Home LifestyleFashion ෂොපින් කරන්න යද්දි අපිට සිද්ධ වෙන ඇබැද්දි

ෂොපින් කරන්න යද්දි අපිට සිද්ධ වෙන ඇබැද්දි

by LADY.LK

කාන්තාවො විදියට අපි කැමතිම දෙයක් තමයි ෂොපින් කරන එක. කඩෙන් කඩේට ආසා දේවල් වගේම, බළාපොරොත්තු නොවෙන දේවල් දකිමින්, අනාගතයට හීන මවමින්, අතීතය ගැන හොරෙන් හිතමින්, සොයා බලමින් කරන ගනුදෙනුවක් විදියට බොහෝ අයට ෂොපින් කරන එක හඳුන්වන්න පුළුවන්. මේ ලොවේ කොයි දේටත් බාධක තියෙනවා ව​ගේම ෂොපින් කිරීමටත් බාධක තියෙනවා. මේ වෙද්දි ෂොපින් කරපු ඕනම කාන්තාවක් මේ කතාවට එකඟ වේවි. මේ කියන බාධක සම්පූර්ණයෙන්ම මැඩලපු කාන්තාවක් නැති තරම්. අන්න ඒ නිසාම අපි ෂොපින් කරන්න යන කාන්තාවන්ට ඇති වෙන්නට පුළුවන් බාධක මොනවාද කියන එක ගැන කතා කරන්න තීරණය කරා. සමහරවිට ඔයාට මේ කියන සමහර සිද්ධි මතක් වෙලා හිනා යාවි, කේන්ති යාවි, වගේම දුකත් හිතේවි. නමුත් අපි හැමෝම මේ සටහනට එකඟ වේවි.

ඇති ඇති ඇති

මේ කතාව නං ගොඩක් වෙලාවට අහන්න වෙන්නෙ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන්. මේ දේ මේ විදියටම සිද්ධ වෙන්න අපේ අතිනුත් සිද්ධ වෙන පොඩි වැරැද්දක් බලපානවා. ඒ තමයි ඒ අය අකමැති තැනකට ඒ අයව බලෙන් එක්කගෙන යන එක. එහෙම වුණාම ඒ අයට යන්න හිතෙන එක සාධාරණයි. ඒ වෙනුවට එයාලට එයාලා කැමති වැඩක් කරගන්න ඉඩ හදාගෙන, අපිට අපේ පාඩුවේ ෂොපින් කරන්න ලැබෙනවා නම් මේ හිසරදය නම් ඔළුවෙන් අයින් කරගන්න පුළුවන්. කොහොම වුණත් මේ කතාව ලංකාවෙ අපි ගොඩක් දෙනෙකුට පොදු දෙයක්. ඒ වගේම සමහර පෙම්වතුන් වගේම සැමයින් තමන් ලඟ නොහිටියත් කෝල් දීලත් ඇති කියන අවස්ථා තියෙන නිසා ලඟ නොහිටියාමයි කියලා ප්‍රශ්නය නැති වෙන්නෙ නෑ.

අප්පච්චි බනියි

මේකත් ගොඩක් ගෑනු ළමයින්ට තියෙන ප්‍රශ්නයක්. ඒ තමයි මේ ඇඳුමට තමුන්ගේ අම්මා තාත්තා මොනවා කියයිද කියන එක. ඇත්තටම ඇඳුමක් ගනිද්දි ඒ ඇඳුමේ ආසා පාට, ආසා විදිය, අපේ සිරුරට ගැලපීම, බහුලව නැති විලාසිතාවක් වීම, අතේ තියෙන ගානට මිලදීගත හැකි වීම කියන සියළු කාරණා සපුරාගන්න පුළුවන් වෙන්නෙ බොහොම කලාතුරකින්. එහෙම කලාතුරකින් සපුරාගත්තු අවස්ථාවත් අම්මා තාත්තාගේ නොකැමැත්ත නිසා අත් ඇරලා දාපු ගෑනු ළමයි බොහෝ දෙනෙක් මේ සටහන කියවනවා ඇති. ඒ වගේම සමහරුන්ට මේ ප්‍රශ්නය දරුණු විදියට ඇති කරවන්න නෑදෑයනුත් බලපානවා. උදාහරණයකට අම්මාට තාත්තාට කේලාම් කියලා මේ වගේ දේකට බනින්න පොළඹවන්නත් සමහර නෑදෑයින් උත්සුක වෙනවා.

