Home LifestyleFashion කොරියානු විලාසිතාවලට ප්‍රිය කරන ඔබ ඒ පිළිබඳව දැනගත යුතු ම කරුණු කිහිපයක්.

කොරියානු විලාසිතාවලට ප්‍රිය කරන ඔබ ඒ පිළිබඳව දැනගත යුතු ම කරුණු කිහිපයක්.

by LADY.LK

කොරියානු පොප් සංගීතයට සහ කොරියානු ටෙලි නාට්‍යවලට ප්‍රිය කරන ඔබ නොඅනුමානවම කොරියානු තරුණියන්ගේ ඇඳුම් පැළඳුම් ගැනත් විමසිලිමත් වනවා ඇති. තමන්ගේ බාහිර පෙනුම සම්බන්ධව අතිශය සැළකිල්ලක් දක්වන කොරියානු තරුණියන් කුමන විලාසිතාවකින් සැරසුනත් ඔවුන්ට ම ආවේනික සුන්දරත්වයකින් දිස්වන්නේ කොහොමද කියන කුතුහලයත් ඔබ තුළ හටගන්නවා ඇති. මේ නිසා, කොරියානු විලාසිතාවලට ප්‍රිය කරන, එවැනි ඇඳුම් පැළඳුම් වලින් සැරසීමට කැමති, ඒවායේ සුවිශේෂී ලක්ෂණ ගැන සැළකිලිමත් වෙන ඔබ වෙනුවෙන් ම තමයි මේ ලිපිය ලියැවෙන්නේ. 

Hongdae Street styles

Hongdae කියලා කියන්නේ කොරියාවේ සියොල් නගරයට ආසන්නව පිහිටා ඇති ප්‍රදේශයක්. නාගරිකත්වය හා මුසු වූ කලාව, වීදී සංගීතය, සමාජ ශාලා, කඩ සාප්පු සහ විනෝදාස්වාදය වෙනුවෙන් ම වෙන්වුණු ප්‍රදේශයක් විදියටයි Hongdae සැළකෙන්නේ. මේ නිසා rock හා pop සංගීතයට ගැළපෙන කලාත්මක බවින් යුතු සැහැල්ලු ඇඳුම් මේ ප්‍රදේශය ආශ්‍රිත වීදි කඩ සාප්පුවලින් මිලට ගැනීමට හැකියාව තියෙනව. මේ ඇඟලුම් අතරින් විවිධ වර්ණයේ සහ ප්‍රමාණයෙන් විශාල T- shirts කෙටි සායවල්, කෙටි කලිසම් සහ සිරුරට හිර නමුත් සුවපහසු කලිසම් විශේෂ තැනක් ගන්නවා.

උඩුකය හොඳින් වැසෙන ඇඳුම්.

කොරියානු යුවතියන් සාමාන්‍යෙන් උඩු කය නිරාවරණය වන ආකාරයේ ඇඳුම් තෝරාගන්නේ නැහැ. උරහිස්, බෙල්ල, පපු ප්‍රදේශය, පිට පෙදෙස සහ උදරය හොඳින් වැසෙන ගවුම්, t- shirts සහ blouses වැනි ඇඳුම් වලින් තමන්‍ට පිරිසිදු සහ උසස් පෙනුමක් ලැබෙන බවට ඔවුන් විශ්වාස කරනවා. හැබැයි මේ වෙනකොට කොරියානු යුවතියන් off- shoulder/ cold shoulder ඇඳුම් සහ පපු පෙදෙස ආවරණය වන crop tops ඇඟලීමට වැඩි කැමත්තක් දක්වන බවත් පෙනී යනවා. Graphic shirts, සහ shirt dresses වලටත් කොරියානු විලාසිතා අතර ඉහළම තැනක් හිමිවෙනවා.

පාද නිරාවරණය වන ඇඳුම්.

උඩු කය හොඳින් වැසෙන ඇඳුම් ඇන්දත් පාද නිරාවරණය වන ආකාරයේ කෙටි සායවල්/ කලිසම් සහ ගවුම්වලට තමයි ඔවුන් වැඩි වශයෙන් ප්‍රියතාවයක් දක්වන්නේ. ඒ වගේම High waist pants/ shorts සහ skirts කොරියානු යුවතියන්ගේ විලාසිතා අතර වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මේ high waisted විලාසිතාවේ ඇඳුම් සමඟ අඳින top එක හෝ blouse එක ඉදිරිපසින් කලිසමට හෝ සායට යට කර ඇඳීම බහුලවම දකින්නට ලැබෙන විලාසිතාවක් විදියට හඳුන්වන්න පුළුවන්.   Skirts විලාසිතා ගැන කතා කරනවා නම්, ඒවා බොහෝවිට tennis skirts හෝ  bodycon විලාසිතාවේ ඒවා බව කියන්න පුළුවන්. ඒ වගේම ripped denim කලිසම්, ripped denim shorts වගේ ඇඳුමුත් ඔවුන් නිතර භාවිතයට එකතු කරගන්නවා.

