන්ට අවශ්‍ය වෙන විදියේ නිරෝගි කෙස් කළඹක් උරුම කරගැනීම දවසින් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. ඒ කොහොම වුණත් අපි මේ කියලා දෙන Tips නිවැරදිවම අනුගමනය කළොත් නම්, ඔබටත් කාලයක් ගත වෙනකොට සුන්දර කෙස් කළඹක් උරුම කරගන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

නාන්න කලින් පීරන්න

නෑමෙන් පසු තෙත කොණ්ඩය පීරනකොට ගැළවෙන සහ කැඩෙන හිසකෙස් ප්‍රමාණය වැඩි බව ඔබට දැනිලා ඇති. මේ තත්ත්වය මඟහැරගන්න නම් නෑමට පෙර හිසකෙස් හොඳින් පීරන්න අමතක කරන්න එපා. නාන අතරතුර වගේම හිසකෙස් වියළනකොටත් ගැළවී යන කෙස් ප්‍රමාණය අඩුවීමට මෙය උපකාරී වෙනවා. ඒ වගේම වියළි හිසකෙස් පීරීමේදී හිස් කබලේ ඇති ස්වභාවික තෙල් හිසකෙස් අතරට යෑමක් සිදුවෙන නිසා සෑම විටම වියළි හිසකෙස් ම පීරීමට වග බලාගන්න කියලා අපි මතක් කරනවා.

ලී පනාවක් පාවිච්චි කරන්න

දිනකට සිය වතාවක් පමණ හිසකෙස් පිරීම මඟින් හිස් කබල හොඳින් සම්බාහනය වීමක් සිදු වෙනවා. හැබැයි මේ සඳහා ස්වභාවික කෙඳි සහිත පනාවක් හෝ ලී පනාවක් භාවිතා කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. හිස් කබලෙන් පටන් ගෙන හිසකෙස්වල පහළට යනතෙක් මෘදුව පිරීම මෙහිදී සිදුකළ යුතු වෙනවා.

පිරිසිදුකම හරිම වැදගත්

හිස් කබලේ එකතුවන දාඩිය, කුණු දුහුවිලි සහ තෙල් නිසා හිස්හොරි සැදීමත්, හිසකෙස් ගැළවී යාමත් වේගවත් වෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් දිනපතා ස්නානය අත්‍යවශ්‍ය වෙනවා. මුලින්ම සුදුසු shampoo වර්ගයක් ගෙන එයින් ස්වල්පයක් තෙත් හිස් කබලට යොදා හොඳින් පිරිසිදු කර සෝදා හරින්න. Shampoo යොදා හිසකෙස් ඇතිල්ලීම නම් කිසිසේත්ම සුදුසු වන්නේ නෑ. ඊළඟට සුදුසු conditioner වර්ගයකින් ස්වල්පයක් ගෙන හිස කෙස්වල පමණක් ආලේප කර විනාඩියක් පමණ තබා හොඳින් සෝදා හරින්න. හිසකෙස් මත සහ හිස් කබලේ shampoo හෝ conditioner රැඳී තිබීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. ස්නානයෙන් පසු හිසකෙස් තදින් අතුල්ලා වේලනවා වෙනුවට තෙත මාත්තු කර වේලා ගැනීමටත් අමතක කරන්න එපා. උණුසුම් ජලය වෙනුවට හැකිතාක් සිසිල් ජලයෙන් ම හිසකෙස් සේදීමෙන් හිස්කබලට සහ හිස්කෙස්වලට සිදුවන හානිය අවම වන බවත් සිහිතබා ගන්න කියලා අපි මතක් කරනවා.

දිනපතා ස්නානය කිරීමට අමතරව, තමන් පාවිච්චි කරන towel, කොට්ටය, bed sheet සහ පනාව නිතරම පිරිසිදුව තබා ගැනීමෙනුත් හිසකෙස්වලට වන හානි අවම කරගැනීමට හැකියාව ලැබෙනවා.

Hair masks

හිසකෙස් වර්ණ ගැන්වීම, වියළීම, කෘත්‍රීමව හැඩ ගැන්වීම, යම් යම් ආලේපන ගැල්වීම සහ හිරු එළියට නිරාවරණය වීම වගේ දේවල් නිසා හිසකෙස් පහසුවෙන් ම හානියට පත්වෙනවා. එවැනි හිසකෙස් වලට පෝෂණය ලබා දී, හිසකෙස් යථා තත්ත්වයට පත් කරවන deep conditioning treatment එකක් තමයි hair mask එකක් දැමීමෙන් සිදුවෙන්නේ. තමන්ගේ හිසකෙස්වල ස්වභාවයට ගැළපෙන ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන සකස් කරගත් mask එකක් දැමීම හෝ saloon එකකින් මේ සත්කාරය කරගැනීමට ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම සතියකට වතාවක් මෙය සිදු කිරීම ප්‍රමාණවත් වෙනවා.

