Home Health & WellnessMental Wellness & Psychology නිදි ඇඳටත් ෆෝන් එක ගෙනියන එකේ අවුල් මේවා තමයි

නිදි ඇඳටත් ෆෝන් එක ගෙනියන එකේ අවුල් මේවා තමයි

by LADY.LK

මේ සටහන දැකලා Lady.LK අපෙන්, නිදි ඇඳට කවුද ෆෝන් එක ගෙනියන්නෙ? කියලා අහන අයට වඩා නිදි ඇඳට කවුද ෆෝන් එක නොගෙනියන්නෙ? කියලා අහන අය වැඩි විත්තිය අපි හොඳාකාරවම දන්නවා. ගොඩක් වෙලාවට දැන් ස්මාට්ෆෝන් එක අපේ රස්සාවටත් බද්ධ වෙලා. ඒ නිසා ස්මාට්ෆෝන් එකෙන් අපි රැකියාවට අදාළ දෙයක් නොකරන්නෙ රෑට විතරයි. ඒ නිසා සින්දුවක් අහන්න, වීඩියෝවක් බලන්න, ගේම් එකක් ගහන්න, ආදරය කරන කෙනාට කෝල් කරන්න වගේම, යාළුවො එක්ක චැට් කරන්නත් අපි ෆෝන් එක අරගෙන යන්නෙ ඇඳට. නින්ද යනකං ෆෝන් එකට එබිලා ඉඳලා නිදිමත වෙද්දි ෆෝන් එක ඇඳේ පැත්තකින් තියාගෙන නිදාගන්න අපි පුරුදු වෙලා. ඒ වුණත් මේ වැඩේ හොඳ නම් නෑ. අපිට හැමදාම අහන්න ලැබෙන්නෙ ඒ ගැන කතන්දර. Lady.LK අපි මේ කියන්න යන්නෙ ඒ ගැන විස්තර. 

නින්දට කෝ ඉඩක්?

මුල්ම දේ අපේ නින්දට සිද්ධ වෙන බාධාව. හිතන්න අපි සාමාන්‍යයෙන් නිදියන්නෙ රෑ 10.30ට කියල. එහෙම නිදියනවා නම් අපි රෑ 10ට ඇඳට යනවා. නමුත් අපි ඇඳට අරගෙන යන අපේ ස්මාට්ෆෝනයේ තියෙන්නෙ පැය බාගෙන් ඉවර වෙන දේවල් නෙමෙයි. ඒවයේ ඇල්ගොරිදම් හැදිලා තියෙන්නෙ අපිව ඇබ්බැහි කරගන්නා සුළු විදියට. ඉතින් අපිට ලේසියෙන් නිදාගන්න වෙන්නෙ නෑ. සෝෂල් මීඩියා වගේම, නොයෙකුත් දේවල් අපිට කීයටවත් පැය බාගෙන් නින්දට යන්න ඉඩක් දෙන්නෙ නෑ. අන්න ඒ නිසා නිසි වෙලාවට නිදාගන්න බාධාවක් වෙන ස්මාට්ෆෝනය ඇඳට නොගෙනයාම වැදගත් කාරණයක්.

තවදුරටත්

නින්දට තවත් බාධාවක් වෙන එකම දේ ස්මාට්ෆෝනයේ අන්තර්ගත දේවල් විතරක්ම නෙමෙයි. ස්මාට්ෆෝනයෙන් නිකුත් වෙන නිල් එළිය නොහොත් දන්න භාෂාවෙන් කිවුවම Blue Light එකත් අපේ නින්දට විශාල බාධාවක් කරනවා. ඒ මෙහෙමයි. අපේ ඇඟට උවමනා කරන විවේක සුවය ගෙනෙන්නේ මෙලටෝනින් කියන හෝමෝනය. මේ හෝමෝනයට ඍජුව බාධා කරන දෙයක් තමයි මේ නිල් එළිය. ඉතිං මේ නිල් එළිය නිසා අපේ ඇඟට අවශ්‍ය විවේක සුවයට බාධා ඇවිත් එතනින් අපේ නින්දට බාධා කරනවා. ඉතිං ස්මාට්ෆෝනයෙන් නින්දට සිද්ධ වෙන ප්‍රධානම බාධක දෙක තමයි ඔය.

