Home FoodNutrition කුළුබඩු සහ ස්වභාවික රසකාරක ගැන මේ දේවල් දන්නවා ද?

කුළුබඩු සහ ස්වභාවික රසකාරක ගැන මේ දේවල් දන්නවා ද?

by ladylk

කොයි තරම් අරුමෝසම් කෑම වර්ගවල රස බැලුවත් මිරිස්, තුනපහ, ලුණු ඇඹුල් පදමට එකතු කරලා හදාගත්ත කෑම වේලක් තරම් කිසි දෙයක් අපේ දිවට රසවත්ව දැනෙන්නේ නෑනේ නේද? අපේ කෑම මේ තරම් රස වෙන්න හේතුව මොකක් වෙන්න ඇති ද? ඔව් ඔබ හරි. රහස තමයි ශ්‍රී ලාංකික අපි කෑම වර්ගවලට යොදන කුළුබඩු සහ ස්වභාවික රස කාරක ද්‍රව්‍ය. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්නේ රස, සුවඳ විතරක් නෙවෙයි ගුණදායක බවත් යහමින් අඩංගු කුළුබඩු වර්ග ගැනයි. කියවලම බලන්නකෝ ඉවුම් පිහුම් වලදි අපිට නැතිවම බැරි කුළුබඩු කොයි තරම් වටිනවද කියලා.

සූදුරු

ප්‍රතිශක්තිය වර්ධනය කිරීමේ ගුණය අඩංගු සූදුරු, ආහාර දිරවීම පහසු කරවන්නටත් ආහාර රුචිය වඩවන්නටත් සමර්ථ වෙනවා. ශරීර ඌෂ්ණත්වය, යටි පතුල් දැවිල්ල, ශරීරයේ බිබිළි සහ කැසීම් යනාදී තත්ත්වයන් පාලනය කරන අතර ගර්භාෂය, ආමාශය සහ පෙනහළු ආශ්‍රිත රෝග පාලනය කරවන්නටත් සූදුරු වලට හැකියාව ඇති බව සඳහන් වෙනවා.

කොත්තමල්ලි

සිරුරේ ඇති තුන් දොස් (වාතය, පිත, සෙම) සමනය කරවීමට හැකියාව ඇති කුළුබඩුවක් විදියට හඳුන්වන කොත්තමල්ලි පානයක් ලෙස සකසා බීමෙන් සිරුර සිසිල් වන බව ඔබ අත්දැකීමෙන් ම දන්නවා ඇති. පිපාසය දුරු කරවන, ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවන කොත්තමල්ලි වලින් මූත්‍ර පිටවීමේ ක්‍රියාවලියත් විධිමත් වන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා.

කහ

ප්‍රබල විෂබීජ නාශකයක් ලෙස හැඳින්විය හැකි කහ කියලා කියන්නේ සිසිල් ගුණය සහ වේදනා නාශක ගුණය අඩංගු ඖෂධයකි. තුවාල, කුෂ්ඨ, ලප කැළැල් ආදිය දුරු කිරීමටත්, රූපලාවණ්‍යයේදීත් බහුලව භාවිතා කෙරෙන කහ ඇදුම, ඉසරදය, කැස්ස යනාදී රෝග තත්ත්වයන් වලදීත් ඔසුවක් වශයෙන් ක්‍රියා කරනවා.

උළුහාල්

Protein, vitamin B12, vitamin C සහ potassium බහුල උළුහාල් මඳක් තිත්ත රසයකින් යුතු වුවත් මනා සුවඳකින් යුතු කුළුබඩු වර්ගයක් විදියට හඳුන්වන්න පුළුවන්. සිරුරේ ඇති අනවශ්‍ය මේදය, තරබාරු බව, දියවැඩියාව සහ cholesterol පාලනය කිරීමටත් සමත්කම් දක්වන උළුහාල් වෑංජන වලට එකතු කරනවාට අමතරව තම්බා පානයක් විදියට ලබාගන්නටත් හැකියාව තියෙනවා.

ගම්මිරිස්

පිළිකා නාශකයක්, bacteria නාශකයක් සහ ආහාර ජීර්ණය පහසු කරවන්නක් විදියට හඳුන්වන ගම්මිරිස් සෙම්ප්‍රතිශ්‍යාව, සෙම් රෝග සහ කැස්ස සුවකිරීම සඳහා ඖෂධයක් විදියටත් භාවිතා කරනවා. සිරුරේ අනවශ්‍ය බර පාලනය කර, සම පැහැපත් කරවන්නටත්, මානසික පීඩනය දුරු කරන්නටත් ‍සමත්කම් දක්වන කුළුබඩු වර්ගයකි. 

