Home Novel Episode පිනි වගේද ආදරේ – Episode 05

පිනි වගේද ආදරේ – Episode 05

by LADY.LK

දිනිති හෙට්ටිආරච්චි ලියයි

ගයාන් නිසා හිතේ කේන්තියෙන් ඉන්න අශේනිට ශෙනාලි කන්න යන්න කතා කළේ බඩගිනි නිසාම නෙමෙයි. අශේනිගෙ හිත හදන්නත් එක්ක. දවල්ට කෑම කන්න කාවිංගටත් කතා කරන්නද කියලා ඇහුවම අශේනිගෙ හිතට සතුටු හිතුනා. අශේනි හා කිවුවා. ඒ වගේම අශේනිට තවත් පොඩි සැකයක් දැණුනා. ඒ තමයි ෂෙනාලි ඇත්තටම කාවිංගට කැමතියිද? කියන එක. ෂෙනාලිට ආදර කතාවක් තිබුණත් ඒ ආදර කතාව ෂෙනාලිගෙ හිතට ඒ තරම් නිදහසක් සහ සතුටක් ගේන දෙයක් විදියට පෙණුනෙ නෑ. ඒ නිසා අශේනි හිතුවා ෂෙනාලි සාධාරණයි කියලා. මොකද කාවිංග කියන්නෙ කොහොමත් හිත ඇදිලා යන කොල්ලෙක්. එයා කඩවසම් වගේම, මහන්සි වෙලා වැඩ කරන, හොඳ ගති ගුණ තියෙන කෙනෙක්. අශේනිට පුදුමත් හිතුණා. කාලෙකින් තමයි අශේනිගෙ හිතට කොල්ලෙක් ගැන මෙහෙම හිතුණෙ.

කමුද?

කාවිංග එනකං ඉමු.

හරි ෂෙනාලි

මං එයාට එන්න කියලා අපි මුලින් කන එක හරි නෑනෙ.

හ්ම්ම්ම්…

එයා වැඩ වගේක ඉන්නෙ. ටිකක් වෙලා යයි. ඔයාට බඩගිනියිද?

අපෝ නෑ කමක් නෑ.

ඒ වෙද්දිත් ලන්ච් රූම් එකේ කවුරුත් හිටියෙ නෑ. අශේනිට ඕන වුණා ෂෙනාලිගෙ හිතේ කාවිංග ගැන තියෙන අදහස දැනගන්න. 

කාවිංග මහන්සි වෙනවා නේද?

අම්මෝ ඔව්. අපි හැමෝටම වඩා

ඇයි ඉතිං ඒ?

එයාට එක්ස්පීරියන්ස් තියෙනවා වයස අඩු වුණාට

හ්ම්ම්ම්…

ඒ වගේමයි බොසුත් එයාට කැමතියි හුඟක්

හ්ම්ම්ම්…

ඉතිං කට්ටිය නං ටිකක් එයා ගැන අවුල්

කවුද කට්ටිය?

ගයාන්, සරිත් එහෙම හිනා​ වෙලා හිටියට හිතින් ටිකක් අවුල්

හ්ම්ම්ම්…

ඒත් ඉතිං මොකුත් කරන්න බෑ කාවිංගට

ඇයි ඒ?

බොස්ට කේලං කියන්න බෑ, බොසුයි කාවිංගයි හොඳ යාළුවො වගේ ඉන්නෙ

හ්ම්ම්ම්ම්…

අනික මේකෙ කෙල්ලො ගොඩක් කාවිංගට කැමතියි. ඒ නිසා එයාලගෙ කටින් මොනවහරි කාවිංග දැනගත්තොත් හරි නෑනෙ..

හ්ම්ම්ම්… කවුද කෙල්ලො?

දැනටනං මට තේරිලා තියෙන්නෙ චමෝදියි ඒ ටීම් එකම වගේ කැමතියි කියල

චමෝදිට බෝයි කෙනෙක් ඉන්නව නේද?

ඉන්නව ඉන්නව… ඔය මටත් ඉන්නෙ

ඒ කියන්නෙ ඔයත් කැමතිද කාවිංගට

ඔව්, හැබැයි මං ඒක එයාට දැනෙන්න දෙන්නෙ නෑ.

ඇයි?

එයා අනිත් අයට වඩා මට සළකන්නෙ එයාගෙම අක්කා කෙනෙකුට වගේ

හ්ම්ම්ම්

එහෙම තියෙද්දි මං එයාට කැමතියි කියල දැනගත්තොත් හරි නෑනෙ

හ්ම්ම්ම්…

ඔයාට විතරයි කිවුවෙ හොඳේ.. කාටවත් කියන්න එපා

එතකොටම කාවිංග ආවා. ෂෙනාලි කතා කර කර හිටපු දේ ටක් ගාලා ගිලගත්තා. කාවිංග ඇවිත් වාඩි වුණේ ෂෙනාලිටයි අශේනිටයි ඉස්සරහින්. කාවිංග බත් එකක් ගෙනල්ලා තිබුණා.

අනේ තැන්කියු අක්කා කරපු උදවුවට හොඳේ

ඕක මොකද්ද? මට බාගයයිනෙ කරන්න වුණෙත්

බාගයක් හරි ඔළුවෙන් නිදහස් කරලා දීපු එක වටිනවා.