හිතේ මිම්ම කෝ?

මේක නම් නිශ්චිතව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. සමහර දවස්වලට හිතේ තියෙන මූඩ් එකට එක්ක මුහුණ දෙන්න වෙන අමුතු තත්ත්වයක්. ඒ තමයි හිතේ මිම්ම. හරි තීරණයක් ගන්න බෑ. සපත්තු දෙකක් දැක්ක ගමං අතට ගත්තට, කකුලට දාද්දි තේරෙනවා මේක කකුලේ ලඟින්වත් තියන්න බෑ කියලා. සමහර දවස්වලට පාවිච්චි කරන කරන පර්ෆියුම් එකෙන් ඔයා ආසම සුවඳ එනවා වගේ දැනෙනවා. සමහර දවස්වලට ඩබල් එක්සෙල්, ලාජ්, මීඩියම් හැම ඇඳුමක්ම එකම සයිස් වගේ පේනවා. මෙන්න මෙහෙම හිතේ මිම්ම අපිට විහිළු කරන අවස්ථා එමටයි.

මගේ ගර්ල් ඔයා වගේමයි?

මේක බොහෝමයක් තරුණයන් තරුණියන්ට කතා කරන්න යොදාගන්න උප්පරවැට්ටියක් වුණත් මෙහෙම දේකින් මගහරින්න අපහසුයි. මොකද මේක ඇත්තනම් ඒ තරුණයා පවු කියලා හිතෙනවා වගේම, සමහරවිට ඔයාට පොඩි දෝෂාරෝපණයක් එන්නත් පුළුවන්. ඒ තමයි එයාගේ පෙම්වතියගේ හැඩහුරුකම් නිසා පෙම්වතියට තෑග්ගට ගන්න ඇඳුමක ප්‍රමාණය ගැන මිම්මක් අපෙන් ලබාගන්නට කරන උත්සාහය. මේ වගේ දෙකදි ඉතිං පොඩි බොරුවක් කියලා මගහැරලා යන එක බොහෝ වෙලාවට ඇඟට ගුණයි.

මොනවද බැලුවෙ මිස්?

ෂොපින් කරද්දි තවත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇසිස්ටන්ට්ස්ලා. සමහර වෙලඳසැල්වල නම් ඇසිස්ටන්ට්ස්ලා එපා නම් අතට ගන්න බෑගයක් සහ අවශ්‍යනම් අතට ගන්න බෑගයක් ලෙසින් වෙනස් ක්‍රම හඳුන්වා දී තිබෙනවා. නමුත් බොහෝමයක් වෙළඳසැල්වලට ගොඩ වුණු වහාම අපි හිතේ නිදහසෙන් වටපිට බලන්නත් කලින් මොනවද මිස් බැලුවේ? කියල අහන්න කෙනෙක් ලඟට එනවාමයි.

මතක නෑ

මේකත් අර උඩින් කියපු හිතේ මිම්ම නැති වෙනවා වගේ වැඩක්. ඒ තමයි ඔක්කොම අමතක වෙන එක. ආසා විදියෙ ඇඳමක් ගත්තම ටිකකින් මතක් වෙනවා මට මෙහෙම ඇඳුමක් තිබුනද මන්දා කියලා. තව ටිකකින් හිතෙනවා කලින් මෙහෙම ඇඳුමක් අරගෙන මට මැච් වුණේ නැද්ද මන්දා කියලා. අන්න එහෙම මතකයට ප්‍රශ්නකාරී වෙන අවස්ථා එන්න ඉඩ තියෙනවා.

