Home #BossladyWork Life ව්‍යාපාරික කාන්තාවක් නායකයෙකු වීමෙදි තියෙන අභියෝග

ව්‍යාපාරික කාන්තාවක් නායකයෙකු වීමෙදි තියෙන අභියෝග

by LADY.LK

ව්‍යාපාර කියන්නෙ රටකට අත්‍යවශය දෙයක්. විශ්වවිද්‍යාල තුළින් රැකියාවක් සොයා යන්නන් නොව ව්‍යවසායකයින් බිහී වීම ලොකු වාසියක්. නමුත් අපේ රටට ඒ දේ අත්විඳින්න ලැබෙන්නෙ අඩුවෙන්. සමාජ මතයන් නිසා බොහෝදෙනෙක් රැකියාවක් ඔස්සේ ගමන් කරනවා විනා අවදානමක් අරගෙන ව්‍යාපාරයක් ගොඩනගන්නට උත්සාහ කරන්නේ නෑ. ඒ අතරිනුත් කාන්තාව තරමක් පසුබසින ආකාරය දකින්න පුළුවන්. ඉතිං Lady.LK අපි තීරණය කළා කාන්තාවක් විදියට ව්‍යවසායිකාවක් ලෙසින් සහ නායිකාවක් ලෙසින් තමුන්ගේ කණ්ඩායම මෙහෙයවද්දි තියෙන අභියෝග ගැන ඍජුව කතා කරන්න. ඒක මේ මග යන්නට බලාපොරොත්තුවෙන් සිටින සියළුම දෙනාට දැනගෙනම මේ මගට අඩිය තියන්නට උදවුවක් වේවි.

විශ්වාස නොකිරීම

මෙතනදි දකින්න ලැබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි විශ්වාසයක් ගොඩ නැගී නොතිබීම. පුතෙක් බිස්නස් එකක් පටන්ගන්නවාට වඩා දුවෙක් බිස්නස් එකක් පටන්ගන්න එක ගැන දෙමවුපියන් බයයි. ඔවුන් තුළ ඒ විහ්වාසය නෑ, ඒක මේ සමාජය නිසාම සිදු වුණු දෙයක් වුණු අතලොස්සක් දෙමවුපියන් හැරෙන්නට බොහෝ දෙමවුපියන්ට තමන්ගේ දියණියන් සම්බන්ධයෙන් මේ කියන විශ්වාසය නෑ. ඒ වගේමයි මෙවැනි ව්‍යාපාරයක් අරඹද්දි ආයෝජනය කරන්න දායක වීමටත් බොහෝදෙනෙක් මැළි වෙනවා. මේකත් බොහෝවිට කාන්තාවකට මුහුණ දෙන්න වෙන තත්ත්වයක්. මේ වගේ තත්ත්වයන් බාධක විදියට නැතුව අභියෝග විදියට දැකලා ඉදිරියට යන්නට හිතට ධෛර්‍යයක් ගැනීමයි සිද්ධ විය යුත්තේ.

නොතැකීම


නොතැකීම කියන දේත් විශ්වාසය නැති වීම තරමටම සිත් බිඳවන දෙයක්. තමුන්ගේ කණ්ඩායම තමුන්ව නොතැකීම නායකයෙකුට සිද්ධ වෙන්න පුළුවන් විශාල පසුබෑමක්. මේකෙන් ගොඩ එන්න තියෙන හොඳම විදිය වෙන්නෙ තමුන්ගේ කණ්ඩායමට අවශ්‍ය අය තෝරාගනිද්දි ඇඳුරුම්කම් හෝ වෙනත් අයගේ හඳුන්වාදීම් මත මිනිසුන් තෝරානොගෙන තමන්ගේ පැහැදිලි අරමුණට පැහැදිලිව එකතු වෙන පිරිසක් තෝරාගැනීමයි.

