Home Health & WellnessMental Wellness & Psychology යාළුවා ඇත්තටම හොඳ යාළුවෙක්ද කියලා දැනගන්නේ මෙහෙමයි.

යාළුවා ඇත්තටම හොඳ යාළුවෙක්ද කියලා දැනගන්නේ මෙහෙමයි.

by ladylk

ජීවිතයේ එක් එක් අවධිවලදි අපිට විවිධාකාර යාළුවෝ මුණගැහෙනවා. ඒ මුණගැහෙන හැම කෙනාම හැබෑ යාලුවෝ නොවෙන බව ඔබ අත්දැකීමෙන් ම වටහාගෙන ඇති. හැම කෙනාටම සමාන අදහස් නැති නිසාත්, මිනිස් සිතිවිලිවල ස්වභාවය ඉතා ඉක්මනින් වෙනස්වෙන සුළු නිසාත් මිනිස්සුන්ගේ හිත්වල තියෙන යාළු හිතවත්කම් ගැන නිවැරදිම සහ නිශ්චිත අදහසක් ලබා දීම එතරම් පහසු දෙයක් නම් නෙවෙයි. කොහොම වුණත්, අපි මේ ඉදිරිපත් කරන ලිපියෙන් හැබෑ යාළුවෝ අඳුරගන්න විදිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. බලන්න ඔබ වටා ඉන්න යාළුවොන්ටත් බය නැතුව ‘හොඳ යාළුවෝ’ කියලා කතා කරන්න පුළුවන්ද කියලා.

ඔයා වෙනුවෙන් ඉන්නවා.

මොන දේ වුණත් ඔබ වෙනුවෙන් පෙනී හිටින්න දෙපාරක් නොහිතන කෙනා හොඳ යාලුවෙක් විදියට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජීවිතයේ ඔබ මුහුණ දෙන අමාරු අවස්ථාවලදි මේ අය අනිත් හැමෝටම කලින් ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. එය, සමීපතමයෙකුගේ අභාවයක්, රැකියාව අහිමිවීමක්, පෙම් සබඳතාව බිඳවැටීමක් හෝ වෙනත් ඕනෑම අසීරු අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ වගේ අවස්ථාවකට ශක්තිමත්ව මුහුණ දෙන්නත්, ඉදිරි සැලසුම් සකස් කරගන්නත් මේ අය විශාල පිටුවහලක් ලබාදෙනවා.

හොඳ සවන් දෙන්නෙක්

අද සමාජයේ බොහෝ දෙනෙක් සුලබව සිදු කරන වැරැද්දක් වන ‘අනෙකා විනිශ්චය කිරීම’ හොඳ යාළුවෙක්ගෙන් සිදු වෙන්නේ නෑ. ඒ වගේම ඔබ යමක් ගැන කතා කරනකොට ඒ  මාතෘකාව වෙනස් කර බාධා කිරීමට ඒ කෙනා පෙළඹෙන්නෙත් නෑ. සමහරවිට ඔබේ යාළුවා එතරම් කතා බහ නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබව judge නොකර ඔබගේ කතාවට හොඳින් සවන් දෙනවා නම්, අවශ්‍ය අවස්ථාවේදී තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා සහයෝගය දැක්වීම කරනවා නම් ඒ යාළුවා ආශ්‍රයට සුදුසු හොඳ යාලුවෙක් කියලා කියන්න පුළුවන්.

ඕපාදූප පතුරවන්නේ නෑ.

ඔබේ පෞද්ගලික විස්තර වෙනත් අය සමඟ කියන, වෙනත් අයගේ පෞද්ගලික විස්තර ඔබත් සමඟ කියන අයෙක් යාලුවෙක් විදියට තෝරාගැනීම එතරම් සුදුසු දෙයක් නම් නෙවෙයි. විශේෂයෙන් ම යහපත් අදහසකින් තොරව අනෙක් අයගේ ජීවිතවලට එබෙන, ඒ ගැන ඕපාදූප පතුරවන කෙනෙක්ට කිසිසේත් ම වෙන කෙනෙක්ගේ හොඳ යාලුවෙක් වීමට අවශ්‍යතාවයක් නැති බවත් මතක් කරන්නම සිදුවෙනවා.

