Home #Bosslady අලුත බැඳපු වයිෆ් කෙනෙකුට මේ ප්‍රශ්න එන්න පුළුවන්

අලුත බැඳපු වයිෆ් කෙනෙකුට මේ ප්‍රශ්න එන්න පුළුවන්

by LADY.LK

අද අපි කියන්න යන්නෙ ආකර්ෂණීය මාතෘකාවක් වුණාට මේ දේවල් විඳින අයට නම් මේ කියන කිසිම දෙයක් ආකර්ෂණීය නෑ.  මුලින්ම කියන්න ඕන මේ ගොඩක් ප්‍රශ්න එන්නෙ ලංකාවෙදි. ඒ වගේම මේ ගොඩක් ප්‍රශ්න එන්නෙ අම්මලා තාත්තලා එක්ක එකම ගෙදරක පදිංචියට ගියාම. කොහොම වුණත් ලංකාවෙ විවාහයක් කියන්නෙ කසාද බඳින දෙන්නට වඩා වටපිටාවේ පිරිස නොඉවසිලිවන්ත වෙන අවස්ථාවක්නෙ. ඒ වගේම නොසෑහෙන්න අනුන්ගේ දේකට අතදාන අවස්ථාවක්. අන්න ඒ නිසාම අපි මේ ගැන කතා කරන්න හිතුවා. මේ ගැන කතා කරන එකේ මූලිකම අරමුණ වෙන්නෙ විවාහයෙන් පසුව තනිව ජීවිතය අරඹන්න දෙදෙනාටම වෙන් වූ ඉඩක් සොයාගෙන යෑමේ වටිනාකම කියන්න වගේම, බොහොමයක් දෙමවුපියන් සමග විසීමෙන් අත්විඳින්න වෙන මූලික ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්නයි.

හුරු වීම

මුලින්ම තමුන්ට තමුන්ගේ හුරුව අතහැරගන්නට සිද්ධ වෙනවා. අපි උදාහරණයකට හිතමු පුරුද්දක් විදියට උදෑසන තේකක් නොබොන තරුණියකට විවාහයෙන් පස්සෙ ඒ ගෙදර වැඩ සිද්ධ වෙන විදියට අනුගත වෙලා තේ හදන්න සිද්ධ වෙනවා. ඊටපස්සෙ කාලෙකින් තේකක් දකින නිසා තමුන්ටත් බොන්න හිතෙනවා වගේම සෞඛ්‍ය පුරුදු නිසා මේ තාක් කල් උදේට බීම පළතුරු යුෂ වීදුරුව වෙනුවට තමුනුත් තේකක් බොන්න හුරු වෙනවා. ඒ වගේම මේ හුරු වීමත් එක්ක තමුන්ගෙ හුරු වීම් අතහරින්නත් වෙනවා. උදාහරණයකට තමුන් යන්නෙ අතිශය ආගමික වටපිටාවක් තියෙන පරිසරයකට නම්, එහෙමත් නැත්නම් කන බොන විදිය ගැන දරුණු ලෙසින් සිතන සෑම ආහාරයකම මිරිස් හෝ ලුණු ප්‍රමාණ ගැන ගතු කියන නිවසකට නම් ලංකාවෙදි අලුත් බිරින්දෑවකට මේ හුරු වීම ටිකක් ලොකු ප්‍රශ්නයක්.

හඳුන්වා දීමේ වැඩසටහන

මේ වැඩේ නම් බැඳලා වෙනම පදිංචියට ගියත්, දෙමවුපියන් සමග පදිංචියට ගියත් මුහුණ දෙන්න වෙන තත්ත්වයක්. ඒ තමයි හඳුන්වා දීමේ වැඩසටහන. මේවා ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ මළ ගෙවල් හෝ මගුල් ගෙවල්වලදි. ඒ වගේ තැන්වලටනෙ හැමෝම එන්නෙ. මේ තමයි දූ, පුතාව පුංචි කාලෙදි බලාගත්තු නැන්දා, මේ මාමා තමයි පුතාට මුලින්ම බැට් එකක් ගෙනල්ල දුන්නෙ, මේ බාප්පා තමයි පුතාව මුලින්ම නුවර එක්කගෙන ගියේ, මේ පුංචි තමයි පුතාට ඒ කාලෙ කැවුවෙ, පුතා මේ නැන්දා උයන පරිප්පු එකට හරිම ආසයි, පුතා මේ මාමාගෙ බයික් එකෙන් තමයි බයික් පදින්න පුරුදු වුණේ ආදී හඳුන්වා දීමක් සිදු වෙනවා. මේ හඳුන්වා දීමේ වැඩසටහන අහගෙන සිටීම සහ මතක තියාගෙන සිටීම අසීරු වගේම එපා වෙන වැඩක් කියලා මේ දේට මුහුණ දුන් අය දැනටමත් දන්නවා ඇති.

