Home Health & WellnessMental Wellness & Psychology ඔබ අවට ඉන්න toxic පුද්ගලයින් හඳුනාගන්නේ මෙහෙමයි

ඔබ අවට ඉන්න toxic පුද්ගලයින් හඳුනාගන්නේ මෙහෙමයි

by ladylk

අපි කවුරුත් ප්‍රිය කරන්නේ සැනසිලිදායක සහ කම් කටොළුවලින් තොර ජීවිතයක් ගත කරන්න. හැබැයි අපි අවටම ඉන්න සමහර පුද්ගලයින් විසින්, අපට නොදැනීම අපේ ජීවිත අසීරු සහ අප්‍රසන්න තත්ත්වයන්ට පත් කරන අවස්ථා ඔබත් පෞද්ගලිකවම අත්විඳ ඇතුවාට සැකයක් නැහැ. හැබැයි තම තමන්ටම ආවේනික වුණු හේතු නිසා මෙවැනි toxic පුද්ගලයින්ව තමන්ගේ ජීවිතයෙන් ඈත් කරන්නට තියා හඳුනාගන්නටවත් ඇතැමුන්ට හැකියාවක් නැතිවෙන්නට ඉඩ තියෙනවා. ඉතින් lady.lk අපි හිතුවා මෙවැනි විෂ සහිත පුද්ගලයින් හඳුනාගන්නා ආකාරය ගැන ඔබට ඉඟි කිහිපයක් ලබා දෙන්න. බලන්න, ඔබේ ජීවිතයෙනුත් සැනසීම හොරකම් කරලා තියෙන්නේ මේ වගේ අයද කියලා.

මේ අය ඉන්නේ ඔබ ළඟමයි

Toxic පුද්ගලයින් කියලා ගත්තම ඒ අය අතරේ ඔබේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, හිත මිතුරන්, සහකරුවා වගේම තමන්ගේ කාර්‍යාලයීය සගයින් පවා ඉන්න ඉඩ තියෙනවා.  ඉතින්, කිසිම සාධාරණ හේතුවකින් තොරව දිගින් දිගටම තමන්ව මානසික පීඩනයට පත් කරන මේ වගේ පුද්ගලයින්ව හඳුනාගැනීම සහ ඔවුන්ව මඟහැර ජීවත්වීමත්, සිතට සහනය ගෙනදෙන ආකාරයේ පුද්ගලයින් ඇසුරු කිරීමත් ඔබේ මානසික සුවයට මනා පිටුවහලක් වෙයි කියලා අපි මුලින්ම මතක් කරන්නට කැමතියි.

ඔබව මානසිකව වෙහෙසට පත් කරවනවා

යම් පුද්ගලයෙක් එක්ක සිදුකරන කතා බහකින් පස්සේ ඔබව මානසිකව බිඳ වැටිලා වගේ නම්, හිතට කිසිම සුබවාදී බවක් දැනෙන්නේ නැත්නම් සහ දිගින් දිගටම මේ දේ සිදුවෙනවා නම් ඒ හිතවත්කම් වලින් ඔබට යහපතක් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ පුද්ගලයා ඔබට කොයි තරම් සමීපතමයෙක් වුණත් ඒ ඇසුර වෙහෙසකාරී එකක් නම් ඔබගේ මානසික සහනය පතා එවැනි අයගෙන් ඉවත්වීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ.

තර්ජනයෙන් බියගන්වන්න උත්සහ කරනවා

මෙවැනි පුද්ගලයින් තර්ජන සහ බිය වැද්වීම කියන අවිය මඟින් ඔබගේ තීරණ හෝ ක්‍රියාකාරකම් වෙනස් කරන්නට උත්සහ කරනවා. බොහෝ විට ඒ වෙනස ඔබට හිතකර නොවුනත් බිය නිසා ඔබ ඔබගේ තීරණ වෙනස් කරනවා නම් ඔබ toxic පුද්ගලයෙකුගේ බලපෑමට හසුවෙලා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. Emotional blackmailing කියලා අදහස් කරන්නෙත් මේ කාරණයමයි.

වරදකාරී හැඟීම් ඇති කරවනවා

ඔබට ඒ පුද්ගලයා සමඟ තියෙන සම්බන්ධයේ ස්වභාවය සිහිපත් කරමින් ඔබ තුළ වරදකාරී හැඟීමක් ඇති කරවීමත් ඒ හරහා ඔබට බලපෑම් සිදු කිරීමත් මෙයින් අදහස් වෙනවා. මෙයත් ඉහත සඳහන් කළ ආකාරයේම bully කිරීමක් විදියට පෙන්වන්න පුළුවන්. වෙනත් විදියකට කියනවා නම් ඔබ තුළ ඒ පුද්ගලයා ගැන තියෙන සැළකිල්ල සහ ආදරය අයුතු ආකාරයකට භාවිතා කිරීමක් තමයි මෙහිදී සිදුවන්නේ.

