Home Health & Wellness Period pains අඩු කරගන්න tips කිහිපයක්.

Period pains අඩු කරගන්න tips කිහිපයක්.

by ladylk

මාසික ඔසප්වීම කියන සාමන්‍ය සිදුවීම බොහෝ කාන්තාවන්ට එතරම් සහනදායි කාල වකවානුවක් විදියට නම් සළකන්න අපහසුයි. විවිධාකාර ශාරීරික සහ මානසික අපහසුකම් මතුකරවන මේ දින කිහිපය සමහරවිට ඔබගේ සාමාන්‍ය ජීවන රටාව පවා අවුල් කරවන්නට සමත් වෙනවා. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්නේ මාසික ඔසප් දිනවලදී ඔබට ඇතිවෙන ඒ අපහසුතා මඟහරවා ගන්නා ක්‍රම කිහිපයක් ගැනයි.

දැරියක් වැඩිවියට පැමිණීමෙන් පසුව මාස්පතා ඇයගේ ඩිම්බ කෝෂවලින් සජීවී ඩිම්බයක් පිටකරනවා. ඉතින් දරුවෙක් පිළිසිඳ ගැනීමට සූදානම් වී බලා සිටින ගර්භාෂයට, ඒ සඳහා අත්‍යවශ්‍ය වන ශුක්‍රානුවක් නොලැබුනාම ඩිම්බ කෝෂවලින් පිටවූ ඩිම්බය ශරීරයෙන් ඉවත් වෙන්නේ ගර්භාෂ බිත්තියත් බිඳ දමමිනුයි. මේ ස්වභාවික සිදුවීම මාසික ඔසප් වීම විදියට හඳුන්වනවා. සෑම කාන්තාවකටම මේ දිනවලදි අපහසුතා හටගන්නේ නැති වුණත්, බොහෝ දෙනෙක්ට යටිබඩ කැක්කුම, වමනය, බඩ සහ කොන්ද  කැක්කුම, diarrhea, කළවා සහ කකුල් කැක්කුම ඇතුළු නොයෙකුත් ශාරීරික අපහසුතා වගේම මානසික පීඩනයත් දැඩිව දැනෙන්නට පටන් ගන්නවා. ඉතින් මේ වගේ වේදනාකාරී අවස්ථාවකදි ඔබට අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග කිහිපයක් පහත සඳහන් වෙනවා.

සම්බාහනය සහ උණුසුම ලබා දීම.

යටිබඩ, කොන්ද, කකුල් සහ ශරීරයේ වේදනාව ඇති ඕනෑම ස්ථානයක් මෘදුව massage කිරීමෙන් මේ වේදනාව මඳක් සමනය කරගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ඊට සුදුසු balm වර්ගයක් යොදාගෙන මේ දේ සිදුකරනවා නම් එය වඩා ප්‍රතිපලදායක වෙනවා. ඊට අමතරව, වේදනාව ඇති ස්ථානවලට උණුසුම ලබා දීමත් සුදුසු ප්‍රතිකර්මයක් විදියට හඳුන්වන්න පුළුවන්. Heating pad තබාගැනීම හෝ උණු වතුර බෝතල් වලින් තැවීම, උණුසුම් ජලය ස්නානය කිරීම, එහෙමත් නැත්නම් උණුසුම් ජලයෙන් පෙඟවූ towel එකක් වේදනාව සහිත ස්ථානවලින් තැබීමත් සහනදායි ප්‍රතිකර්මයක් වෙනවා.

ජලය පානය කිරීම සහ පෝශ්‍යදායි ආහාර ලබාගැනීම.

මේ දිනවලදි වෙනදාට වඩා උණුසුම් ජලය පානය කිරීම වඩා සුදුසු බව කියවෙනවා. ඒ වගේම ජලය වැඩිපුර අඩංගු සලාද කොළ, පිපිඤ්ඤා සහ කොමඩු වගේ පළතුරු ආහාරයට ගැනීමත් ඵලදායක වෙනවා. ඊට අමතරව, සිරුරෙන් අධිකව රුධිරය පිටවන මේ දිනවලදී වෙනදාටත් වඩා පෝෂණය අවශ්‍ය වෙන නිසා කැල්සියම්, යකඩ සහ විටමින් වැනි පෝෂක කොටස් බහුල ආහාර ගැනීමටත් අවධානය යොමු කළයුතු වෙනවා.

ආහාරමය අතිරේක

ඔමේගා-3 මේද අම්ල සහ මැග්නීසියම් අඩංගු ස්වාභාවික ආහාරමය අතිරේක මගින් ඔසප් වේදනාව අඩු කළ හැකි බවට කරුණු සොයාගෙන ඇති නිසා ඔබට හැකියාවක් ඇත්නම් ඒ දේවල් ලබාගැනීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා.