කුරුඳු

රුධිරයේ අඩංගු cholesterol වල ඇති හිතකර cholesterol (HDL) මට්ටම වැඩි කිරීමට හැකියාව ඇති අගනා කුළුබඩු වර්ගයකි. දියවැඩියාව පාලනයට සහ insulin ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමටත් සමත්කම්  දැක්වුවත් දිනකට 2g කට වඩා ආහාරයට ගැනීම අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නට හේතු විය හැකි බවත් අපි සිහිපත් කරනවා.

අබ

carbohydrate, protein, sodium, potassium, සීනි, සහ මේදය අඩංගු කුළුබඩු වර්ගයකි. රූපලාවණ්‍ය කටයුතුවලදීත්, සිරුරේ බර පලනය කිරීම සඳහාත් යොදාගත හැකි බව කියැවේ. වාතය, සෙම සමනය කරවන, ආහාර රුචිය වඩවන නමුත්, පමණ ඉක්මවා ආහාරයට ගැනීමත් එතරම් සුදුසු වන්නෙ නැහැ.

කරදමුංගු

ආහාර රුචිය වඩවන සුවඳැති කුළුබඩු වර්ගයකි. සෙම් රෝගවලට සහ මූත්‍රාබාධ වලට සහනය සලසයි.

සාදික්කා

මුවේ දුගඳ නසන අතර මුඛ රෝග, උදරාබාධ, සමේ රෝග සහ පණු රෝගවලට සහනය සලසයි.

ඉඟුරුපියළි

මුඛ දුර්ගන්ධය, විදුරුමස් සහ දත් ආශ්‍රිත රෝග සඳහා ඔසුවක් විදියට භාවිත කෙරෙනු ලබන ඉඟුරු පියලි වලට අතීසාරය සහ සෙම් රෝග සමනය කිරීමටත් හැකියාව ඇති බව සඳහන් වෙනවා.

සියඹලා

සිරුරේ තුන් දොස් සමනයට යොදා ගනියි. ආහාර රුචිය වඩවන අතර මළ බද්ධයට සහනය සලසයි.

කරපිංචා

රුධිරයේ විෂ නසන ඔසුවකි. හිසකෙස් ආශ්‍රිත ගැටළුවලට සහනය ලබාදෙන අතර අජීර්ණය, පණු රෝග, සමේ රෝග, මළ බද්ධය සහ cholesterol පාලනයට කදිම විසඳුමකි. 

කරාබු නැටි

බඩ පුරවා දැමීම, අජීර්ණය, ආහාර අරුචිය, දත් කැක්කුම සහ පණු රෝගවලට සහනය සලසන ඔසුවකි. අක්මාවේ සහ හදවතේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු කිරීමට සහය වෙන බව සඳහන් වන අතර මව් කිරි වැඩවීමටත් උපකාරී වේ.

සුදුලූනු

උදරාබාධ, ස්නායු දුර්වලතා, සන්ධි ආශ්‍රිත රෝග සහ සිරුරේ වේදනා සමනයට භාවිතා වන අතර තරුණ බව රැකදෙන්නට සහ දීර්ඝායුෂ වැඩි කරවන්නට සමත් ඔසුවකි. බුද්ධිය වඩවයි. පිළිකා නාශකයක් වශයෙන් ද සලකනු ලබයි.

රතුලූනු

රුධිරයේ විෂ නැසීමට, ධාතු වර්ධනයට සහ වේදනාව සමනයට යොදා ගනු ලබයි. පණු රෝග, අර්ශස්, මුත්‍රා රෝග, ආහාර අරුචිය සහ සෙම් රෝග සඳහාත් ප්‍රතිකාරයක් ලෙස සළකනු ලබයි.

ගොරකා

උදරාබාධ සහ අජීර්ණය සමනය ක‍රන අතර රුධිරයේ විෂ නසනු ලබයි. Cholesterol, හදවත් රෝග සහ සිරුරේ බර පාලනයටත් , ආහාර කල්තබා ගන්නටත් යොදාගත හැකි ඔසුවකි.

මිරිස්

විෂබීජ නැසීමට, සෙම් සහ වාත රෝග පාලනයට, හදවතේ නිරෝගි බවට සහය වේ. ආහාර රුචිය වඩවයි.

දෙහි ආහාර රුචිය වඩවයි. විෂබීජ විනාශ කිරීමේ හැකියාව ඇත. හදවත් රෝග පාලනය කරන අතර රුධිරය සහ මූත්‍රා පිරිසිදු කිරීමේ හැකියාවට සමර්ථ ඔසුවකි.

Related Articles