Home Parenting පොඩ්ඩට පාවහන් තෝරන්නේ මෙහෙමයි

පොඩ්ඩට පාවහන් තෝරන්නේ මෙහෙමයි

by ladylk

තමන්ගේ පොඩ්ඩට ලස්සන පාවහන් පළඳවලා හැඩ බලන්න අම්මලා හරිම කැමතියිනේ. හැබැයි ඉතින් අවුරුදු 18 වෙනකන් වේගයෙන් වර්ධනය වෙන සිරුරක් තියෙන පොඩි දරුවොන්ට ගැළපෙනම සහ ලස්සනම පාවහන් හොයන එක එතරම් ලේසි පහසු කටයුත්තක් නම් නෙවෙයි. ඉතින් අපි හිතුවා පොඩි දරුවෙක්ට පාවහන් තේරීමේදි සැළකිලිමත් විය යුත්තේ කොයි වගේ කරුණු ගැනද කියලා කතා බහ කරන්න. බලන්න ඔබත් ඔබේ පොඩිත්තට පාවහන් තේරීමේදී මේ කියන කරුණු ගැන අවධානය යොමු කරනවද කියලා.

නොගැළපෙන පාවහන් දැම්මොත් මොකද වෙන්නේ

පොඩි දරුවෙක්ගේ සිරුර අවුරුදු 18 වෙනකන් වේගයෙන් වර්ධනය වෙනවා කියලා අපි දන්නවනේ. මේ නිසා පොඩ්ඩොන්ට පාවහන් තේරීමේදී ඔවුන්ගේ පාදවල වර්ධනයට බාධාවක් නොවෙන, සෞඛ්‍යාරක්ෂිත සහ සුවපහසුදායක ම පාවහන් තේරීමට වගබලා ගතයුතු වෙනවා. මොකද, නුසුදුසු පාවහන් පැළදීම නිසා පාදයේ සම රළු වීම, දිය බිබිළි, තුවාළ සහ ingrown toenails ඇතිවෙන්නට වුනත් ඉඩකඩ තියෙනවා. දීර්ඝකාලීන බලපෑම් ගත්තම, පාදවල සහ පා ඇඟිලිවල අංග විකලතා හටගැනීම, ඉරියව්වල සහ ඇවිදීමේ ගැටළු ඇතිවීම වගේම back pain ඇතුළු පාද ආශ්‍රිත නොයෙකුත් වේදනාවල් හටගන්නටත්  වැඩි ඉඩකඩක් තියෙනවා. 

අලුත් පාවහන් මිලට ගන්න කාලය හරි

පාවහන් පැළඳගෙන ඉන්න වෙලාවට දැනෙන අපහසුතාවයක් ගැන පොඩ්ඩා පැමිණිලි කරනවා නම් කිසිසේත්ම ඒ පැමිණිල්ල නොසළකා හරින්නෙපා කියලා අපි මුලින්ම සිහිපත් කරනවා. පාදවල දෙපස වේදනාවට පත්වෙනවා නම් ප්‍රමාණවත් තරම් පළලැති පාවහන් නොවෙන්නත්, ඇඟිලි තුඩු සහ ඇඟිලි වේදනා ගෙන දෙනවා නම් හෝ ඇඟිලි තුඩුවලින් ඉහළට එසවෙලා නම් toe box එක කුඩා වැඩිවෙන්නටත්, දිගින් අඩු පාවහන් නම් විලුඹ ආශ්‍රිතව දිය බිබිළි හෝ කැපීම් ඇති වෙන්නට හැකියාව තියෙනවා. නිරන්තරයෙන් වේදනාගෙන දෙන පාද නිසා දරුවාගේ එදිනෙදා වැඩකටයුතු සහ ක්‍රියාකාරකම් වලට පවා බාධා සිදුවන නිසා නිතරම පොඩ්ඩාගේ පාවහන් වල තත්ත්වය පරික්ෂා කරලා ඒවා වෙනස් කළයුතු කාල සීමාවේදී අනිවාර්යයෙන් ම එය සිදු කිරීමට වගබලා ගත යුතු වෙනවා.

කකුල් හරියටම මැනගන්න

නිවසේදී measurements ගන්නවට වඩා shoe store එකේදි මේ දේ කරනවා නම් වඩා සාර්ථක වෙයි කියලා අපි හිතනවා. මොකද, නිවැරදිව පාදවල දිග සහ පළල මනින්න පුළුවන් උපකරණ ඒ අය ළඟ තියෙන නිසා. Measurements ගන්නකොට පාදවලට හොඳට බර තියෙන විදියට පොඩ්ඩාව කෙලින් හිටගස්වලා, පාද හොඳින් දිගහැරලා, පාද දෙකේම measurements ගන්න. ඒ වගේම තමයි මේ කාර්‍යය හවස් වරුවක කරනවා නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න හැකියාව ලැබෙනවා. මිලට ගන්න පාවහන් යුවල Shoe store එකේදි විනාඩියක් දෙකක් දාගෙන සිටීම සහ මිලට ගැනීමෙන් පසුව දීර්ඝ කාලයක් පැළඳීම හාත්පසින්ම වෙනස් නිසා ඇවිදිනකොට හරියයි, ඇදෙනකොට හරියයි වගේ දේවල් නොසිතා හොඳින්ම ගැළපෙන පාවහන් යුවල මිලට ගන්න උත්සහ කරන්න කියලා අපි මතක් කරනවා.