අතේ සල්ලි ගාන 

අතේ තියෙන සල්ලි ගානත් මෙහෙම වැඩකදි ලොකු අර්බුදයක් ඇති කරවන්න හේතුවක්. සමහරවිට අවශ්‍ය කරන දේවල් එක්ක ගෙදරින්ම අපි ගනං හිතාගෙන තමයි එන්නෙ. ඒ වෙලාවට අර කියන හැම දේම අතේ තියෙන ගානෙන් හරියටම අරගෙන ගෙදර යන්න පුළුවන් වුණු අවස්ථා මේ ජීවිත කාලෙටම ඇත්තෙ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. අන්න ඒ නිසා සල්ලි මැනේජ් කර කර, දකින දකින දේවල් අස්සෙ හිත යන එක වළක්වාගෙන ෂොපින් කරන එකත් ලොකු අර්බුදයක්.

ආ නංගි ගංවතුරද? මොකද රස්නෙද?

මේකත් අර තරුණයොන්ගෙන් එන බාධකයක්. කලින් කියපු අය නං එන්නෙ පොඩ්ඩක් විතර චාටුවෙන් අපි එක්ක කතා කරන්න වුණත් මේ කියන අය නම් එන්නෙ ටිකක් විතර හිත රිදවන්නත් බලාගෙන. බොහෝ වෙලාවට කණ්ඩායම් විදියට එන තරුණයෝ මේ විදියට කාන්තාවන් අපහසුතාවයට පත් වෙන විදියෙ විහිළු තහළු ඇඳුම් පැළඳුම් අනුව කරන එක ගොඩක් තරුණියන්ගේ හිත රිදෙන දෙයක්.

ෆිටෝන් රූම්ස්

තරුණයන්ට නම් කැමති ඇඳුමක් ඒ වෙලෙම ගලවලා ඇඳලා බලන්න පුළුවන්. ඒත් තරුණියන්ට ෆිටෝන් රූම්ස් හොයන්න ඕන, ඒවයෙ පෝලිමේ ඉන්න ඕන, ෆිටෝන් රූම් එකේ පෝලිමේ ඉද්දි ඉස්සරහ එක්කෙනා අතේ ආසම විදියේ ඇඳුමක් දැක්කම හිත පත්වෙන අසීරුව වෙනම කතාවක්.

සිතුවිලි සිරවී… 

මීට වඩා හොඳ එකක් අතන ඇතිද? අදට වඩා කැමති එකක් හෙට එයිද? වගේ දේවල් හිතෙන එක සිතුවිලිවලට යන එන මං නැති වෙන වැඩක්. අතට ගත්තු දේ ගෙදර ගෙනියන්න නොහිතෙන්නෙ මෙහෙම දේවල් නිසා. අන්න ඒ නිසාමයි අපේ සිතුවිලි ලොක් වෙලා යන මේ හැඟීම් අපි පාලනය කරගන්න​ට උවමනා වෙන්නෙ.

අම්මෝ මේකෙ ගාන 

මේක නං ඔක්කොම අයට සිද්ධ වෙලා ඇති. මට එහා පැත්තෙ කෙනා පර්ෆියුම් එකක් ටෙස්ට් කරා. ඔන්න හිත කැමතිම විදියෙ සුවඳ තියෙන්නෙ ඒකෙ. ආයෙ දෙපාරක් හිතන්නෑ රටක් රාජ්ජයක් හම්බුණා වගෙයි කාලයක් තිස්සෙ හොයපු සුවඳ හම්බුනාම. ඉතිං ඔන්න මේක අරගන්නව. අරගෙන ගිහින් නිකං යන ගමං පෙට්ටියෙන් ගාන බැලුවම කෑගැස්සෙනවා. ඇයි දෙයියනේ ඒ බොක්ස් එකේ ලියලා තියෙන්නෙ මගේ මාසෙ සැලරි එක!

Related Articles