Home LifestyleFashion පාවහන් යුවලක් සුවපහසුදායක කරගන්න tips කිහිපයක්

පාවහන් යුවලක් සුවපහසුදායක කරගන්න tips කිහිපයක්

by LADY.LK

පාවහන් පැළඳීමට ප්‍රධාන ම හේතුව වෙන්නේ පාද ආරක්ෂා කරගැනීමයි. නමුත් ඉතින් විලාසිතා ගැන කතා කරනකොටත් අමතක කරන්න බැරි අංගයක් විදියට පාවහන් සළකන්න පුලුවන්. හැබැයි බොහොම ආසාවෙන් තෝරගත්ත පාවහන් යුවළක් කොයිතරම් ආකර්ෂණීය වුණත්, අනෙක් ඇඳුම් පැළඳුම්වලට කොයිතරම් හොඳින් ගැළපුණත්, පැළඳගෙන ඉන්න වෙලාවට ඔබට අපහසුයි නම් ඒ ආකර්ෂණීය බවෙන් ඵලක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ ලිපියෙන් කතා කරන්නේ පාවහන් වලින් ඇතිවෙන අපහසුතා මඟහරවා ගන්න අනුගමනය කරන්න පුලුවන් උපක්‍රම කිහිපයක් ගැනයි. බලන්න මේ දේවල් ඔබටත් ගැළපෙනවද කියලා.

පැළඳගෙන ඉන්නේ කකුලට ගැළපෙන ම size එකේ පාවහන් ද?

සිරුරේ බර සම්පූර්ණයෙන් දරාගන්නත්, විවිධාකාර මතුපිටවල් හරහා ගැටීමටත් විතරක් නෙවෙයි පෙනුම සහ ඇවිදීමේ රටාව සුන්දර කරන්නත් කියන හැමදේම ගැන වගබලා ගන්න ඔබේ පාවහන්වලට සිදු වෙනවා. මේ නිසා මිල ටිකක් වැඩිවුණත් හැකිතරම් උසස් තත්ත්වයේ පාවහන් මිලට ගැනීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඒ වගේම පාවහන් මිලට ගන්නා විට කකුලේ දිග පළලට නියමාකාරයෙන් ම ගැළපෙන පාවහන් මිලට ගන්නවා නම් බොහෝ අසීරුකම් මඟහරවා ගන්න හැකියාව ලැබෙනවා. 

මුලින්ම කකුලට හුරු කරගමු

දිනපතා පාවිච්චියට කොයි තරම් පාවහන් තිබුණත්, විශේෂ අවස්ථාවක් වෙනුවෙන් අලුතින් ම පාවහන් මිලට ගන්න ඔබ ප්‍රියකරන බව අපි දන්නවා. හැබැයි මේ අලුත් පාවහන් පළමු වරටම ඒ විශේෂ අවස්ථාව වෙනුවෙන් පැළඳීම නම් එතරම් සුදුසු වන්නේ නෑ. මිලට ගත්පසු ඒවා පැළඳගෙන සැළකිය යුතු වෙලාවක්  නිවස තුළ ම ඇවිද බලන්න. පාවහන්වලින් යම් අපහසුතාවයක් ඇතිවෙනවාද කියන කාරණය මේ හරහා වටහාගන්න පුලුවන් වෙනවා. හවස් වරුවක මේ දේ කරනවා නම් වඩාත් සුදුසුයි.

පාවහන් මෘදු කරගන්න

ලී හෝ Plastic Shoe shapers/ stretchers පාවිච්චි කිරීමෙන් පාවහන් මෘදු ඇදීමකට ලක් කරන්න පුළුවන්කම තියෙනවා. සම්පූර්ණ රැයක් පුරාවට මේ shoe shapers පාවහනට යොදා තැබීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගන්න පුලුවන්. පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් පාවහන්වල තද ස්ථානවල ආලේප කිරීමෙනුත් පාවහන් පැළදීමට පහසුවෙන අතර කල්පැවැත්ම සහ පැහැය ගැන වඩා සැලකිළිමත් වෙනවා නම් leather conditioner භාවිතා කිරීම වඩා සුදුසු වෙනවා. ඔබ ළඟ තියෙන Hair- dryer එකත් මේ කාරණයේදි ප්‍රයෝජණවත් වෙන බව දන්නවද? කකුල්වලට තරමක් ඝන මේස් දමා පාවහන් පැළදගන්න. Hair dryer එක පාවිච්චි කරමින්, මධ්‍යම ප්‍රමාණයේ උණුසුමක්‍ යොදමින්, තත්පර 30ක් පමණ පාවහන්වල තද ස්ථාන උණුසුම් කරන්න. පාවහන්වල උණුසුම් බව සහ ඇදෙනසුළු ගතිය රැඳී තිබෙද්දීම මඳක් ඇවිද ඉන්පසු විනාඩි කිහිපයකට පසු මේස් ඉවත්කර, පාවහන් පමණක් පැළඳගෙන ඇවිද බලන්න.

