Home Parenting පොඩ්ඩෙකුට දෙන්න හොඳ නැතිම කෑම

පොඩ්ඩෙකුට දෙන්න හොඳ නැතිම කෑම

by LADY.LK

දරුවෙක් ඉපදුනාම අපේ ජීවිතෙන් වැඩිම කොටසක් වැයවෙන්නේ ඒ දරුවා වෙනුවෙන්. කොටිම්ම අපි එදිනෙදා කරපු දේවල්වල අරමුණ පවා දරුවා වෙනුවෙන් වෙන් කෙරෙනවා. දරුවා වෙනුවෙන් සල්ලි උපයන්න රස්සාව කරන්න, දරුවා වෙනුවෙන් පිරිසුදුව ඉන්න, දරුවා වෙනුවෙන් නිරෝගීව ඉන්න පුරුදු වෙනවා. ඉතිං දරුවෙක් සතුටින් නිරෝගීව ඉන්නවා දකින එක තමයි ඕනම දෙමවුපියෙකුගේ කැමතිම දේ වෙන්නෙ. මේ විදියට හිතද්දි ඕනම අම්මා තාත්තා කෙනෙක් කැමති දෙයක් තමයි දරුවා කෑම කන එක. එහෙම නොකනවා නම් ඒක ලොකු හිතට වදයක් විදියටත් දෙමවුපියන් දකිනවා. හැබැයි කොයිතරම් කෑම කෑවත් දරුවාව නොදෙන්න ඕන කෑම ජාතිත් තියෙනවා. මේවා බොහෝමයක් ඔයාලා දන්න දේවල් වුණත්, Lady.lk අපි ගෙනෙන මේ සටහනේ තියෙන සමහර දේවල් ඔයාලා අහන්නෙ පළමු වතාවට වෙන්නට පුළුවන්. ඒ නිසාම මේ සටහන කියවන්න. ඔයාලා මේ ලබාගන්න දැණුම දරුවාගේ පෝෂණයට ගොඩක් වැදගත්.

විශාල ඝන ආහාර

කුඩා දරුවෙක් කියන්නෙ රස කෑමක් නම් ඕනම මොහොතක නොහිතා නොබලා කටේ දාගන්න කෙනෙක්. ඒ නිසාම උගුරේ හිර වෙන සුළු විශාල වගේම ඝනකම වැඩි ආහාර හැකි තරම් කුඩා කැබලිවලට කඩා දෙන්න. ඝනකම විශාල ටොෆි ලොසින්ර්, ලොලිපොප් වැනි දේ ඒ අතරින් ප්‍රධානයි. ගෙදරින් එළියට ගිහින් එද්දි දරුවාට ගෙනත් දෙන ලොලිපොප් එක මාරාන්තික වෙන්න පුළුවන් කියන එක මින් පෙර නොසිතුනානම් දැන්ම සිතට ගන්න.

ලිස්සන සුළු ඝන ආහාර

ස්ට්‍රෝබෙරි, ග්‍රේප්ස්, චෙරි වැනි පළතුරු මේ අතරින් ප්‍රධානයි. දරුවාට පාලනය කරගත නොහැකිව ලිස්සා ගොස් උගුරේ සිරවීම සිදු විය හැකි නිසා මේ ගැන වැඩිවැඩියෙන් සිතට ගත යුතුමයි.

කුඩා නමුත් ශක්තිමත් ආහාර

බොහෝ ඇට වර්ග, කජු, ඝනකම කඩල, තියුණු දාර සහිත චිප්ස්, කැරට් කැබලි, ඔලිව්, පොතු උගුරේ සිරවිය හැකි පොප්කෝන්, මේ අතරින් ප්‍රධානයි. 

ඇලෙන සුළු ආහාර

කුඩා කැබලි සහිත පීනට් බටර්, බබ්ල් ගම්, කැරමල්, ගමී බෙයාස්, ජෙලි බීන්ස්, ඩ්‍රයිඩ් ෆ්‍රෘට් වැනි දේ දරුවන්ගේ තල්ලේ ඇලී හුස්ම ගැනීමේ අපහසුවක් ඇති කරන්නට ඉඩ තිබෙනවා. එනිසා කොයිතරම් රසවත් සහ දරුවන් ආසා වුණත් එවැනි දේ දරුවන්ට ලබා නොදෙන්නට වග බලාගන්න.

