Home Health & WellnessMental Wellness & Psychology තැනට සුදුසු ලෙස හැසිරෙන්න බැරිකමත් මානසික රෝගයක්

තැනට සුදුසු ලෙස හැසිරෙන්න බැරිකමත් මානසික රෝගයක්

by LADY.LK

අද අපි බලාපොරොත්තු වන්නේ සමාජයේ සැඟවී තිබෙන මානසික ප්‍රශ්නයක්‌ ගැන කතා කරන්නයි. අපි දන්නවා ඉතා සෘජු නැවෙන්නේ නැති පුද්ගලයෝ ගැන. සාමාන්‍ය භාෂාවෙන් අපි ඇණයක්‌ යනුවෙන් හඳුන්වන්නේ මෙවැනි පුද්ගලයින්ටයි. කිසිම දෙයකින් සෑහීමකට පත් නොවන පුද්ගලයින් අපි අතර තවත් සිටිනවා. ඔවුන් සෑම විටම සොයන්නේ සර්ව සම්පූර්ණත්වයයි. ඔවුන්ට හැම දේම අකුරටම පිළිවෙළටම තිබිය යුතුයි. ඒ වගේම කාගෙන්වත් කන්න බොන්න අකැමැති, නිතර පිරිසිදුකම ගැන පමණට වඩා සොයන අයත් අප අතර සිටිනවා. නිතර අත සෝදන වැසිකිළියට ගිය පසු දවසක්‌ එහි ගත කරන පුද්ගලයින් ද සිටිනවා. මේ චරිත අපගේ එදිනෙදා ජීවිතයේ හමු වුණත් ඔවුන්ට මානසික ප්‍රශ්නයක්‌ ඇති බවක්‌ නම් වැටහෙන්නේ නැහැ. මේ හැමදෙනාටම ඇත්තේ එකම මානසික ප්‍රශ්නයක්‌ බව යෑයි පැවසුවහොත් ඔබ පුදුම වේවි. අද අපි කතා කරන්නේ මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ඇති මනෝ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය ගැනයි.

වෛද්‍යතුමනි, අපගේ හැඳින්වීමේදී අප ඉහතින් සඳහන් කළ ආකාරයේ ප්‍රශ්නකාරී තත්ත්වයට මූලික හේතුව කුමක්‌ද?

වෛද්‍ය විද්‍යාවේ ඒවාට හේතුව විදියට පෙන්වා දෙන්නේ එකම මානසික තත්ත්වයක්‌. එනම් Obsessive compulsive Disorder (OCD) යනුවෙන් හඳුන්වනු ලබන තත්ත්වයයි. මේ හැමෝටම තිබෙන මූලික ප්‍රශ්නය වන්නේ එකම රටාවක චින්තනය සහ හැසිරීම නිසා අවස්‌ථාව අනුව වෙනස්‌ වීමට ඇති නොහැකියාවයි.

ඒ කියන්නේ නම්‍යශීලී නැතිකමත් නිතර අත සේදීමත් එකම හේතුව බවද ඔබ පවසන්නේ?

ඔව්. එකම හේතුව නිසයි. නැවෙන්න බැරි චින්තන ක්‍රියාකලාපය නිසා තමන් හුරු වී සිටින විදිය වෙනස්‌ කර ගැනීමට නොහැකි නිසා. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ Anankastic personality යනුවෙන්. ඔබ කීවා සේ කතා ව්‍යවහාරයේ හරියට ඇණයක්‌ වගේ. ඒ වගේම සර්ව සම්පූර්ණත්වය සොයන පුද්ගලයින්ට තිබෙන ප්‍රශ්නයත් ඒ වගෙයි. ඔවුන්ට තමා සොයන සර්ව සම්පූර්ණත්වය නැති තැන චිත්ත පීඩනයකට පත් වෙනවා. තරහ යනවා. එවැනි පුද්ගලයින් තම ගෙදර කඩදාසියක්‌ වැටී තිබෙනවා දුටුවොත් තරහින් පුපුරන්නේ ඒ නිසයි. මෙම තත්ත්වය රෝගයක්‌ බවට පත් වන විට මොවුන්ට එකම සිතිවිලි ඇති වෙනවා. එකම හැසිරීම් ඇති වෙනවා. ඒවායින් ගැලවිය නොහැකි තත්ත්වයට පත් වෙනවා.

තව ටිකක්‌ පැහැදිලි කළොත්?

