Home LifestyleFashion විලාසිතා කරද්දි මේ අවදානම් මගහැරගන්න සැළකිලිමත් වෙන්න

විලාසිතා කරද්දි මේ අවදානම් මගහැරගන්න සැළකිලිමත් වෙන්න

by LADY.LK

ඕනම කාන්තාවක් තමන්ටම ගැලපෙන තමන්ටම ආවේණික විලාසිතාවකට හැඩ ගැහිලා ඉන්නවා. සමහර අය නම් අලුත් අලුත් විලාසිතා අත්හදා බලනවා වගේම තමන්ට ගැලපෙන විදියට විලාසිතා අලුත්වැඩියා කරගන්නත් පෙළඹෙනවා. මේ සටහන එහෙම කරන්න යන විලාසිතා වරදින්න පුළුවන් විදි ගැනයි. විලාසිතා කිවුවම අපි කතා කරන්නේ ඇඳුම් ගැන විතරක් නෙමෙයි. මේ කියන්නේ හිසකෙස්, සම, ආලේපන, සුවඳ විළවුන්, ආභරණ වගේම අත්බෑග, ඔරලෝසු සහ සපත්තු ආදී සියළු දේ ගැනයි. එනිසාම මේ සටහන සියළු කාන්තාවන්ට එක සේ ප්‍රයෝජනවත් වේවි.

ඇත්තටම ඉතිං මේ සියල්ලටම පොදු හේතුව අපි අපි ගැන නොහිතා අනුන්ගේ ඇස් පිනවන්න උත්සාහ කිරීම තමයි. අපි අපිට පහසු සහ අපිට ගැලපෙන විලාසිතාව තෝරගන්නා තරම​ට අපි මේ සටහනේදි ඉදිරියේදී කියන වේදනාවන් අපිට දැනෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා හැම තිස්සෙම නොයෙක් වූ නිරූපණ ශිල්පීන්ට ගැලපෙන නිසා, ලාබ නිසා, තෑගි ලැබුනු නිසා ඔබේ සිරුරට අවැඩක් කරගන්න එපා. 

හිසකෙස්

උඩ ඉඳන් යටට කතා කරන්න ගමුකො. හිසකෙස් විලාසිතා කියන්නෙ ඕනම කෙනෙක් කරන සාමාන්‍ය දෙයක්. කෝණ්ඩයේ ස්වභාවය වෙනස් කිරීමක් කරන මෝස්තරයක්, කොණ්ඩය කැපීමක් හෝ Hair Extension එකක් හරහා දිගු කිරීමක්, හෝ වර්ණ ගැන්වීමක් කොණ්ඩයට සිදු කරන්න පුළුවන්. සමහරු මේ දේවල් තමන් විසින්ම කරගත්තත්, ඇතැමුන් යාළුවන් හරහා මෙන්ම රූපලාවන්‍යාගාර හරහාත් කරගන්නවා. ඉතිං මේ දේවල්වලදි වෙන්න පුළුවන් ලොකුම අවුල තමයි තමන්ට නොගැලපෙන දේවල් සිද්ධ කිරීම. නොගැලපෙන දේ කියන එකෙන් අපි අදහස් කළේ තමන්ගේ ශරීරයේ පෙණුමට, තමන්ගේ කොණ්ඩයේ ස්වභාවයට, රැකියාවට, වයසට නොගැලපෙන කොණ්ඩා මෝස්තර සහ වර්ණ ගැන්වීම් සිද්ධ කිරීම. මේක සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එයින් අඩුම සම්භාවිතාවක් තියෙන්නේ රූපලාවන්‍යශිල්පිනියන් විසින් යෝජනා කරන ඇතැම් විලාසිතායි. ඒ හැරෙන්නට රූපවාහිනියේ දකින නොයෙක් දේ කොණ්ඩයට සිද්ධ කරන්නට යෑමෙන් මෙන්ම, තවත් නොයෙක් අය යෝජනා කරන විලාසිතා සිදු කරන්නට යෑමෙන් මේ තත්ත්වය ඇති වෙනවා. 

මේ තත්ත්වයම ඇති වෙන්නට හැකි තවත් විදියක් වෙන්නේ මෙම කොණ්ඩා මෝස්තර වෙනුවෙන් භාවිතා කරන ඇතැම් නිෂ්පාදනවල රසායනික සංයුතියයි. මේවා නිසා ඇතැම්විට කොණ්ඩය යන්නට හෝ කොණ්ඩයට හානි වන්නට වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම ඇතැම් පුහුණු ශිල්පිනියන් අතින් නොමිලේ සිදු කරදෙන මෝස්තර නිසාත් මෙවන් හානි සිදු විය හැකියි.

