Home Health & WellnessMental Wellness & Psychology මේ ඇතැම්විට ඔටිසම් අවධානමේ මූලික ලක්ෂණ විය හැකියි

මේ ඇතැම්විට ඔටිසම් අවධානමේ මූලික ලක්ෂණ විය හැකියි

by LADY.LK
Autism

ලෝක ඔටිසම් තත්ත්වය පිළිබඳ දැණුවත් කිරීමේ දිනය යෙදෙන්නෙ අප්‍රේල් 2වැනිදාට [World Autism Awareness Day]. ඔටිසම් කියන්නේ අපි බොහෝ දෙනෙකුට අපිත් නොදැණුවත්වම ඇති වූ මානසික තත්ත්වයක් වෙන්න පුළුවන් වගේම සමහරවිට අපේ දරුවනුත් දැනටත් මුහුණ දෙන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ නිසා Lady.lk අපි තීරණය කරා ඔටිසම් ගැන යම් දැණුවත් කිරීමක් ඔයගොලොන්ට අරගෙන එන්න. විශේෂයෙන්ම කියන්නට උවමනායි මෙහෙම තත්ත්වයකදී විශේෂඥ වෛද්‍ය උපදෙස් අරගත යුතු නිසා අපි මේ කරන්නෙ ඔටිසම් අවධානමේ මූලික ලක්ෂණ පිළිබඳ ඔබව දැණුවත් කිරීමක් පමණයි කියන එක. මේ ගැන හැම අම්මා කෙනෙක්ම සැළකිලිමත් වීම වටින්නෙ, අපිට අපේ දරුවන් වගේම ඒ අයගේ මානසික සෞඛ්‍යය අපේ ජීවිතයටත් වඩා වටින නිසායි.

එකම දේ නැවත නැවතත් කීම [Echolalia – repeating the same phrase over and over]

පොඩ්ඩන් කියන්නෙ ඒ ඒ කාලෙට අහුවෙන ඒ ඒ දේවල් නිතර කියන, ඒ ගැන නිතර හිතන අය. ඉතිං ඒ අයගෙ කටේ නිතරම කාටූන් දෙබස්, ගීත ඛණ්ඩ වගේ දේවල් ගැවසෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් දරුවා කාලයක් තිස්සෙම එකම දේ කියනවානම් දෙමවුපියන් ඒ ගැන පොඩ්ඩක් සැළකිලිමත් වෙන එක වැදගත්. මොකද මේ විදියට එයාලගෙ කටෙන් කියවෙන දෙයක් වෙනස් නොවී එක දිගටම කියවෙන එක තරමක් අසාමාන්‍ය තතත්වයක්. ළමා මනසට ගොඩක් දේවල් අලුත් නිසා එයාලා ඒ ඒ දවසට සමාජයෙන් එයාලගෙ කටවහරට හොයාගන්න දේවල් ප්‍රමාණය වැඩියි. ඒ අය ආසා දේවල් තියෙන්නෙ පොඩි කාලයයි. අන්න ඒ නිසා කල් නොයවාම මේ ගැන සැළකිලිමත් වෙන එක දෙමවුපියොන්ගෙ වගකීමක්.

සංවේදීතාවයන් 

ළමයාගේ සංවේදීතාවයන් එක්කත් ඔටිසම් රෝගී තත්ත්වයට ඍජු සම්බන්ධයක් තියෙනවා. උදාහරණයකට ළමයා එදිනෙදා ජීවිතයේ අපිට ඇසෙන නොයෙක් ශබ්ද අසන්නට ආසා කරන්නේ නැතිනම් එය මේ රෝගී තත්ත්වයේ මූලික ලක්ෂණයක් විය හැකියි. ඒ වගේම දෙමවුපියන්ගේ හුරතල් කිරීම් මගහරිනවානම් එයත් මේ තත්ත්වයේ මූලික පිළිඹිඹුවක් විය හැකියි. ඒ වගේම ඇතැම් ආලෝක ප්‍රභවයන් අපහසුවෙන් වගේ මගහැරීමත් එවැනි තත්ත්වයක්. ඒ වගේම අපි නොසිතන ඇතැම් භාණ්ඩවලට වැඩි අවධානයක් දෙමින් අතගා බැලීම, සුවඳ බැලීම වගේ ක්‍රියාකාරකම් සිද්ධ කරනවානම් ඒකත් මේ ප්‍රශ්නයේම කොටසක් වෙන්නට පුළුවන්. මේ නිසා නිතරම​ මේ ගැන අවධානයෙන් සිටින්න. අපේ නිවැරදි නිරීක්ෂණය සහ ඉක්මන් වීම සමහර ප්‍රශ්න ඉක්මනින්ම විසඳා ගන්නට උනන්දුවක් වේවි.