උදාහරණයක්‌ විදියට හිතන්න පුලුවන් ඔවුන් පන්සලේ පල්ලියේ, බුදුන්ට දෙවියන් වහන්සේට විරුද්ධව කෑ ගසයි. කියා සිතිවිල්ලක්‌ ඇති විය හැකියි. එසේ නැතිනම් තම පරිසරයේ යම් විෂබීජයක්‌ එසේත් නැතිනම් බල්ලෙක්‌ අසූචි දමා ඇතැයි වැනි දෙයක්‌ සිතන්න පුළුවන්. එසේත් නැතිනම් තමන්ගේ සිරුරේ යම් රසායනයක්‌ ගෑවෙයි කියා සිතන්න පුලුවනි. ඔවුන් කරන්නේ ඊට අදාළ හැසිරීම්. එනම් පන්සලට පල්ලියට යන්නේ නැහැ. එසේත් නැතිනම් නිතර ගෙදර සෝදනවා. අත සෝදනවා. එසේත් නැතිනම් නිතර යමක්‌ පරීක්‌ෂා කර බලනවා. සමහරු නිදා ගැනීමට පෙර නැවත නැවත තම ඇඳ යට පවා පරීක්‌ෂා කරනවා. දොරවල් වසා ඇත්දැයි නැවත නැවත පරීක්‌ෂා කරනවා. ඇඳුම් පරීක්‌ෂා කරනවා. මෙවැනි ගැලවිය නොහැකි සිතිවිලි සහ හැසිරීම් දහස්‌ ගණනක්‌ වුණත් ඔවුන් අතර තිබිය හැකියි.

මේ රෝගය හැදෙන්නේ කුමන වයසේදීද?

මේ රෝගය හැදෙන්නේ වයස අවුරුදු 18 සිට 25 දක්‌වා වයසේදීයි. වයසට ගොස්‌ හැදෙනවා නම් එය වෙන රෝගයක පූර්ව ලක්‌ෂණයක්‌ පමණක්‌ විය හැකියි. උදාහරණයක්‌ වශයෙන් මානසික අවපීඩනය හැදෙන පූර්ව ලක්‌ෂණයක්‌ විදියට මේ රෝගය හැදෙන්නෙත්. ඒ වගේම භින්නෝන්මාදය රෝගයේ පූර්ව ලක්‌ෂණයක්‌ ලෙස හැදිය හැකියි.

කුඩා ළමයින්ට හැදෙනවා කියා අපි අහල තිබෙනවා එය ඇත්තක්‌ද?

ඔව්. අවුරුදු 5-14 දක්‌වා ළමයින්ටත් හැදෙන්න පුලුවන්. නිතර යමක්‌ කරලා පරීක්‌ෂා කිරීම, ලියන පොත්වල වැරැද්දක්‌ සිදු වූ විට නිතර කටු ගෑම, කොළ ගලවා දැමීම මෙවැනි ළමයින් කරනවා. ඒ වගේම මේ ළමයින් කරන සෑම දෙයක්‌ම ඉතා සෙමින් කරන්නත් පෙළඹෙනවා. එනම් වැසිකිළි යැම පොතක වැඩක්‌ කිරීම, ගණන් හැදීම ඉතා සෙමින් කරන්නේ.

මේ රෝගය නිසා ඇති බලපෑම් මොනවාද?

ඔබටම තේරෙනවා ඇති. මෙවැනි ලක්‌ෂණ තිබෙන විට සාමාන්‍ය ජීවිතයක්‌ ගෙවීම අසීරු කාර්යයක්‌ බව. සාමාන්‍ය ජීවිතයක්‌ ගත කිරීමට අසීරුයි. මේ තත්ත්වය නිසා තම ඉගෙනීම රැකියාව මිතුරු සම්බන්ධකම් මේ සියල්ල පවත්වාගෙන යැම අසීරු වෙනවා.

මේ රෝගය හැදෙන්නේ කොහොමද?

ජාන නිසා කියා පැහැදිලිවම කියන්න පුලුවන්. පියාට හෝ මවට මේ රෝගය තිබෙනවා නම්, මෙය ළමයින්ට හැදෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම මෙම ජානය ජනගහනය තුළ පැතිරී ඇති ජානයක්‌. එම ජානය නිසා ඉතා හොඳ පෞරුෂ ගති ගුණත් ඇති වෙනවා. පිළිවෙළට වැඩ කිරීම, යහපත් ගති ගුණ ඇති වීම වගේම කාර්යක්‌ෂම පුද්ගලයෝ බිහි වෙන්නත් මෙම ජානය උදව් කරනවා. නමුත් මෙම ජානය වැඩියෙන් බලපාන අයට අර ඉහත කී විදියේ anankastic personalityහෝ OCD කියන රෝගය ඇති වෙනවා.