ගෙදර වැඩ

තාමත් ලංකාවෙ සමාජය ඇතුළෙ ඔට්ටු වෙද්දි ව්‍යාපාරික කාන්තාවක් වූ පමණින් කාන්තාවකට ගෙදරදොර වැඩවලින් නිදහසක් ලැබෙන්නේ නෑ. ඒවාත් ජයගෙන තමන්ගේ අරමුණට යෑම අභියෝගයක් වගේම නොහැක්කක් නෙමෙයි. ඒ වෙනුවෙන් ඕනෑම විකල්ප තියෙනවා. සියල්ල රැඳී පවතින්නේ තමන්ගේ තෝරාගැනීම් මතයි.

වැරදුනොත්

මේක පොදු ප්‍රශ්නයක්. මෙහෙම ව්‍යාපාරයක් ආරම්භ කරලා වැරදුනොත් ඉන් එහාට මොකද්ද වෙන්නෙ? කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත්, වටපිටාවෙන් මෙහෙම අවස්ථාවක එන්නෙ දරුණු ලෙස පහළට අදින ප්‍රකාශ. නමුත් කාන්තාවකට මේ ප්‍රකාශ ප්‍රහාර විදියට එල්ල වෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා හිතින් නොවැටෙන්නට තරම් ශක්තිමත්ව, අවදානම දරාගෙන ඉදිරියට යෑමයි සිද්ධ විය යුත්තේ.

කාන්තා නියෝජනය සම නොවීම

ලංකාවෙ ජනගහනයෙන්  වැඩි පිරිසක් කාන්තාවන් වුණත්, කාර්යාල ඇතුළෙ බලද්දි කාන්තාවන් ඉන්නෙ සාපේක්ෂව අඩුවෙන්. ඒ නිසා පොදු තීරණ ගන්නා අවස්ථාවකදී නායකයා කාන්තාවක් වුණත් ව්‍යාපාරය තුළ හැඩගැසීම පුරුෂ නැඹුරුවක් විය හැකියි. මේ නිසා නැවතත් අපි පෙරකී නොතකා හැරීමේ අවස්ථාව උදා විය හැකියි. මෙවැනි තත්ත්වයන් සහ අවස්ථා වටහාගෙන කාන්තාවක් ව්‍යාපාරයකට එළැඹිය යුතුයි.

සටන් බිම නියෝජන​ය

මේ අපි පෙර කියන කාන්තා නියෝජනයම ව්‍යාපාරයෙන් පිටත තරගකාරී ව්‍යාපාර හා සළකා බලද්දී සිදු වන දේයි. ඇයට තරග කරන්නට සිදු වන්නේ තවත් කාන්තාවන් සමග නොවෙයි. බොහෝදුරට ව්‍යාපාර ව්‍යවසායකත්වයේ කාන්තාවන් අඩු වීම නිසා ඇයට තරග කරන්නට සිදුවන්නේ පිරිමින් සමූහයක් සමගියි. මෙය වැටෙන්නට හේතුවක් කර නොගෙන නැගී සිටින්නට හිතේ සවිය මුළ සිටම අවශ්‍යයි. එය සටනට පිවිස පසු තේරුම් ගෙන එයින් බැහැර වෙනවා හෝ පසු බසිනවා නොව මුල සිටම දැනගෙන ආ යුතු දෙයක්.

මේ බොහෝමයක් ප්‍රශ්න ව්‍යවසායකයින්ට පොදුවේ තියෙන ප්‍රශ්න නොව කාන්තාවක් ව්‍යාපාරිකාවක් වීම උඩ ඇති වුණු ප්‍රශ්න වගේ අපේ සටහන කියවූ විට ඔබටත් හැඟෙන්න ඇති. ඒ නිසා සිත් තුළ තියෙන වහල් මානසිකත්වයෙන් මිදී, වඩා විවෘතව ලෝකය දෙස දකින්නට හැකි කාලයක් උදාවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

Related Articles