තනිව සිටීම

දරුවන් කියන්නෙ හැම තිස්සෙම තමන්ගේ පවුලේ අය සමග නිතර ගැටෙන්නට කැමති පිරිසක්. නමුත් තනිව සිටින්නට හෝ තනිව සෙල්ලම් කරන්නට කැමති දරුවෙකුගෙන් ඒ පෙනෙන්නේ ඔටිසම් තත්ත්වයේ මූලික ලක්ෂණයක් වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් දරුවෙකු සෙල්ලම් බඩුවක් ලැබුනාම ඒ සමග සෙල්ලම් කරන්නට ගෙදර අනෙක් අයටත් ආරාධනා කරන එක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ඔටිසම් තත්ත්වයේ මූලික ලක්ෂණයක් වන්නේ දරුවා ඒ සෙල්ලම් බඩුව ගලවා බලමින් ඒ සමග තනිවීමයි. අප වැඩෙද්දී ඉන්ට්‍රොවර්ට් වීම හෝ එක්ස්ට්‍රොවර්ට් වීම සමාජ ආශ්‍රයේ ප්‍රතිපලයක් විදියට සිද්ධ වුනත්, කුඩා වයසට එය තරමක අර්බුදයක් වෙන්නට පුළුවන්. ඒ නිසා දෙමවුපියන් ඒ ගැන අවධානයෙන් සිටීම අතිශය වැදගත්.

පරිකල්පනය අඩු බව [Lack of imagination]

සාමාන්‍යයෙන් ඉතා කුඩා වයසේ පටන්ම දරුවන්ගෙන් නොයෙක් ආකාරයේ රංගනයන් දැකිය හැකියි. සුපර්මෑන් අහසේ යන ආකාරයට එක අතක් ඉදිරියට දිගු කරගෙන යන ළමයි, බිත්තියට හේත්තු කරපු පොත්වල ලැප්ටොප් එකක වගේ ටයිප් කරන ළමයි, දකින දකින දිගැටි දේ ටෙලිෆෝනයක් වගේ කනේ රුවාගෙන කතා කරන ළමයි, කාර් පදින, ගිටාර් ගහන ආදී නොයෙක් දේවල් ළමයින් රංගනයන් විදියට අනුකරණය කරනවා. මේක සාමාන්‍ය තත්ත්වයක්. අන්න ඒ නිසාම මේ විදියට නොකිරීම අසාමාන්‍ය තත්ත්වයක් වෙන්නට පුළුවන්.

මගහරිනවාද?

ඔබේ අවධානය වැඩිපුරම යොමු විය යුතු දෙයක් වන්නේ දරුවා ඔබව මගහරින තත්ත්වයයි. මූලිකම දරුවා ඔබේ ඇස් මගහරිනවා කියා ඔබට වැටහෙනවා නම්, දරුවා සමග වැඩිපුර කුළුපග වී කතාබහට පෙළඹෙන එක වැදගත්. මේ තත්ත්වය සාමාන්‍යයෙන් අතිශය මිත්‍රශීලී දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නට බැරි තත්ත්වයක්. ඒ වගේම ස්වභාවයෙන්ම තරමක් ලැජ්ජාශීලී ළමයිනුත් සිටින නිසා මේ තත්ත්වය එක්වරම ඔටිසම් රෝග තත්ත්වයක් කියා අපිට නිර්ණය කරන්නටත් අපහසුයි. ඒ වගේම ඔබ කතා කරද්දී ඔවුන් එය මගහරිනවා නම් එයත් මෙම රෝගයේ මූලික අවස්ථාවේ ලක්ෂණයක් විය හැකියි. ඒ වගේම ඒ මගහැරීම ඔවුන්ගේ සිත් රිදවීමකදී අප සැනසීමට උත්සාහ කරද්දිත් සිදු විය හැකියි. ඒ වගේම පෙර මෙන් ඔබ ඔවුන් වඩාගැනීමට යනවිට හෝ අතින් අල්ලාගෙන යනවිට ඔවුන් එයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත්නම් ඔබ ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

Sources :

https://www.webmd.com/brain/autism/default.htm
https://www.medicinenet.com/autism_symptoms_and_signs/symptoms.htm

Related Articles