මෙය මානසික රෝගයක්‌ද? එසේත් නැතිනම් ස්‌නායු රෝගයක්‌ද?

දැන් ඔය කියන විදියේ මානසික රෝග සහ ස්‌නායු රෝග යෑයි වෙන් කිරීමට අසීරු තත්ත්වයක්‌ තිබෙන්නේ. එයට හේතුව වන්නේ වෛද්‍ය විද්‍යාව අද දියුණු නිසා, එදා මානසික රෝග යෑයි කී රෝග පැහැදිලිවම මොළයේ ආබාධ බව පෙන්වා තිබෙනවා. ඒ වගේම එදා ස්‌නායු රෝග යෑයි කී රෝග මානසික රෝග ලක්‌ෂණ පෙන්වා දී තිබෙනවා. උදාහරණයක්‌ වශයෙන් පාකින්සන් නම් ස්‌නායු රෝගය ඇති අයට මානසික අවපීඩනය, ඩිමෙන්ෂියාව වැනි රෝග ඇති වන බව පෙන්වා දී තිබෙනවා. OCD රෝගය තිබෙන අයගේද එවැනි ස්‌නායු රෝග ලක්‌ෂණ තිබෙනවා. එනම් මේ රෝග තිබෙන අයගේ මොළයේ පූර්ව මස්‌තිෂ්කයේ සිට basal ganglia නමින් හඳුන්වනු ලබන කොටස දක්‌වා ඇති ස්‌නායු ඉමබාකැ ක්‍රියාකාරිත්වය වැඩියි.

මෙය හොඳ කිරීමට පුළුවන් රෝගයක්‌ද?

ඔව්. ප්‍රතිකාර මඟින් එක්‌කෝ හොඳ කළ හැකියි. එසේත් නැතිනම් රෝගය පාලනය කොට සාමාන්‍ය ජීවිතයක්‌ ලබා දිය හැකියි.

ප්‍රතිකාර වර්ග මොනවාද?

පළමුවෙන්ම ඖෂධ ප්‍රතිකාර තිබෙනවා. එමඟින් රෝගය මර්දනය කළ හැකියි. අපි ඖෂධ වලින් කරන්නේ මා ඉහත කී ස්‌නායු bundle අධි ක්‍රියාකාරකම අඩු කිරීමටයි. ඒ වගේම විෂාදය වැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමයි.

මේ සඳහා චර්යා ප්‍රතිකාරත් තිබෙනවාද?

ඔව්. ඖෂධ ප්‍රතිකාර වගේම චර්යා ප්‍රතිකාරත් වැදගත්. හේතුව චර්යා ප්‍රතිකාර මඟින් දීර්ඝ කාලීනව වෙනසක්‌ ඇති කර ගත හැකියි. චර්යා ප්‍රතිකාර මඟින් අර නැවත නැවත ඇති වන හැසිරීම් සිතිවිලි පාලනය කිරීමට උගන්වන්න පුලුවනි. ඒ වගේම මෙවැනි රෝගියෙක්‌ සමඟ වැඩ කරන ආකාරය පවුලේ අයටත් පුහුණු කළ යුතුයි. එසේ නැතිනම් පවුලේ අය මෙම රෝගියාගේ හැසිරීම් වලට පොහොර දමන විදියට ක්‍රියා කළොත් වන්නේ තව ප්‍රශ්නය දිග්ගැස්‌සීමයි. උදාහරණයක්‌ වශයෙන් මෙවැන්නෝ නිතර එකම දේ පවුලේ අයගෙන් අහනවා. ඒවාට පිළිතුරු දෙන්න දෙන්න ප්‍රශ්න ඇසිSම වැඩි වෙනවා. එම නිසා කළ යුත්තේ පිළිතුරු නොදී සිටීමයි. එවිට ප්‍රශ්න කිරීම් අඩු වෙනවා.

සමාජයට දෙන පණිවිඩය කුමක්‌ද?

මෙවැනි ප්‍රශ්න සාමාජය තුළ නිතර දකින ප්‍රශ්නයි. ඒවා ඔබ පවුලේ කෙනෙකුට තිබුණි නම් ප්‍රතිකාර ලබා ගන්න මැළි වෙන්න එපා. ඔබට හෝ ඔබ පවුලේ කෙනෙකුට මෙවැනි ලක්‌ෂණ තිබෙනවා නම් ප්‍රතිකාර ගන්න මැළි වෙන්න එපා.

විශේෂඥ මනෝ වෛද්‍ය
රනිල් අබේසිංහ

Related Articles