ඕනෑවට වඩා ලොකු සපත්තු එපා

පාදයේ ප්‍රමාණයට වඩා අඟල් බාගයක පමණ වැඩි ඉඩක් තබා පාවහන් මිලට ගැනීම ප්‍රමාණවත් වෙනවා. ඊට වඩා විශාල පාවහන් පැළදීම නිසා පොඩ්ඩාට නිවැරදි ඉරියව්වෙන් ඇවිදීමට අපහසු වෙන අතර පාද ලිස්සා යන්නටත් ඉඩ තියෙනවා. ඒ වගේම පමණට වඩා විශාල පාවහන් පැළඳීම ප්‍රියමනාප වෙන්නෙත් නැහැ. පමණට වඩා විශාල පාවහන් නිසා යන්තමින් පා තබමින් ඇවිදින්නට හුරු වෙන කුඩා දරුවොන්ට නිවැරදිව ඒ කාර්‍ය සිදු කරන්නට බාධා වෙනවා වගේම හොඳින් දුවලා පැනලා සෙල්ලම් කරන දරුවොන්ට මෙය අනතුරුදායක වන්නටත් ඉඩ තියෙනවා.

Toe box

පාවහන්වල ඉදිරිපස කොටස ප්‍රමාණවත් තරම් පළල සහ ගැඹුරු නැත්නම් ඇඟිලි හිරවෙලා රිදෙන්නට පටන් ගන්නවා. මේ නිසා පාවහන් මිලට ගැනිමේදී පොඩ්ඩගේ ඇඟිලි නිදහසේ චලනය කරන්නට හැකි ආකාරයේ පාවහන් තෝරාගැනීම අත්‍යවශ්‍ය වෙනවා. (පාදයේ දිගම ඇඟිල්ලේ ඉඳලා ඉදිරියට 2 cm ක පමණ ඉඩක් තිබීම ප්‍රමාණවත් වෙනවා.)

Style එකට වඩා function එක ගැන හිතන්න

පොඩ්ඩෝ කොහොමත් දුවන්න පනින්න කැමති ක්‍රියාශිලී පිරිසක්නේ. ඉතින් පාවහන්වල ලස්සනට වඩා අදාළ කාර්‍යයට ගැළපෙන සුවපහසුදායක පාවහන් තමයි තෝරන්න අවශ්‍ය වෙන්නේ. ඉක්මනින් පැළඳගැනීමත් ගැලවීමටත් පහසු සහ details අඩු design එකක පාවහන් පොඩි දරුවොන්ට මනාව ගැළපෙනවා. Leather, canvas, mesh වගේ materials වලින් නිමවූ පාවහන් තුළින් වාතය හොඳින් ගමන් කර සහ පාද වියළිව සහ සුවපහසුව තබනවා අතර ඉහළ කල්පැවැත්මකුත් තියෙනවා. ඒ වගේම පාද හසුරවන්නත්, පැළඳ සිටින්නටත් ඉතා පහසු rubber shoes/ slippers ත් පොඩ්ඩෙකුට හොඳින් ම ගැළපෙනවා. පොඩි දරුවන් ඉක්මනින් වැඩෙන විට පාවහනුත් ප්‍රමාණයෙන් මදි වෙන නිසා සුවිශේෂීම අවස්ථාවකට හැර වැඩි මිලක් ගෙවා fashionable පාවහන් මිලට ගැනීම එතරම් ඵලදායක නැති බවත් අමතක කරන්න එපා.

අඩිය

ලෙහෙසියෙන් ම ලිස්සා නොයන්නට නම් patterns වලින් යුතු අඩියක් සහිත පාවහන් තෝරාගත යුතු වෙනවා. Sturdy, thick, පාදවලට බර නැති සහ නම්‍යශීලී අඩියක් සහිත වීමත් හොඳ පාවහන් යුවළක අනිවාර්ය ලක්ෂණයක් වෙනවා. ඒ වගේම තමයි high heels පාවහන් නම් පොඩ්ඩෙකුට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ කියලයි අපි නම් විශ්වාස කරන්නේ.

පොඩ්ඩගේ අදහස් අපි මිලට අරන් දෙන පාවහන් පළඳින්නේ පොඩ්ඩා නිසා එයාගේ කැමත්තටත් ඉඩ ලබා දීම අත්‍යවශ්‍යයිනේ. හොඳින්ම ගැළපෙන size එක සහ අවශ්‍යතාවය අනුව design එක මුලින්ම තෝරාගන්න. ඉන් පසුව, එහි වර්ණය හෝ cartoon character එක වගේ කරුණු සළකලා බලලා පොඩ්ඩාට කැමති පාවහන් යුවලක් තෝරාගන්නට ඉඩ හරිනවා නම් වඩා වටින බව අවසන් වශයෙන් අපි සිහිපත් කරනවා.

Related Articles