පිළිකා අවදානම

මේ කතාව තමයි මෙතනින් අපිට අහලා පුරුදුම කතාව. සාමාන්‍යයෙන් ඉස්සර අපිට පිළිකාව කියන දේ තරමක් දුර ප්‍රවෘත්තියක් වුණාට දැන් වෙද්දි කෑම බීමවල තියෙන දේවල් වගේම, ජීවිතය පහසු කරන්න නිපදවුණු තාක්ෂණයේ ආනුභාවයෙන් අපිට පිළිකා කියන්නෙ එදිනෙදා ඇහෙන මාතෘකාවක් බවට පත් වෙලා. පිළිකා අවදානම මඩින්න අපේ ඇඟේ නිපදවෙන ප්‍රධානතම රසායණිකයක් වෙන්නෙ අපි මින් පෙර සඳහන් කරපු මෙලටෝනින් කියන හෝමෝනය. ඉතිං ස්මාට්ෆෝනයෙන් ඒ වෙත එල්ල වෙන බාධාව නිසා අපිව නොදැනීම පිළිකා අවදානමකට විවෘත වෙනවා.

ඇහැට හොඳ නෑ

ඇහැ ගැන ඉගෙනගනිද්දි අපි හැමෝම වගේ පාසලේදි ඉගෙනගත්තු දෘෂ්ඨි විතානයටත් මේ නිල් එළිය බාධාවක් වෙන්න පුලුවන්. දෘෂ්ඨි වාතනයෙන් තමයි අපි දෙයක් හරියටම ෆෝකස් කරගන්නෙ. අපේ පෙනීමේ මූලිකම දේ වෙන්නෙත් ඒක. ඉතිං මේ විදියට දෘෂ්ඨි විතානයට හානි වුණාට පස්සෙ අපිට පෙනෙන රූපවල බොඳවීම් වගේම ෆෝක්ස් කරගන්නට නොහැකිව ඇසේ වේදානවක් ඇති වෙන්නටත් පුළුවන්.

නින්ද අහිමි වීමෙන්

අපි මුලින් සඳහන් කරපු නින්ද අහිමි වීම නිසා අපිට විශාල හානියක් සිද්ධ වෙනවා. මේ හානිය විශේෂයෙන්ම සිද්ධ වෙන්නෙ මොළයට. නින්ද අහිමි වීමත් එක්ක අපේ මුළු සිරුරේම ක්‍රියාවලිය අඩපණ වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි. දවසක් දෙකක් නිදි වැරුවාම අපිට එන අපහසුව එන්නෙ අන්න ඒ නිසායි. ඉතිං මේ ස්මාට්ෆෝන් ඇබ්බැහියත් එක්ක නින්ද අහිමි වීමෙන් අපිට විෂාදය තත්ත්වයන්, හිසරදය, මිග්‍රේන් තත්ත්ව, ඇඟට මහන්සිය, මතකය ගිලිහීම, රිෆ්ලෙක්ෂන්ස් අඩු වීම වගේ අමුතු අමුතු අවුල් සිද්ධ සිදු වෙනවා.

ආයෙත් මෙලටෝනින්

ඔවු මෙලටෝනින් කියන්නෙ පිළිකා මර්ධක හෝමෝනයක් විතරක්ම නෙමෙයි. සිරුර විවේක ගන්වන හෝමෝනයක් විතරකුත් නෙමෙයි. මෙලටෝනින් නිසා කැලරි දහනයත් වේගවත් වෙනවා. ඉතිං මෙලටෝනින් අඩු වීමෙන් කැලරි දහනය අඩපණ වෙලා අපිව තරබාරු වීමත් සිද්ධ වෙන්න පුළුවන්. ඉතිං දැන් තේරෙනවනෙ මේ දේ භයානක කම. 

දැන් අපි මේ ටික කිවුවම කට්ටිය අපෙන් අහන දේවල්වලටයි මේ උත්තර… 

එතකොට අපි නින්ද යනකං මොකද කරන්නෙ? පොතක් කියවන්න.

එළියක්. ලෑම්ප්ෂේඩ් එකක් පාවිච්චි කරන්න.

එලාම් එකක් ඕනනෙ උදේට ඇහැරෙන්න. එලාම් ඔරලෝසුවක් ගන්න.

ඔෆිස් එකේ හදිස්සි වැඩක් ආවොත්? දවසේ වැඩ ඉවර කරන වෙලාවක් තියාගන්න.

කාටහරි හදිස්සියක් නං? ඔයාගෙ නින්දට ඒක බාධාවක් කරගන්න එපා.

එයාට කෝල් කරන්නෙ කීයටද? ඇඳට එන්න කලින් වෙලාවක් ඒ වෙනුවෙන් වෙන් කරන්න.

Related Articles