ගයාන් ඔයාට බැන්නද?

අපෝ නෑ. එයා කිවුවෙ ඔයාට වැඩ වැඩි වුණොත් ප්‍රෙෂර් වෙයි කියලා

හ්ම්ම්ම්…

ෂෙනාලි අක්කා ඇයි සද්ද නැත්තෙ

මොකුත් නෑ… ඔයාගෙ බත් එක හරිම රසයිනෙ මල්ලි

කන්න කන්න.. මට පුළුවන්නෙ ඔය දෙන්නගෙ බත්වලින් කන්න

අම්මට රසට උයන්න පුළුවන් නේද?

අද අම්මා නෙමෙයි අක්කෙ

එහෙනං නංගිද?

අම්මට සනීප නෑ. නංගිට උදේ ලෙක්චර්ස්. මම ඉවුවෙ

නියමයිනෙ. මේ ගානට පොලොස් උයන්න මටත් බෑ

මට අම්මා උයන්න ඉගැන්නුවා.

ඔයාව කසාද බඳින කෙනාට හොඳයි..

ඔව් ඔව් උයලා දෙනවා එපා කියනකං

ඒක කිවුවම අශේනිට ෂෙනාලි දිහා බැලුනා. ෂෙනාලිත් මොකුත් වෙනසක් නොපෙන්නා හිනා වුණා. කාවිංගට කෝල් එකක් ආවා. එයා කතා වුණේ චිත්‍රයක් ගැන. ගෑනු ළමයි දෙන්නට දිගටම කන්න කියලා කාවිංග එළියට ගියා.

පවු වැඩේ. අපි එක්ක කන්න ඇවිත් කොල්ලට එයාගෙ බත් එකත් නැති වුණා

හ්ම්ම්ම්… අපි එක බත් එකක් තියලා තියමුද එයාට

හා ඒක හොඳයි…

හැබැයි අද මං ගාව තියෙන්නෙ කඩෙන් ගෙනාපු එකක්

කමක් නෑ කොල්ලා කඩෙනුත් කනවා…

මොනවද ඒ චිත්‍ර ගැන කතා වුණේ…

කාවිංගට චිත්‍ර අඳින්න පුළුවන්..

ආ..

එයා පෝට්‍රේට්ස් අඳින බිස්නස් එකක් කරනවා.

ආ… නියමයිනෙ

අශේනිගෙ හිතට කාවිංග ගැන හරිම සතුටුයි. අශේනිටත් චිත්‍ර අඳින්න පුළුවන්. ඒත් අශේනි තවදාවත් ඒක බිස්නස් එකක් විදියට කරන්න හිතුවෙ නෑ. අශේනි බිස්නස් එකක් පටන්ගන්න බලාගෙනයි රස්සාවකට කොළඹ ආවෙත්. ඒත් අශේනිට එයාගෙ චිත්‍ර හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියන එක අමතක වුණා. එතකොටම ෂෙනාලිට කෝල් එක ආවා එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගෙන්. ෂෙනාලා කෑම කන බව කියලා කෝල් එක කට් කළා. ටිකකින් කාවිංග ආවා. එතකොට ඒ දෙන්නා කාවිංගගෙ බත් එකයි ෂෙනාලිගෙ බත් එකයි කාලා ඉවරයි. අශේනිගෙ බත් එක කාවිංගට ඉතුරු කරලා තිබුණෙ.

ආ මල්ලි මේක කන්න

ඇයි මට තනියම බත් එකක්..

අපි ඔයාගෙ එක කෑවා.. ඒක රසයිනෙ

කමක් නෑ අක්කා.. මං උයපු එක කන්න මටත් ලොකු ආසාවක් තිබුණෙ නෑ

කමක් නැද්ද මේක කඩේ බත් එකක් වුණාට

අපෝ කමක් නෑ… අපරාදෙ අර කෝල් එක බොරුවක්නෙ

ඒ ඇයි?

මං හිතුවෙ චිත්‍රයක් ඇඳගන්න කෙනෙක් කියලා

ඉතිං

බලද්දි චමෝදි අක්කා වෙනිං නම්බර් එකකින් ප්‍රෑන්ක් එකක් කරලා තියෙන්නෙ

පිස්සුනෙ එයාටත්. ඔයාට බත් කන්නත් නැති වුණා

ඒක කමක් නෑ අක්කා.. විහිළුවටනෙ

ඕවා විහිළුම නෙමෙයි මල්ලා…

කාවිංගට නිදහසේ කන්න දීලා ෂෙනාලියි අශේනියි එතනින් ආවා. එද්දිම ඉස්සරහට හම්බුණේ චමෝදි. අශේනි නම් චමෝදි එක්ක හිනා වුණා. ඒත් ෂෙනාලි අර කරපු වැඩේට ඔරවගෙන ගියේ. එතනින් චමෝදි යද්දි කියපු කතාවනං ටිකක් සැරයි.

ආ… තුන්දෙනා හොඳට කෑවද?

ඊලඟ කොටසට…

Related Articles