Home #BossladyWork Life වැඩ කරන්න කම්මැලියි වගේද? ඒ මේ නිසා විය හැකියි.

වැඩ කරන්න කම්මැලියි වගේද? ඒ මේ නිසා විය හැකියි.

by LADY.LK

වැඩක් කරගෙන යද්දි ඔයාටත් කම්මැලිකමක් එනවද? ඒක අපෝ මට දැන් කම්මැලියි කියල අල්ලලා දාලා නිකං ඉන්නෙ නැතුව ඒකට විසඳුමක් හොයන එක තමයි සිද්ධ විය යුත්තේ. ඇයි අපි එහෙම කියන්නෙ? අපි එහෙම කියන්නෙ විශේෂ හේතුවක් ඇතුව. ඒ තමයි ඇත්තටම වැඩක් කරද්දි කම්මැලි වෙන්න අපි නොහිතන හේතු කීපයක්ම තියෙන්න පුළුවන්. ඉතිං ඒ තත්ත්වය උඩ ඕනම කෙනෙකුට මේ කියන කම්මැලිකම එන්න පුළුවන්. ඉතිං කම්මැලිකමට ඉන්නෙ නැතුව ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන අදාල වැඩේ හරියට කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

ජලභීතිකාවද?

ඔයාගෙ ශරීරය පොඩි හරි විජලන තත්ත්වයකට පත් වුනාම ඒකෙන් ඔයාව කම්මැලි කරන එක නවත්තන්න බෑ. ඒ වගේම නිතර ජලය පානය කිරීම පොදුවේ සිරුරේ බොහෝ අභ්‍යන්තරික ක්‍රියාකාරකම්වලට වගේම සමේ නිරෝගීබවටත් හොඳයි. ඒ නිසා ජලය පානය කිරීම අනිවාර්ය දෙයක්. නමුත් මේ දේ බොහෝවිට සිදුවන්නේ වැඩ අධික කාර්යබහුල මිනිසුන්ටමයි. ඒ වැඩ අධික නිසා ජලය පානය කිරීම මගහැරී යාමයි. ඒ වෙනුවෙන් නිතර පෙනෙන තැනක පොඩි කෙටි සටහනක් තබාගන්නට වගේම අවශ්‍යනම් ජලය පානය සිහිපත් කරවන රිමයින්ඩර් එකක් ස්මාට්ෆෝනයේ සකස් කරගත හැකියි. ඒ වගේම ඔයා නිතර ජලය පානය කරද්දි, බෝතලයකට පුරවන්නට රාජකාරි පුටුවෙන් නැගිටින නිසා එයත් ඔයාගේ මනසටත් ගතටත් කෙටි විවේකයක් වේවි.

හිත හීලෑ නැද්ද?

කම්මැලි වෙන්න තවත් හේතුවක් වෙන්නෙ අපි කරන්න යන වැඩේට අවධානය නොතිබීම. ඒ නිසා වෙනිං දේවල් පුළුවන් තරම් මනසින් දුරස් කරගෙන වැඩ කරන්න වාඩි වෙන එක තමයි හොඳම. බලන්නම හිතාගෙන ඉන්න ටීවී සීරීස් එක බලන්නෙ නැතුව වැඩ කරන්න වාඩි වෙලා, ඊටපස්සෙ ඒ ටීවී සීරීස් එක ගැන හිත හිත ඉන්නවානම් ඒකෙන් ඵලක් වෙන්නෙ නෑ. ඒ වගේම බලලා ඉවර කරපු ටීවී සීරීස් එක ගැන හිත හිත ඉන්න එකත් එහෙමයි. ඒ නිසා ඔයාගෙ හිත එහා මෙහා යන්න නොදී වැඩේට ෆෝකස් නොකරොත් ඔයාගෙ වැඩ කරගෙන යන්න බැරි කම්මැලිකමක් දැනේවි. 

ලෙඩක් වෙන්නත් පුළුවන්…

කවුද දන්නේ මේ ගැන? ඔයාව නිතර කම්මැලි කරවන්නේ ඔයාම නොහිතපු සිරුරේ අභ්‍යන්තරික රෝගයක් නිසා වෙන්න පුළුවන්. සිරුරේ තයිරොක්සීන් නිෂ්පාදනය අවම වීම වගේම තව හේතු ගණනාවක්ම නිසා අපේ රුධිර සංසරණයේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් එක්ක අපිට කම්මැලිකම දැනෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ සටහනේ කියන හේතු තුල ඔයාගෙ කම්මැලිකමට හේතුවක් නැත්තම් වෛදවරයෙක් මුණගැහෙන එක වැදගත්.