කොණ්ඩය කපන්න බය වෙන්න එපා

කොණ්ඩය කෙටි කිරීමට අකමැති නම් සති හයකට හෝ අටකට වතාවක් කොණ්ඩය trim කිරීමට හෝ අවධානය යොමු කළ යුතු වෙනවා. කොණ්ඩය අගිස්ස පැලී ඇතිනම් හිසකෙස්වලට එයින් සිදු වන හානිය සහ අවලස්සන බව වළක්වා ගැනීමට මෙය උපකාරී වෙනවා නොඅනුමානයි.

කොණ්ඩෙට ගැළපෙන නිෂ්පාදන තෝරාගන්න

තමන්ගේ හිස කෙස්වල ස්වභාවයට ගැළපෙන රූපලාවණ්‍ය නිෂ්පාදන තෝරාගැනීමට විශේෂ අවධානයක් යෙදිය යුතු වෙනවා. වියළි බව, තෙල් සහිත බව, හිසකෙස්වලට සිදුකර ඇති වෙනත් රූපලාවන්‍ය සත්කාර, හිස්හොරි ඇතුළු වෙනත් සමේ රෝග  වගේ සියලුම දේ සළකා බලා, කොණ්ඩයට අහිතකර රසායනික ද්‍රව්‍ය අවම වර්ගවලින් නිෂ්පාදන තෝරා ගැනීමටත් අමතක කරන්න එපා.

පෝෂණය අත්‍යවශ්‍යයි

ප්‍රෝටීන්, යකඩ, විටමින් ඇතුළු සියලු පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් සමබල ආහාර වේලක් ගැනීමත්, හොඳින් ජලය පානය කිරීමත් හිසකෙස් ඇතුළු මුළු ශරීරයේම නිරෝගි බව වර්ධනය කරවන හේතුවක් විදියට පෙන්වන්න පුළුවන්. ඔබ කොයි තරම් රූපලාවණ්‍ය සත්කාර කළත්, සමබල ආහාර වේලක් සහ ජලය නිසි පරිදි ලබා ගන්නේ නැත්නම් හිසකෙස් දුර්වල වී ගැළවී යාම ඉක්මන් වෙනවා.

මානසික සහනය

මානසික පීඩා සහ නිදි වැරීම වගේ හේතු නිසා ශරීරයට සිදුවන හානිය හිස්කෙස් වලටත් ඍජුවම බලපානවා. මේ නිසා හිසකෙස් ගැළවී යෑම සහ සුදු වීම වගේ තත්ත්වයන් ඉහළ යන්නට ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවලදී නිසි පරිදි වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව ක්‍රියාකිරීම ඔබගේ හිසකෙස්වලට විතරක් නෙවෙයි සම්පූර්ණ කයට සහ මනසටත් විශාල සහනයක් වෙනවා නොඅනුමානයි.

රූපලාවණ්‍ය සත්කාර සහ වෛද්‍ය උපදෙස් ලබාගැනීම

මාසයකට හෝ දෙකකට වරක් තමන්ගේ රුචිය පරිදි හිසකෙස් වර්ණ ගැන්වීම, hair cut එක වෙනස් කිරීම, හිස්කබල massage කිරීම හෝ hair mask යෙදීම වැනි දේවල් කිරීමට මැළිවන්නට එපා කියන කාරණය අපි ඔබට මතක් කරනවා. ඔබ සැළකිලිමත් විය යුතු වෙන්නේ කොණ්ඩයට හානියක් සිදු නොකරන පළපුරුදු සහ නිසි සුදුසුකම් සහිත රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් මේ දේ සත්කාර සිදු කරගැනීම පිළිබඳව පමණයි. විශේෂයෙන් ම, හානි වූ හිසකෙස් වලට සිදුකරන keratin seal treatment එකකින් හිසකෙස්වලට සුන්දරත්වය වගේම මනා පෝෂණයකුත් ලැබෙන නිසා එවැනි සත්කාර සිදු කරගැනීමට උත්සහයක් දැරීම පාඩුවක් වන්නේ නම් නැහැ.

අනෙක් අතට, ඔබට හෝ රූපලාවණ්‍ය ශිල්පිනියකට පිළිසකර කරන්නට බැරි තරම් කොණ්ඩයට හානි වී ඇත්නම්, අධිකව හිසකෙස් ගැළවෙනවා නම් හෝ හිසේ සම පිළිබඳව ගැටළුවක් ඇත්නම් අනිවාර්යයෙන් ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවෙන්න කියන කාරණයත් අපි ඔබට අවධාරණය කරනවා.

Related Articles