ඔයාව ඔයා විදියටම භාර ගන්නවා

ඔබගේ රැකියාව කුමක් වුණත්, ශරීර ස්වභාවය කොහොම වුණත්, අධ්‍යාපනය හෝ පවුල් පසුබිම කොහොම වුණත් ඔබව ඒ පවතින විදියටම භාර ගන්න කෙනා හොඳ යාළුවෙක් විදියට සළකන්න පුළුවන්කම තියෙනවා. බාහිර කරුණු ගැන නොසළකා, ඔබ තුළ තියෙන යහපත් ආකල්ප ගැන පමණක් සිහි තබාගන්න යාළුවෙක්ගෙන් ඔබට හොඳක් මිස නරකක් නම් වෙන්නේ නෑ.

ඔයාගේ අරමුණුවලට යන්න උදව් කරනවා

අධ්‍යාපන හෝ ව්‍යාපාරික කටයුතුවලින් ඉදිරියට යෑම වගේ දේවල්වලට විතරක් නෙවෙයි, ඔබගේ ඕනෑම යහපත් අරමුණක් ලඟා කරගැනීමට අවංකවම උපකාර කරන කෙනා හොඳ යාළුවෙක් කියලා කියන්න පුළුවන්. එය, අහිතකර සබඳතාවයක් හෝ ඇබ්බැහියක් අත්හැරීම, රැකියා ස්ථානයේ ගැටළු මඟහරවා ගැනීම එහෙමත් නැත්තන් පෞර්ෂ දුර්වලතා මඟහරවා ගැනීම වගේ දෙයක් වෙන්නත් පුළුවන්.

හැඟීම් වටහා ගන්නවා

ඔබව පහතට ඇද දමා කතා කරන හෝ හීන් සීරුවේ ඔබගේ හිත රිද්දන්න උත්සහ කරන කෙනෙක් නම්, ඒ වගේ අයෙක් හොඳ යාළුවෙක් විදියට සළකන්න අමාරුයි. ඔබගේ හැඟීම් වටහාගෙන, ඒවාගේ වැරැද්දක් පෙනෙන්නට තියෙනවා නම් කරුණාවෙන් එය පෙන්වාදීම සහ නිවැරදි කරගැනීමට සහය දීම ඔවුන් විසින් සිදු කරනවා. ඔබ විසින් සිදු කරන ඕනෑම වැරැද්දක් සාධාරණීකරණය කරනවා නම්, ඒ වගේ කෙනෙක් හොඳ යාලුවෙක් වෙනවා කියලා කියන්නත් බෑ.

ආත්මාර්ථකාමියෝ

යාළුවෙක්ගේ වෙසින් පෙනී සිටිමින්, ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ අරමුණින් පමණක් ඔබව ආශ්‍රය කරන බව පෙනෙනවා නම් එවැනි ආත්මාර්ථකාමි මිනිසුන් ජීවිතයෙන් ඈත් කරන්න දෙවරක් හිතන්න එපා. තමන්ගේ අවශ්‍යතාවයන්ට පමණක් ඔබව සොයා එන, ඔවුන්ගේ කරදර පමණක් ඔබ මත අතහරින්නට එන පුද්ගලයින්ගෙන් ඔබට කිසිදු යහපතක් වෙන්නේ නම් නෑ. හොඳ යාලුවෙකු තුළ තිබිය යුතු විශ්වාසවන්ත බව කිසිසේත්ම මොවුන් තුළ තියෙනවා කියලා කියන්න අමාරුයි.

හිත නිවන කෙනෙක්

හිතේ තියෙන පීඩාකාරී බව නැති කරවන්නට හොඳ සමාජ සම්බන්ධකම් වලට හැකියාව තියෙනවා. කිසිම කෙනෙක් ළඟදි නොදැනෙන ආකාරයේ සුවපහසු බවක්, සැහැල්ලුවක් සහ විනෝදයක් ඔබට තමන්ගේ යාළුවා ළඟදි දැනෙනවා නම් ඒ වගේ යාළුවෙක් කිසිම වෙලාවක අහිමි කරගන්න එපා. කොයි තරම් අසීරු මොහොතක වුණත් ඔබගේ mood එක වෙනස් කරලා, මුහුණට හිනාවක් ගේන්න පුළුවන් නම් ඒ කෙනා හොඳ යාලුවෙක් කියලා හඳුන්වන්න පුළුවන්.

Related Articles