Home Health & WellnessMental Wellness & Psychology යාලුවෝ එක්ක සාකච්ඡා කරන්න හොඳ නැති දේවල්

යාලුවෝ එක්ක සාකච්ඡා කරන්න හොඳ නැති දේවල්

by ladylk

මොන වයස් මට්ටමක හිටියත් අපි බහුතරයක් දෙනා කැමතියි යාලුවොන්ව ආශ්‍රය කරන්න. මිත්‍ර සමාගම් ගැන වැඩි විශ්වාසයක් නැති අයත්, ඒ වගේම යාලු මිත්‍රයෝ පිරිවරාගෙන ජීවත්වෙන්න ප්‍රිය කරන අයත් අපි අතරේ ඉන්නවා. ඔබ මෙයින් කොයි කාණ්ඩයට අයිති වුණත් එය හරිම සාමාන්‍ය තත්ත්වයක් විදියට සළකන්න පුළුවන්. හැබැයි, කොහොම වුණත් ඔබ ඇසුරු කරන අයත් එක්ක කතා බහ කරන්න සුදුසු සහ නුසුදුසු දේවල් ගැන හොඳ අවබෝධයකින් යුතුව මේ හිතවත්කම් තියාගත්තොත් ගැටළු අවම කරගෙන ජීවත්වෙන්න හැකියාව ලැබෙනවා. ඉතින් අපි මේ ලිපියෙන් කතා කරන්නේ අපි වටා ඉන්න අයත් එක්ක සාකච්ඡා කරන්න සුදුසු නැත්තේ මොනවාද කියන කාරණය සම්බන්ධවයි.

Sex

මෙය අතිශය පෞද්ගලික කාරණයක් සහ හිතවත් ම මිතුරියන් සමඟ හෝ සාකච්ඡා කරන්නට සුදුසු නැති කරුණක් නිසා මුලින්ම මේ ගැන කතා කරන එක හොඳයි කියලා අපි හිතුවා. ඔබට හෝ ඔබේ සහකරුවාට sex සම්බන්ධව යම් ගැටළුවක් පවතිනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීම හැර, හිතවතුන් සමඟ මේ ගැන සාකච්ඡා කිරීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. අපි අන් අය සමඟ කතා බහ කරන පෞද්ගලික කාරණා තවත් අයගේත් සාකච්ඡාවලට මාතෘකා වන්නට ඉඩ ඇති නිසා, පසුකාලීනව ඔබව අපහසුතාවයට පත්වන්නට ඔබ ම හෙළි කරන මේ තොරතුරු හේතුවක් වන්නට ඉඩ තියෙනවා. ඒ වගේම මේ හරහා තමන්ගේ සහ සහකරුවාගේ ආත්ම ගෞරවයට හානි වෙනවා වගේම ඔබට පිටස්තර පාර්ශව වලින් බලපෑම් එල්ල වෙන්නටත් මෙය හේතුවක් වන්නට ඉඩ තියෙනවා.

සල්ලි

තමන්ගේ ආර්ථික තත්ත්වය ගැන ප්‍රශ්න කරනවාට බොහෝ දෙනෙක් ප්‍රිය කරන්නේ නැහැ. ඒ වගේම ඔබේ තමන්ගේ ආර්ථික තත්ත්වය, අඟහිඟකම් ගැන පිටස්තර පාර්ශව සමඟ සාකච්ඡා කිරීමත් එතරම් සුදුසු නැත්තේ ඒ තොරතුරු කටින් කට ගිහින් පසුකාලීනව ඔබ ම අපහසුතාවයට පත්වෙන්නට ඉඩ ඇති නිසයි. ඒ විතරක් නෙවෙයි, තමන් සතු වත්කම් සහ නිවසේ ඇති වටිනා කියන දේවල්  ගැන අන් අයට දැනෙන්නට ඉඩ හරින එක ඔබේ ආරක්ෂාවටත් එතරම් සුදුසු වන්නේ නැහැ.

ආගම සහ දේශපාලනය

ආගමික විශ්වාසයන් සහ දේශපාලන නැඹුරුකම් ගැන එකිනෙකාට තියෙන්නේ වෙනස් අදහස් නිසා හැකිතාක් මෙවැනි මාතෘකා ගැන දුර දිග යන ආකාරයේ සාකච්ඡා පවත්වා නොගන්න එක තමයි වඩාත්ම සුදුසු වන්නේ. ඔබට කොයි තරම් හිතවත් යාළුවෙක් වුණත්, මෙවැනි කරුණුවලදී ඔවුන්ටම පෞද්ගලික වුණු මතවාදයන් තියෙන නිසා යාලුකම් පවා නැතිවෙන්නට මෙවැනි සාකච්ඡා මූලික වෙන්නට ඉඩ තියෙනවා.