ඔසු පැන් පානය.

ජලය වැඩිපුර පානය කිරීමට අමතරව මේ දිනවලදී, ඉඟුරු, කොත්තමල්ලි, පොල්පලා සහ කුරුඳු වැනි ඖෂධ අඩංගු පාන වර්ග ලබා ගැනීමත් ඉතාමත් සුදුසු බව කියන්න පුළුවන්. කොත්තමල්ලි මිටක් පමණ තලා වතුර වීදුරුවකට දමා රැයක් වසා තබා උදෑසනට පානය කිරීම, ඔසප් වීම ආරම්භ වීමට දින දෙකකට පමණ පෙර කොත්තමල්ලි තම්බා පානය කිරීම, කුරුඳු තේ සකස් කර පානය කිරීම, ඉඟුරු ඉස්ම ස්වල්පයක් ජලය සමඟ පානය කිරීම වගේ ප්‍රතිකර්ම මගින් ඔබට යම් සහනයක් ලබාගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම මාසික ඔසප්වීම ඔබට ඉතාමත් වේදනාකාරී නම්, එය ආරම්භ වීමට පෙර දින කිහිපය තුල අධික ලෙස සීනි, තෙල්, ලුණු, caffeine සහ මධ්‍යසාර අඩංගු ආහාර පාන ගැනීමෙන් වැලකී සිටීමටත් වග බලා ගන්න සිදුවෙනවා.

මනස සැහැල්ලු කරන ක්‍රියාකාරකම්වල යෙදීම.

ඔසප් වීමට දින කිහිපයකට පෙර සිට හටගන්නා මානසික අසහනකාරී බව මඟහරවා ගැනීම සඳහා, නිරන්තරයෙන් සිත සන්සුන් කරවන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදීමට උත්සහ කරන්න. සංගීතයට සවන් දීම, විනෝදජනක පොතක් කියවීම හෝ චිත්‍රපටයක් නැරඹිම හෝ හැකිනම් මේ දින කිහිපය තුළ යම් විවේකයක් ලබාගැනීමට උත්සහ කරන්න. එහෙමත් නැත්නම්, වැඩ කිරීමෙන් ඔබගේ හිත සන්සුන් වෙනවා නම් එමඟින් හෝ මානසික සහනයක් ලබාගැනීමට උත්සහ කරන්න.

සැහැල්ලු ඇඳුම් සහ පිරිසිදුකම අත්‍යවශ්‍යයි.

සිරුර නිතර පිරිසිදු කරගෙන, සැහැල්ලු සහ පිරිසිදු ඇඳුම්/ යට ඇඳුම්/ සනීපාරක්ෂක තුවා  ඇඳීම ගැන වැඩි අවධානයක් යොමු කිරීමට අනිවාර්යයෙන් වගබලා ගන්න. මෙය කයට වගේම මනසටත් සහනදායි බවක් ඇති කරවන්නට සමත්වෙනවා.

සරල ව්‍යායාම

උදෑසන ළා හිරු එළියේ ඇවිදීම මඟින් ඔබේ සිරුරට ලැබෙන vitamin D, ඔසප් වේදනාව සමනය කරන්නට මහඟු ඔසුවක් විදියට හඳුනාගෙන තියෙනවා. සරල ව්‍යායාමයක හෝ යෙදීම ඔබට අපහසු නම් අවම වශයෙන් ඇවිදීම හෝ සිදුකිරීම ඉතා ඵලදායි ප්‍රතිකර්මයක් විදියට සළකන්න පුළුවන්කම තියෙනවා.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම.

කෙසේ වෙතත්, සාමාන්‍යෙන් දින 2-3ක් පවතින මේ ස්වභාවික අපහසුතා ඔබගේ එදිනෙදා ජීවිතය අවුල් ජාලාවක් කරවන්නට සමත් වනවා නම් ඔබ අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතු වෙනවා. දින තුනකට වඩා කාලයක් අධික වශයෙන් රුධිරය පිටවනවා නම්, එම රුධිරය පිටවන්නේ කැටිති ආකාරයට නම්, ඒවා අසාමාන්‍ය දුඟදකින් යුතු නම්, බඩ/ කොන්ද/ කළවා ආශ්‍රිත ප්‍රදේශවල වේදනාව දරුණු නම් මෙය ප‍්‍රතිකාර ලැබිය යුතු අවස්ථාවක් විදියට සළකන්නට සිදුවෙනවා. ඊට අමතරව අධික තෙහෙට්ටුව සහ ක්ලාන්තය සාමාන්‍ය තත්ත්වයක් විදියට සළකලා බැහැර කරන්නට අපහසු බවත් අපි මතක් කරනවා.

Related Articles