Home LifestyleTravel බේකර්ස් බෙන්ඩ් – නිදහසේ ජීවිතේ විදින්න

බේකර්ස් බෙන්ඩ් – නිදහසේ ජීවිතේ විදින්න

by LADY.LK

සබරගමු පලාතේ තියන තවත් සුපිරිම තැනක් ගැන තමයි අද අරගෙන ආවෙ. බේකර්ස් බෙන්ඩ් කිව්වම අහල නැති කෙනෙක් නම් ඔහු ලංකාවෙ කෙනෙක් වෙන්න බෑ මොකද මෙතන සෑහෙන්න ප්‍රසිද්ධයි.

බලන්ගොඩ ඉදන් බදුල්ල පාරෙ කිලෝමීටර් 18 ක් වගේ යනකොට ගලගම කියන පුංචි ටවුන් එක හම්බවෙනව ඒක පහු කරල මීටර් 500 ක් වගේ යනකොට වම් පැත්තෙන් උඩහට නන්පෙරියල් කියල පාරක් හම්බවෙනව මේ පාරෙන් තමයි බේකර්ස් බෙන්ඩ් වලට යන්න තියෙන්නෙ. හපුතලේ පැත්තෙන් එනව නම් පබහින්නට ඇවිත් එතන ඉදන් මීටර් 500 ක් වගේ එන්න ඕනි.

මේ පාරෙන් කිලෝමීටර් 6 ක් වගේ යනකොට නන්පෙරියල් ගම්මානය හම්බවෙනව ඒ වගේම නන්පෙරියල් ටී ෆැක්ටරි එකත් බලාගන්න පුලුවන්. නන්පෙරියල් පාරෙ කිලෝමීටර් 12 ක් වගේ යන්න ඕනි බේකර්ස් බෙන්ඩ් වලට. මේ පාරෙ වාහනේක යනව නම් කිලෝමීටර් 3 ක් 4 ක් වගේ අපහසුවකින් තොරව යන්න පුලුවන් නමුත් එතනින් එහාට පාර ගොඩක්ම සවුත්තුයි. පයින් හෝ බයික් එකක යනවනම් පුංචි පුංචි දිය ඇලි ගොඩාක් බලාගන්න පුලුවන්.

මේ පාරෙ එක බස් එකක් වැඩ කරනව ඒක උදේ 7.30 ට වගේ බලන්ගොඩ නගරයෙන් පිටත් වෙනව. නන්පෙරියල් ගම්මානයට තමයි මේ බස් එක යන්නෙ. ඉස්සර නම් බස් එක ෆැක්ටරි එක ලගටම ගියාලු දැන් පාර සවුත්තු නිසා උඩහටම යන්නෙ නැති බව ගිය අයගෙන් දැනගන්න ලැබුන. නන්පෙරියල් ෆැක්ටරි එක ලගින් උඩහට වාහන වල යනව නම් වතු බලධාරීන්ගෙන් අවසරයක් ගන්න වෙනව.

නන්පෙරියල් වල සුන්දරත්වය හොදින්ම විදගන්න නම් පයින්ම යන්න ඕනි. ගමන දුශ්කර උනත් ඒ සුන්දරත්වය මිල කරන්න බෑ. කදු වැටි දෙකක් අතරින් වැටී ඇති නන්පෙරියල් මාර්ගයේ දකුනු පැත්තෙන් බෑවුම, පහලින් සුන්දර හිරිකටුඔය ගලා බසින්නේ මෙහි ලස්සන තවත් වැඩි කරමිනි. විටින් විට ඝන මීදුමෙන් මුලු කදු පන්තියම වසා ගනී. අව්ව ගැන බය වීමට කිසිම හේතුවක් නැත නමුත් ඔබ වැස්සෙන් ආරක්ෂා වීමට වග බලාගෙන ආ යුතුය. මුලින් කුඩා දිය ඇලි රාශියක් හමු වූවත් නන්පෙරියල් පාසල පසු කල විට තරමක් විශාල මනස්කාන්ත දිය ඇලි කිහිපයක් හමු වේ.