කකුල්වල ආරක්ෂාව සඳහා..

පාවහන් වල හැඩය, දිග, පළල, සහ ඇඟිලි සවිවන ස්ථාන ඔබේ පාදය හා නොගැළපෙනවා නම් කොයි තරම් අලංකාර වුණත් එවැනි පාවහන් මිලට ගැනීම සුදුසු වෙන්නේ නෑ. නමුත් යම් විදියකින් මේ කියන එක් ගැටළුවක් හෝ ඇත්නම්, පාදවල ආරක්ෂාව සඳහා ඔබට යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න සිදුවෙනවා. 

පාදයේ පැහැයට ගැළපෙන මෘදු, cotton මේස් දෙකක් භාවිතා කිරීම මඟින් දහදිය උරාගෙන පාද වියළිව තැබීමත්, පාවහන් පාදය හා තදින් ගැටීම වැළකීමත් වළක්වනවා. ඒ වගේම පාදයේ ගැටළුකාරී ස්ථානවලට (hot spot) Plaster එකක් ඇළවීම බොහෝ දෙනෙක් අනුගමනය කරන සුලබ සහ පහසුම උපක්‍රමයක් විදියට පෙන්වන්න පුලුවන්. ඊට අමතරව පාදයේ තෙවන සහ සිව්වන ඇඟිලි එක්ව තබා උඩින් plaster එකක් ඇළවීමත් සාර්ථක ප්‍රතිඵල ලබාදෙනවා.

පාවහන් වෙළෙඳසැල් වලින් හෝ අන්තර්ජාලය හරහා මිලට ගැනීමේ හැකියාව ඇති silicone insoles වඩාත් ඵලදායක වන අතර මේවා සම්පූර්ණ පාදයටම ගැළපෙන සහ ඇඟිලි කොටසට/ විලුඹ කොටසට පමණක් ගැළපෙන ඒවා වශයෙන් වර්ග දෙකකින් මිලට ගැනීමේ හැකියාව තියෙනවා. High heels පැළඳීමේදී යෙදිය හැකි silicone heel inserts/ heel grips මඟිනුත් පාදයේ ආරක්ෂාව රැකගන්න පුලුවන් වෙනවා. Shoe pads/ shoe beds වැනි දෑ නිපදවා ඇත්තේත් පාවහන් පැළදීමේදී ඇතිවන අපහසුතා මඟහැරවීමට නිසා මෙවැනි දේ භාවිතා කිරීම මඟිනුත් පාදවල සනීපාරක්ෂාව සළසා ගන්න පුලුවන්කම තියෙනවා. ඊට අමතරව සෞඛ්‍යාරක්ෂිත රෙදිවලින් නිමවා ඇති reusable toe protectors පාවිච්චි කිරීම මඟින් ඇඟිලිවල ඇතිවන වේදනාවන් මඟහරවා ගන්න පුලුවන්.

ඉහත කී කරුණුවලට අමතරව baby powder ස්වල්පයක් ආලේප කිරීමෙන් පසු පාවහන් පැළඳීම සාර්ථක වුවත්, මෙයින් ප්‍රතිඵල ලබා ගැනීමට නම් පාදය සම්පූර්ණයෙන් වියළිව තිබීම අත්‍යවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ ස්ථානවල deodorant ස්වල්පයක් ආලේප කිරීමත් හොඳ උපක්‍රමයක් විදියට පෙන්වන්න පුලුවන්. හැකියාවක් ඇත්නම් වරින් වර පාවහන් පාදවලින් ඉවත් කර තබා පාදවලට නිදහසක් කබා දීමෙන් මේ ඕනෑම ආකාරයක අපහසුතාවන් තරමක් දුරට හෝ වළක්වාගන්න ඔබට හැකියාව ලැබෙනවා.

Related Articles