එළකිරි

එළකිරි කියන්නෙ බොහොම ගුණ දෙයක් විදියට තමයි අපේ වැඩිහිටියො බොහොමයක් කල් ඉඳන් කියන්නෙ. නමුත් වැඩිහිටියන්ගේ තරම් කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩී නැති නිසා දරුවන්ට එය නොයෙක් ලෙඩ රෝග ඇති කරවන්නට ඉඩ තියෙනවා. ඒ නිසා උදෑසනට බොහෝමයක් වැඩිහිටියන් බොන නිසා ම දරුවන්ටත් ලබා දෙන එළකිරි, පානය කරන්නට නොදී ඉන්නා තරමට කදිමයි. දරුවන්ව හැකිතාක් පශ්චරීකෘත නොවන කිරි භාවිතයෙන් ඉවත් කිරීම තමයි වැදගත් වෙන්නෙ. 

සයිඩර් සහ ඇපල් ජූස්

දරුවන්ව කුඩා කාලයේම සීනි පරිභෝජනයට කරන හුරුවක් විදියට දෙමවුපියන් පෝෂණය යැයි කියා ලබා දෙන ඇපල් ජූස් දැක්විය හැකියි. ඒ නිසාම එවැනි පැකට් කළ සීනි බහුල බීඹ වර්ග කිසිසේතම දරුවන්ට නුසුදුයි. ඇපල් ජූස් ගැන අපි විශේෂයෙන් සඳහන් කරන්නේ ම බොහොමයක් දෙමවුපියන් පෝෂණය යන මතයේ සිට දරුවන්ට නිරන්තර ඇපල් ජූස් ලබා දෙන නිසායි. 

ගොවිපොළ නිෂ්පාදන අමුවෙන්

හාෆ් බොයිල් කළ බිත්තර, අමු බිත්තර, බිත්තර කෝපි, අඩුවෙන් පිසූ මස් කිසිසේත්ම දරුවෙකුට ලබා නොදිය යුතු ආහාර ලෙසින් දැක්වෙනවා. ඒ දරුවන්ගේ ආහාර ජීරණ පද්ධතිය වැඩිහිටියන්ගේ තරමට වර්ධනය වී නැති නිසායි. ඒ වගේම අමු මුහුදු මාළුත් දරුවන්ට ලබා නොදීමට කටයුතු කළ යුතුයි.

මී පැණි

දරුවාට අවුරුදු දෙකක්වත් ගත වන තුරු මී පැණි ලබා දිය නොයුතු වන්නේ මී පැණි තුළ අඩංගු බැක්ටීරියාවක් නිසායි. එයින් වැඩිහිටියන්ගේ සෞඛ්‍යයට හානියක් නොවුනත් දරුවන්ට සැළකිය යුතු නරක බළපෑමක් සිද්ධ වෙනවා. එය ඔවුන්ගේ ආහාර ජීර්ණයට වගේම ආහාර විෂ වීමෙන් රෝගී වීමටද ඉඩ තිබෙනවා.

අගුණ යැයි ප්‍රසිද්ධ දේ

අමුතුවෙන් කිව නොයුතු වුවත් මේ සටහනට විශේෂයෙන්ම ඇතුළු විය යුතු අගුණ යැයි ප්‍රසිද්ධ දේවල් කිහිපයක්ම අපි මෙලෙස එක් කරන්නම්. ඒඅතරින් අධික සීනි සහ කැෆේන් බහුල ශක්තිජනක පානයන්, අධික තරබාරුව සහ නොසන්සුන් කම ඇති කරවන කාබනේටඩ් සෝඩා වර්ග, ලුණු සහ සීනි බහුල ක්‍රන්චි ස්නැක්ස්, අම්ල බහුල සෝස් වර්ග, මැකරල් වැනි රසදිය සංයුතිය ඉහළ ටින් මාළු මේ අතරින් ප්‍රධානයි.

Related Articles