ටී ෆැක්ටරි එක පසු කර කිලෝමීටර් 4ක් පමන ගිය පසු ගමනාන්තය වන බේකර්ස් බෙන්ඩ් හමු වේ. මෙතන වීව් එක මීදුම නැති දවසක නම් කියන්න වචන නෑ. ඒ තරම් සුපිරි. පහලින් හිරිකටුඔය, සමනල වැව දක්වා සහ ඉදිරියේ කදු පන්තිය බලාගන්න පුලුවන්. බේකර්ස් බෙන්ඩ් යනු තනි වැලමිටි වංගුවකි, වංගුවේ නැම්මෙහි පහල බෑවුමකි. ගම්මුන් කියන පරිදි මෙහි අතීත කතාව නම් එකල ඉංග්‍රීසි ආණ්ඩු සමයෙහි සැමුවෙල් බේකර් නම් සුදු ජාතිකයා ඔහුගේ අශ්වයාගේ වේගය පාලනය කරගත නොහැකිව මෙම වංගුවෙහි බෑවුමෙන් පහලට වැටී මිය ගොස් ඇති බවයි. එබැවින් බේකර්ස් බෙන්ඩ් යන නම ලැබී ඇති බව ගම්මුන්ගෙන් දැනගැනීමට ලැබීය.

මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් පමන ඉහලින් පිහිටන මෙම ස්තානය රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබුනත් මෙහි දේශගුණය නුවරඑළියට සමාන වේ. චායාරූප ශිල්පියෙකුට නිර්මානාත්මක චායාරූප ලබාගැනීමට මෙය කදිම ස්තානයකි. මෙම මාර්ගයේ තවත් උඩහට ගමන් කරනවිට කදු මුදුනෙහිදී පහලට මාර්ගයක් හමුවේ. එම මාර්ගයෙන් බෙලිහුල්ඔයට ගමන් කල හැක.

නන්පෙරියල් මාර්ගය අවසානයේ හමුවන්නේ පැරනි බංගලාවකි. අතීතයේ නම් මෙම බංගලාව ලගින් කැලයෙන් ලෝකාන්තයට යාමට මාර්ගයක් තිබිනි. කිලෝමීටර් 4 ක් පමන ගමනකින් ලෝකාන්තයට ලගාවීමට හැකිය. නමුත් දැන් එම මාර්ගයේ යාමට අවසරයක් නොමැත. මා දන්නා තරමින් එය නීතියෙන් තහනම් කර ඇත. මන්ද මෙහි වටිනා ශාක හා සත්ව කොට්ඨාස වාසය කරන බැවින් විය හැකිය නැතහොත් මෙහි ඇති අනාරක්ෂිත බව නිසාද විය හැකිය.

කෙසේවෙතත් ඉස්සර නම් මෙම බංගලාව පිටුපස කෑම්පින් කිරීමට හැකියාව තිබුනි. දැන් නම් එයටද අවසර ඇති බව හරියටම නොදනී. නමුත් මෙම බංගලාව කුලියට ගැනීමට හැකි බව මාගේ මිතුරෙකුගෙන් දැනගැනීමට ලැබිනි. එය නම් සුපිරි අත්දැකීමක් වනු නොඅනුමානය. මොකද මෙම බංගලාව පිහිටා ඇත්තේ ඉහලම ස්තානයේය. එහි වීව් එක බේකර්ස් බෙන්ඩ් වලටත් වඩා ප්‍රදේශයක් දැකබලාගත හැකිය. එමෙන්ම මෙම වීව් එක බලාගැනීමටම සාදන ලද හට් එකක් ඇත එය බංගලාව ඉදිරියේ පිහිටා ඇත.

බේකර්ස් බෙන්ඩ්, නන්පෙරියල් යනු ට්‍රැවල් කිරීමට සුපිරිම ස්තානයක් ලෙස නිර්දේශ කල හැකිය. ඔබත් එහි යන්න, නමුත් හැම පෝස්‍ට් එකකම අපි කියනව වගේ මේ පරිසරය විනාශ කරන්න එපා පොලිතින් ප්ලාස්ටික් මෙහි ගෙනයන්න එපා ගෙනගියත් ඒවා ආපසු රැගෙන යන්න අමතක කරන්න එපා. මේ සුන්දරත්වය අනාගත පරපුරටත් ඉතුරු කරන්න. පරිසරය ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඔබේ පා සටහන් පමනි.

උපුටා ගැනීමකි

Related Articles