ඇස්

විලාසිතා නිසා ඇස්වලට හානි වීමටත් වැඩි ඉඩක් තිබෙනවා. ඉන් ප්‍රධානම හානියක් වන්නේ නොයෙක් වර්ණ ගැන්වූ කාච නිසා සිදු විය හැකි හානියයි. මෙම තත්ත්වය නිසා ඇසට විශාල හානියක් සිදුවන්නට ඉඩ තිබෙනවා වගේම පෙණීම නැතිවීමේ ප්‍රවණතාද වර්ධනය වී තිබෙනු අන්තර්ජාලයෙන් දැකිය හැකියි. ඒ වගේම ඇසට නොසරිලන නොයෙක් වූ අවු කණ්නාඩි පැළඳීමද ඇස්වලට හානිකරයි. තවදුරටත් ඇතැමුන් ඇහි බැමි සම්පූර්ණයෙන්ම ඉවත් කර, පැන්සලකින් එය ඇඳීමට හුරු වීමත් ඇස්වලට හානිකර තත්ත්වයක්.

නාසය සහ මුඛය

නොයෙකුත් පියර්සින් නිසා ආසාත්මිකතා ඇති වීමට වගේම අපහසුතා ඇතිවීමට සිද්ධවන ප්‍රධානම අවයව දෙකක් විදියට නාසය සහ මුඛය හඳුන්වන්නට හැකියි. බොහෝදෙනෙකු රැල්ලට සිදු කරන පියර්සින් කලාව නිසා නොහිතා​ නොබලා සිදුවන අනතුරු ප්‍රමාණය නාසය සහ මුඛය අසළ වැඩියි. ඒ වගේම ඇතැම් ආහාර නිසා මුඛය ආශ්‍රිත බිබිලි හටගැනීම්ද මෙවැනි පියර්සින් සිදු කළ ලෝහයන් හා ප්‍රතික්‍රියා කිරීම්ද ඇති වීමට ඉඩ තිබෙනවා. තව දුරටත් නිර්දේශිත නැති සන්නාමයන්ගේ ලිප්ස්ටික් වර්ග පවා වැඩි ලෙඩ් සංයුතියකින් යුතු වීම නිසා ඔබේ මුඛයට හානි කර වෙන්නට හැකියි. ලිප්ස්ටික් වර්ග සම්බන්ධයෙන් සිදු කළ මෙම ප්‍රකාශය නම් කියුටෙක්ස් හෝ සුවඳ විළවුන් වැනි ඕනෑම ආලේපනයකට පොදු කාරණයක් නිසා ඔබ තෝරාගන්නා සන්නාමයන් ගැන දැඩි අවධානයකින් පසු විය යුතුයි.

සම

සුදු වෙන්නට කියා සිදු කරන නොයෙක් රූපලාවණ්‍ය සත්කාර, විශේෂ සැළකිල්ලකින් සිදු කළ යුතුයි. සම කියන්නෙ අපේ ශරීරයේ විශාලම අවයවයයි. එනිසා එහි කොටසකට හෝ හානි කිරීම දැඩි අලාබ හානියක්. ඒ නිසා සමට භාවිතා කරන ක්‍රීම් වර්ග වගේම, ස්නානයේදී පාවිච්චි කරන සබන් හෝ ලෝෂන් වර්ග සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතුයි. වෙළඳපොළේ මිලෙන් අඩු එහෙත් බාල නිෂ්පාදන බොහොමයක් තිබෙන නිසා මේ ගැන විශේෂ සැළකිල්ලක් යොමු කළ යුතු වන්නේ, ඇතැම් විට ක්ෂණික ප්‍රතිඵල ලැබීම යනු කිසිසේත්ම විශ්වාස කරන්නට හැකි තත්ත්වයක් නොවෙන නිසායි.

සපත්තු

කාන්තාවන්ගේ දෙපා හැඩ කරන්නට වගේම ශරීරයට යම් උස් බවක් ගෙනෙන්නත් භාවිතා කරන සපත්තු නිසා කාන්තා ඔබට හානි සිදු විය හැකියි. මෙම හානිය දෙපයේ සිට පිට කොන්ද දක්වා බළපාන්නටත් ඉඩ තිබෙන නිසාම ඔබ මේ ගැන වඩා සැළකිලිමත් විය යුතුයි. සපත්තුවේ ඇතුළත තත්ත්වය නිසා ඇති විය හැකි තුවාල හෝ ආසාධන වගේම, සපත්තුවේ හැඩය නිසා ඇති විය හැකි දෙපයේ ආබාධ, සපත්තුවේ උස් අඩි නිසා ඇති විය හැකි කොන්දේ ආබාධ ඉන් සමහරක් පමණයි. ඒ වගේම ඔබ ඒ ඒ සපත්තුව පළඳින අවස්ථාව අනුවත් ඔබේ සිරුරට අපහසුතාවයක් දැනෙන්නට ඉඩ ඇති ආකාර බොහෝ තිබෙනවා.

Related Articles