Home Health & WellnessBeauty Care තෙල් සහිත සම නිසා හිත තාමත් වද වෙනවාද?

තෙල් සහිත සම නිසා හිත තාමත් වද වෙනවාද?

by LADY.LK

ඕනම සමක යම් තෙල්මය ස්වභාවයක් තිබීම සාමාන්‍යයි. එය ඕනෑම සමකට ආවේණිකයි. නැති වුනානම් ඔබට සම වියළි වීම ගැන වද වෙන්නට ඉඩ තිබුණා. නමුත් මේ සම අධික ලෙස තෙල් සහිත වීම Lady.LK අපි මේ කතා කරන මාතෘකාවට අදාළයි. ඕනම කෙනෙකුට දාඩියත් සමගින් මුහුණේ රැ​ඳෙන තෙල් නිසා ඇති වෙන අපහසුතාවය අමුතුවෙන් කියන්න උවමනා නැහැ. එය කුරුලෑ හෝ බ්ලැක්හෙඩ්ස් වැනි මුහුණ විරූපි කරවන තත්ත්වයන්ටත් හේතු වෙනවා. ඒ නිසාම අපි මේ කතා කරන්නේ තෙල් සහිත සමක් ඇති තරුණියකට කරගත හැකි ප්‍රතිකාර කිහිපයක් සම්බන්ධයෙනුයි.

එදිනෙදා

මේ සම්බන්ධයෙන් සිදුකරන ප්‍රතිකාර ගැන කියන්නට පළමුව අපි කතා කරමු මේ තත්ත්වය පාලනය කරන්නට අපගේ එදිනෙදා දිවියෙන් ගත හැකි සරළ ප්‍රතිකාර ක්‍රම කිහිපයක්. මේ කතාව හරිම සරළයි. ඒ තමයි ඔබ සෑම දෛනිකව හොඳින් ජලය පානය කරන්න, එළවළු සහ පළා වර්ග වැඩිපුර ආහාරයට ගන්න සහ සිරුරේ තෙල් බැහැර කරවන ව්‍යායාමවල නියැලෙන්න. මේ දේ හමට වගේම ඔබේ මුළු සිරුරටම ගුණදායකයි.

හැකි සෑම​ මොහොතකම

එදිනෙදා කළ යුතු දේවල් වගේම හැකි සෑම මොහොතකම කළ හැකි දේවල් කිහිපයකුත් තිබෙනවා. ඒ අතරේ නිතර ඔබේ මුහුණ පිරිසුදු කරගැනීමත් ප්‍රධානයි. ඔබ නිතර එළිමහනේ ගැවසෙන තරුණියක නම් ඔබේ මුහුණ දූවිල්ලෙන් සහ දහඩියෙන් ආරක්ෂා කරගැනීමට මෙලෙස නිතර මුහුණ සේදීම හෝ අවම වශයෙන් වෙට් වයිප්ස්වලින් පිස දැමීම යෝග්‍යයි. මේ සරළවම ඔබේ මුහුණට කළ හැකි සරළ දේවල් වුවත්, අපි මින් ඉදිරියට කතා කරන ප්‍රතිකාරකම ඔබේ මුළු සමටම යෝග්‍යයි.

ආයුර්වේද සේදුමක්

මේ ආයුර්වේද සේදුම ඔයාගෙ සමට කදිම සිසිලසක් ගෙනේවි. මේ නිසා සමේ තෙල් සහිත බව අඩු වෙනවා වගේම සම නිරෝගී වීම, ලප කැළැල් මැකී යාම, රැලි වැටීම අවම වීමත් සිදු වෙනවා. ඒ නිසා හමට ආදරේ හැමෝටම මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමය යෝග්‍යයි. වැඩේ හරිම සරළයි. අපි සාමාන්‍යයෙන් දන්න අපට ලේසියෙන් හොයාගන්න පුළුවන් කොහොඹ, නුග, පාවට්ටා ව​ගේ ඖෂධ කිහිපයක් තැම්බූ වතුරෙන් සම සේදීම වගේම, මුහුණට වාෂ්ප ඇල්ලීමත් සමට සුවයක් ගෙනේවි.

බිත්තර සුදු මදය

විටමින් A බහුල නිසා බිත්තර සුදු මදය ඔයාගෙ සමට කදිම ඖෂධයක්. නමුත් ඒ ඖෂධය භාවිතා කරන විදියයි අපි මේ කියන්න යන්නෙ. මුලින්ම ඔයාගෙ මුහුණ හොඳට පිරිසුදු කරගන්න. ඊටපස්සෙ බිත්තර සුදු මදය එක්ක දෙහි හෝ ලෙමන් ස්වල්පයක් මිශ්‍ර කරගෙන ඒ මිශ්‍රණය හොඳින් මුහුණේ ගාගන්න. දැන් විනාඩි විස්සක් විතර ඒ විදියටම තියෙන්නට හරින්න. හමට කදිම සිසිලසක් දැනේවි. විනාඩි විස්සකට විතර පස්සේ වතුරෙන් මේ මිශ්‍රණය සෝදා හරින්න.

රැය පුරා කෝමාරිකා

මුහුණ සහ සම කියන කාරණය ගැන කතා කරද්දි කෝමාරිකා අමතක කරන්න බෑ. ඒ අපිට දකින්නට ලැබෙන බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදනවල කෝමාරිකා අඩංගු නිසායි. මේ කියන්න යන්නෙත් කෝමාරිකාවලින් කරන්න පුළුවන් වැඩක්. රෑ නින්දට පෙර කපාගත්තු පොඩි කෝමාරිකා කැබැල්ලක් මුහුණේ හොඳින් අතුල්ලා නිදාගන්න. පසුදා උදෑසනම සෝදා හරින්න. කෝමාරිකා පහසුවෙන්ම නිවසේ වාවගන්නටත් හැකි, අඩු ඉඩක පෝච්චියක වැවෙන ශාඛයක් නිසා වැඩි කරදරයකුත් නැහැ. නින්දට පෙර ආලේප කරලා නිදාගන්න නිසා වැඩි මහන්සියකුත් නැහැ.

ලෙමන් අයිස්

නම දැක්කම බීමක් කියලා හිතුනට මේක බීමක් නෙමෙයි. මේ වෙනුවෙන් වෙනම අයිස් ට්‍රේ එකක් භාවිතා කරනවානම් හොඳයි. කරන්න තියෙන්නෙ ලෙමන් ශ්‍රාවය අරගෙන ඒක අයිස් ට්‍රේ එකකට දාලා ලෙමන් අයිස් තැට හදාගන්න එක. ඊටපස්සෙ මද රස්නේ වතුරෙන් හෝදලා පිරිසුදු කරගත්තු ඔයාගෙ මුහුණට මේ ලෙමන් අයිස් කැටයක් අරගෙන හෙමින් හෙමින් අතුල්ලන්න. රවුමට රවුමට මුළු මුහුණම ආවරණය වෙන විදියට අයිස් කැටය දියවෙන තුරුම අතුල්ලන්න. මේ විදියට කරාම සම මත තියෙන සිදුරු විවෘත වෙලා ඒවා ලෙමන් සාරයෙන් පිරිසුදු වෙනවා.

Related Articles