අඩුවෙන්ද කෑවෙ?

වැඩ අධික වුනාම අපිට පුටුවෙන් නැගිටින්න වෙන්නෙ නෑ. ඉතිං තරබාරුකම් ඇති වෙන්න ඒක හොඳ හේතුවක්. එහෙම වෙලාවට ගොඩක් දෙනා කරන්නෙ නොකා ඉන්න එක. හැබැයි ශරීරයට අවශ්‍ය පෝෂක නොලැබෙන නිසා ඒක හොඳ තීරණයක් නෙමෙයි. සිද්ධ කරන්න ඕන විශේෂඥ උපදෙස් සහිතව ඩයට් ප්ලෑන් එකකට යන එකයි. ඒ වගේම සමහරවිට කාර්යබහුල නිසාම ආහාරය මගහැරෙන්නත් පුළුවන්. කෑම අඩු වුනාම එන ඔළුවෙ කැක්කුම් වගේම ඇඟට පණ නැති ගතිය කම්මැලිකම පටන්ගන්න හොඳ හේතු විදියට ඇඟට දැනෙනවා.

වැඩියෙන්ද කෑවෙ?

කලින් කියපු දේ අනිත් පැත්තත් එහෙමයි. වැඩවල ස්ට්‍රෙස් එක හිතට දැණුනම කෑම කැවෙන එක තරමක් දුරට මානසිකවත් සිද්ධ වෙන බල කිරීමක්. ඉතිං මේ විදියට හොඳට කෑවම ඇඟට ඒ කාපු ටික දිරවාගන්න ලොකු පරිශ්‍රමයක් දරන්නට සිද්ධ වෙනවා. ඉතිං ඒ නිසා වැඩ කරන පුටුවෙම නින්ද යන ​හෝ ඔෆිස් එකේ බීන් බෑග් එක උඩට ඇද වැටෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි.

නින්දක් නැද්ද? නින්ද වැඩියිද?

නින්ද කියන දේ පමණට වැඩි වුනත්, පමණට නැති වුනත් ඇඟට වැඩ කරගන්න අපහසුවක් ඇති කරවන්නට පුළුවන් දෙයක්. ඒ නිසා අවශ්‍ය පමණට නින්ද අරගන්න කරන්න ඕනම දේ තමයි ඇඳට යද්දි ස්මාට්ෆෝන් මගහරින එක. ඒකෙන් වගේම කෙටි භාවනාවකින් ඉක්මනින් නින්දට යන්න පුළුවන්. ඒ වගේම නින්ද නොලබන අය හිතන දෙයක් තමයි අද නිදානොගෙන එක දිගට වැඩ කළොත් හෙට නිදහසේ ඉන්න පුළුවන් කියන එක. හෙට ඔයාට වැඩ ඉතුරු නොවුනත් පෙරදා රාත්‍රියේ නින්ද අහිමි වුනු නිසා දැනෙන අපහසුව එක්ක නම් ඔයාට නිදහසේ ඉන්න බැරි වේවි කියලා Lady.lk අපි මතක් කරන්නෙ ඒ නිසාමයි.

සෝ තැවුල්?

ප්‍රශ්නද හිතේ? ප්‍රිය විප්පයෝග, මුදල් ප්‍රශ්න, ලෙඩ රෝග ගැන සිතිවිලි වගේම වෘත්තීය ජීවිතේ අර්බුද කඳු ගැහිලා තියෙද්දි නම් වැඩ කරන්න මූඩ් එකක් නෑ කියල හිතේවි. මේ වගේ දේවල් නිසා අපේ මනස විෂාදය තත්ත්වයකට ඇදගෙන යන්න පුළුවන්. ඉතිං මෙහෙම වෙන්න කලින් ඔයත් ඔයාගෙ මූඩ් එක චිල් කරගන්න පොඩි පොඩි දේවල් හොයාගන්න. ආසම යූටියුබ් කොමඩ් ස්කිට් එකක් බලන්න, හිතට කදිම සැනසීමක් දැනෙන සුඛාන්තයක් තියෙන ෆිල්ම් එකක් බලන්න, ආසම කරන කෑම හෝ අතුරුපසක් කාලා එන්න වගේ වෙනසක් කරොත් මේ හැඟීමෙන් ක්ෂණිකව මිදෙන්නට පුළුවන් වේවි. ඒ වගේම සමහරුන්​ට නම් හිතේ තියෙන වැඩ කරන කික් එක ආපහු ගන්න එක සින්දුවක් ඇහුවත් ඇති.

Related Articles