ප්‍රමාණයෙන් විශාල ඇඳුම්.

Tops, coats සහ dresses තෝරාගැනීමේදී ශරීරයේ හැඩය සැඟවෙන ආකාරයේ විශාල ඇඳුම් තෝරාගැනීමට ඔවුන් ප්‍රියතාවය දක්වන අතර sweaters ස්වරූපයේ සැහැල්ලු උඩුකය ඇඳුම් කොරියානු යුවතියන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක් විදියට පෙන්වන්න පුළුවන්. මේ හේතුව නිසා සිරුරට හිර වූ කලිසමක් හෝ සායක් සමඟින් විශාල උඩුකය ඇඳුමක් ඇඳීම ඔවුන්ගේ ප්‍රියතම තෝරගැනීමක් බව පෙනී යනවා. 

ඇඳුම් තට්ටු දෙක තුනක්

නිතරම තමන්ගේ ඇඳුමට සුවිශේෂී බවක් එක් කරගැනීමට කැමති කොරියානු යුවතියන් අතර උඩු කයට ඇඳුම් තට්ටු දෙකක් ඇඳීමේ විලාසිතාව නිතර භාවිත වෙනවා. සිරුරට තද t- shirt එකකට උඩින් අත දිග කමිසයක් වැනි ඇඳුමක් ඇඳීම හෝ දනහිස තෙක් දිගු ඇඳුමකට උඩින් නූලෙන් ගෙතූ විනිවිද පෙනෙන සුළු කෙටි coat එකක් ඇඳීම  උදාහරණ විදියට පෙන්වන්න පුලුවන්. තමන්ගේ ප්‍රියතාවය අනුව තෝරා බේරාගෙන මෙලෙස ඇඳීම මඟින් ඔවුන් බලාපොරොත්තු වන්නේ උඩුකය හොඳින් ආවරණය වීම සහ තමන්ගේ කැපී පෙනෙන සුන්දර පෙනුම ඔප් නංවා ගැනීමයි.

Pleated skirts/ Ruffled skirts

කොරියානු දැරියන්ගේ පාසල් නිල ඇඳුමට බොහෝවිට අයත් වන්නේ කෙටි සායක් සහ කමිසයක් වන අතර සාමාන්‍ය එදිනෙදා භාවිතා කරන ඇඳුම් පැළඳුම් වලටත් කොරියානු තරුණියන් මෙවැනි රැලි සහිත කෙටි සායවල් සහ කෙටි අත් සහිත blouses එකතු කරගන්නවා දකින්නට ලැබෙනවා. රැලි සහිත දිගු සායවල් පවා සුදුසු ආයිත්තම් සමඟින් ගළපා ගැනීමෙන් මනා පෙනුමක් ලබා ගැනීමේ දක්ෂතාවය මොවුන් සතුවන බව කියන්න පුලුවන්. ඒ වගේ ම short ruffled skirt ඇඟලීමත් බහුලවම දක්න ලැබෙන විලාසිතාවක් වෙනවා.

නොගැළපීම් ගළපා ගැනීම

එකිනෙකට වෙනස් වර්ණ, මෝස්තර සහ රටා වලින් යුතු ඇඳුම් සහ පාවහන් වැනි දෑ සුදුසු පරිදි ගළපාගෙන ඒවාට සුවිශේෂී බවක් එක කරගනිමින් කැපී පෙනෙන ආකාරයට විලාසිතා කිරීම කොරියානු විලාසිතාවල කැපී පෙනෙන ලක්ෂණයක් විදියට පෙන්වන්න පුළුවන්. ඉහත දැක්වූ වෙනස්කම් වලින් සමන්විත Top එකක්, කෙටි සායක්, legging එකක් සහ සපත්තු ජෝඩුවක් මනාව ගළපාගෙන ඇඳීමත් අනෙකුත් ආයිත්තම්වලින් තම පෙනුම වැඩි කරගැනීමත් උදාහරණයක් විදියට පෙන්වන්න පුලුවන්.

සාමාන්‍යෙන් කොරියානු යුවතියන් විශාල සහ බරැති ආභරණ නොපළදින අතර සරල මෝස්තරවල කුඩා මාල, කරාඹු සහ අත් පළඳනා පාවිච්චි කරනවා. අඩිය උස පාවහන්වලට සහ කකුල සම්පුර්ණයෙන් වැසෙන sneakers සහ boots වැනි පාවහන් වලටත් මොවුන් වැඩි වශයෙන් ප්‍රිය කරන බව පෙනී යනවා. දිගු handles සහිත handbags, පාසල් බෑග වැනි විවිධ වර්ණවල bags, cotton/ canvas shoulder bags වගේ විලාසිතාවල bags කොරියානු යුවතියන් අතර වඩාත් ප්‍රචලිත වෙලා තියෙන බව කියන්න පුළුවන්.

Related Articles