අනුන්ගේ විස්තර

බාහිර පාර්ශව ගැන තමන්ට අදාළ නොවන කරුණු මිතුරියන් සමඟ සාකච්ඡා කිරිම ඍජුවම අයිති වන්නේ gossips වලට කියලා ඔබ දැනගත යුතු වෙනවා. විශේෂයෙන් ම අනෙක් අයව විනිශ්චය කිරීම, ඔවුන්ගේ වැරදි සෙවීම හෝ තමන් ඔවුන් ගැන දන්නා කරුණු වෙනත් අය සමඟ කීම කිසිම විදියකට ප්‍රියජනක කටයුත්තක් නම් වන්නේ නැහැ. ඒ තොරතුරු සහ ඔබ නොකිව් දේවල් පවා කටින් කට යෑමෙන්, ඒ අදාළ පුද්ගලයා පමණක් නොව ඔබත් අපහසුතා වලට ලක් වෙන්නට ඉඩ තියෙනවා.

රැකියා ස්ථානයේ තොරතුරු

තමන්ගේ සේවය වෙනුවෙන් වැටුපක් ලබාදෙන රැකියා ස්ථානයේ තොරතුරු පිටස්තරයින්ට ලබා දීම එක්තරා විදියක අප්‍රසන්න කටයුත්තක් බවත්, එය ඔබේ රැකියාවට පවා අහිතකර විදියට බලපාන්න පුළුවන් බව අමතක කරන්න එපා. ඒ වගේම රැකියා ස්ථානයේ හිතවතුන් සමඟ පවා අනිත් සේවකයින් සහ ප්‍රධානීන්ගේ පෞද්ගලික තොරතුරු ගැන සාකච්ඡා කිරීම ආචාර ධර්ම වලට පටහැනි සහ ඔබව අනවශ්‍ය කරදරවලට පටලවන ආකාරයේ ක්‍රියාවක් බව ඔබ විසින් දැනගත යුතු වෙනවා.

පෙනුම

වසර ගාණක හිතවත්කමක් පවා බිඳිලා යන්න මේ වගේ කාරණා හේතු වෙන්න පුළුවන් බව ඔබ දැන ගත යුතුම කාරණයක් වෙනවා. කෙනෙක්ගේ ශරීරයේ පැහැය, හැඩය සහ බර වගේ දේවල් ඒ කෙනාට අතිශය සංවේදී කාරණා නිසා කිසිම කෙනෙක්ගේ ශරීර ස්වභාවයක් ඔබගේ සාකච්ඡාවලට මාතෘකා වෙන්න හොඳ නැහැ කියන කරුණ සිහි තබා ගත යුතු වෙනවා.

ලෙඩ රෝග

උපකාර කිරීමේ අවංක හැඟීමක් තමන්ගේ හිතේ නැත්නම් අන් අයගේ ලෙඩ රෝග සම්බන්ධව විමසීම එතරම් යහපත් පුරුද්දක් නම් නෙවෙයි. ඇතැම් පුද්ගලයින් තමන්ගේ හෝ පවුලේ සාමාජිකයින්ගේ රෝගී තත්ත්වයන් ගැන විමසීම සම්බන්ධයෙන් ප්‍රිය නොකරන නිසා ඔවුන් කැමැත්තෙන්ම කීවොත් හැර ඒ ගැන ඇසීම හෝ වෙනත් අය සමඟ තමන් දන්නා තොරතුරු බෙදාහදා ගැනීම එතරම් සුදුසු වන්නේ නැහැ. ඒ වගේම එවැනි රෝගීන්ට වචනයකින් හෝ සහනයක් වනවා මිස යම් යම් කරුණු පවසමින් තවදුරටත් බිය ගැන්වීමත් හිත්වත්කම් පළුඳුවන්නට හේතු වන්නට ඉඩ තියෙනවා.

පවුලේ අය

සමහරුන් තමන්ගේ පවුලේ සාමාජිකයින්, සහකරුවා හෝ පෙම්වතා සම්බන්ධව තොරතුරු හෙළිදරව් කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ අකමැත්ත සඳහා ඔවුන්ටම හේතු තියෙන්නට ඉඩ ඇති නිසා එවැනි කරුණු ගැන ඔවුන් කැමැත්තෙන්ම තොරතුරු හෙළිකරන්නේ නැති නම් බලෙන් විමසීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ.

අනාගත සැලසුම්

ඔබගේ අනාගත සැලසුම් පිටස්තරයන්ට පැවසීම පසුකාලීනව අනපේක්ෂිත විදියට ඔබට ම හානිදායක වන්නට ඉඩ තියෙනවා. ඒ වගේම් අන් අයගේ අනාගත සැලසුම් ගැන දිගින් දිගටම විමසීම ඔබව ඒ අයට අප්‍රසන්න වීමටත් හේතුවක් වනවා නොඅනුමානයි.

උපදෙස් හිතවතෙක් යම් කරුණක් සම්බන්ධව අදහස් විමසනවා නම් තමන්ගේ අදහස කියනවා මිස ඔවුන්ට එය පිළිගන්නට බලපෑම් කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ අතිශය පෞද්ගලික කරුණු සම්බන්ධව බලෙන් උපදෙස් දීමට හෝ තමන්ගේ මතවාද පිළිගන්නා ලෙසට ඔවුන්ට බලපෑම් කිරීම යෑමෙන් ඔබව අප්‍රසන්න පුද්ගලයෙක් විදියට හඳුනාගන්නට ඉඩ ඇති බවත් අපි සිහිපත් කරන්නට කැමතියි.

Related Articles