ඉරිසියාකාරයෝ

අන් අයට ඉරිසියා කිරීමත්, අන් අය පරයා යෑම සඳහා unethical ආකාරයට පවා ක්‍රියා කිරීමටත්, ඒ ක්‍රියාකාරකම් විවේචනයට ලක්වෙන විට victim කෙනෙක් විදියට හැසිරීමටත් මෙවැනි පුද්ගලයින් රුසියන් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ ඉරිසියාව නිසාම තමන් අවට ඉන්න අයට යම් යම් සීමා පැනවීම, ඒ අයගේ නිදහස අහිමි කිරීම සහ දියුණුවට බාධා කිරීම වගේ දේවල් කරන්නත් මේ අය පෙළඹෙනවා. හොඳට හිතලා බලන්න, ඔබත් මේ වගේ අයෙක්ගේ බලපෑම්වලට හසුවුණු කෙනෙක්ද කියලා.

ඔබගේ ආත්ම විශ්වාසය බිඳ දමනවා

ඉරිසියාව හෝ හුදු විනෝදය වෙනුවෙන් අන් අයගේ ආත්ම විශ්වාසය බිඳ දැමෙන විදියට ක්‍රියා කරන පුද්ගලයිනුත් අයිති වෙන්නේ toxic පුද්ගලයින් කියන කාණ්ඩයට. ඔවුන් තවත් කෙනෙක්ට පැසසුවත් යාන්තමින් හරි negative feeling එකක් එන විදියට තමයි ඒ දේ කරන්නේ. ඔබ ගැන, ඔබ තුළ තියෙන යහපත් හැඟීම බිඳ දමා ඔබව සුළු පුද්ගලයෙක් බව ඒත්තු ගැන්වීම ඔවුන්ගේ ප්‍රධානම අරමුණ වන නිසා හැකිතාක් එවැනි අයගෙන් ඈත්ව සිටීම ඔබට සහනයක් වනවා නොඅනුමානයි.

අපහාසාත්මක විහිළු

මේ කතා කරන්නේ සාමාන්‍ය විහිළු තහළු ගැන නම් නෙවෙයි. අන් අයට අපහාස කිරීමේ අරමුණින් ම යම් අයෙක් දිගින් දිගටම යම් විහිළුවක් කරනවා නම් ඒ පුද්ගලයා තවදුරටත් ඇසුරු කිරීම සඳහා සුදුසු අයෙක් වන්නේ නැහැ. ඔබ ඉදිරියේ පමණක් හෝ පිරිසක් මධ්‍යයේ ඔබගේ අතිශය පෞද්ගලික කරුණු, ඔබට අතිශය සංවේදි කරුණු, එහෙමත් නැත්තම් ඔබට කිසිසේත්ම විහිළුවක් නොවන කරුණු ගැන කතා කිරීමට හෝ ඒ සම්බන්ධ විහිළු තහළු කිරීමට පෙළඹනවා නම් එවැනි අයගෙන් හැකි තාක් ඈත්ව සිටීම ඉතාමත් සුදුසු වෙනවා.

මේ දේවලුත් අමතක කරන්න එපා

වෙන කෙනෙක් අමාරුවේ වැටෙන විදියේ බොරු කියලා ඒවා හෙළිවුණාම අනවශ්‍ය කලබල කරමින් අනුකම්පාව සොයන ආකාරයේ පුද්ගලයින්, ඔබේ සැබෑ හැඟීම් නොසලකා හරින සහ ඒවා ගැන සෝපාහාසාත්මක අදහස් පළකරන්නන්, තමන්ගේ වැරදි පිළිනොගෙන ඒවාගේ වගකීම වෙනත් අයට භාරදෙන මිනිසුන්, ඔබට නිසි ගෞරවයක් ලබානොදෙන ආකාරයේ පුද්ගලයින් සහ තමන්ගේ වැරැද්ද ඔබට භාර දී ගැලවිජ්ජාව වෙනුවෙන් බොරුවට සමාව ඉල්ලන පුද්ගලයින් අයිති වෙන්නෙත් ඇසුරට අහිතකර විසකුරු පුද්ගලයින් විදියටයි.

Related Articles