පුතාගෙ පුරුදු

දැන් ඉතිං ඔය කොල්ලොන්ට තියෙනවනෙ පුරුදු. ගුණ දේවල් ආහාරයට නොගැනීම, මත්පැන් සහ දුම්වැටි පානය කිරීම, රෑ තිස්සෙ පාටිවලට යෑම, ටැටූ ගැසීම සහ නොයෙක් හෙයා ස්ටයිල්ස් සිදු කිරීම වගේ අම්මලා අකමැති දේවල්. අම්මලා උත්සාහ කරනවා පුතාගෙ මේ අවුල් පුරුදු වලට බිරින්දෑ ලවා වැටකඩුළු බඳවන්න. ගොඩක් වෙලාවට බිරින්දෑවන් තමන් ආදරය කරන පුද්ගලයා වෙනස් වෙනවාට හෝ ඒ ගති ගුණ මගහරිනවාට අකමැති වුණත් අම්මලාගේ පෙරැත්තය නිසා එයාලටත් මේ වගේ කොන්තරාත්තු භාරගන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ අවස්ථා වලදී දෙපැත්තම බැලන්ස් කිරීමට සිදුවීම අලුතින් බිරින්දෑවක් වුණු තරුණියකට තරමක් මානසික වදයක්.

දූ තමයි දූ 

මේ කියන්න යන්නෙත් බො​​හොමයක් තරුණියන් මුහුණ දෙන ප්‍රශ්නයක්. ගොඩක් අය කැමති නෑනෙ තමුන් ගැන ලොකු කම් කියන්න. නමුත් වෙනිං කෙනෙක් ලොකු කම් කියද්දි අපිට ඒක නවත්වන්නත් බැහැනෙත විශේෂයෙන්ම තමුන්ගෙ ස්වාමිපුරුෂයාගෙ පැත්තෙ දෙමවුපියන් තමුන් ගැන ලොකු කම් කියද්දි කොහොමද ඒක නවත්වන්නෙ. බලාගෙන ඉන්න තමයි වෙන්නෙ. මේ දූ නුවර ලොකු පවුලක, මෙයා හොඳටම ඉගෙනගත්තනෙ ඩිග්‍රි දෙකක් තියෙනවා, හරිම රසට උයන්න පුළුවන්, චිකන් කරියක් එහෙම හදනවා මටවත් තාම බෑ ඒතරම් රසට උයන්න, අතේ පයේ වැඩත් හොඳටම පුළුවන්, ලස්සන ඇඳුම් වගයක් මහලා දුන්නා අපිට…. මෙන්න මේ වගේ ලොකුකම් කියද්දි කරන්න දේකුත් නෑ, කියන්න දේකුත් නෑ, ඒත් අහගෙන ඉන්නත් බෑ වගේ තත්ත්වයක් ඇති වෙලා දැඩි අපහසුවකට ලක් වෙන සාමාන්‍යයි.

එහෙමද?

මේ කියන්න යන්නෙත් අලුත බැඳපු බිරින්දෑවන් අසීමාන්තිකව අසරණ වෙන තැනක්. මේ වගේ දෙයක් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ නිදහස් තැනකදි. ඒ කියන්නෙ ගොඩක් වෙලා එක දිගට කතා කරන්න වෙන තැන් වලදි. දානෙ ගෙයක් හෝ පිරිතකදී නම් මේ වගේ දෙයක් සිද්ධ වෙනවාමයි. ඒ තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා ගැන පුරාතන කතා අහගෙන ඉන්නට සිදු වීම. මේක අපි කලින් කියපු හඳුන්වා දීමේ පෙරැට්ටුවට වඩා ගොඩක් වෙනස් තත්ත්වයක්. මේකෙදි බිරින්දෑට අහන්න තියෙන්නෙ එකම දෙයයි. ඒ තමයි “එහෙමද?” දිගින් දිගටම එහෙමද කියලා තමයි අහන්න වෙන්නෙ. මොකද මේ මුණගැහෙන හැමෝම කියන්නෙ තමන්ගෙ ස්වාමිපුරුෂයා සහ තමුන්ගේ තිබ්බ පරණ බැඳීම් ගැන. ඔය පුතා මගේ කාර් එකේ චූ කරා පුංචි කාලෙ වගේ, ලොකුකම සහ පෞරාණික බව යම් තරමකට කැටි වුණු කතා තමයි මෙතැනදි අහන්න වෙන්නෙ.

නෑදෑ විමසීම් – දේපල, පවුලෙ වගතුග, බඩ මහත, දූගෙ නංගි

ඔය උඩ කියන අවස්ථාවෙදිම තවත් වෙනත් අතුරු ප්‍රශ්නත් යොමු වෙනවා. ඒවා තරමක් භයානක ප්‍රශ්න. ඒවාට උත්තර නොදී මගහරින එක හොඳයි. මේ වගේ දේවල් වලදි තමයි විවාහයේ මුල් අවධියේ බය කියන එක මුලින්ම දැනෙන්න ගන්නෙ. මේ වගේ තැන්වලදි කෙලින්ම එන ප්‍රශ්න තමයි, ඉගනීම? පවුලේ වටපිටාව? කුලය? දේපල? දරුවන්? පවුලේ වෙනත් දරුවන් සහ ඒ දරුවන්ගේ පෙම්හබ? තමන්ගේ දරුවන්ට ඒ පවුලෙන් විවාහ කළ හැකි වෙනත් දරුවන්? පවුලේ ගෙවල් ඇති ප්‍රදේශ සහ ඒ පැතිවල තමුන්ට සිටින හිත මිතුරන් වැනි බොහොමයක් කතා අහගෙන ඉන්න සහ උත්තර දෙන්න සිදු වෙනවාමයි.

හරිද?

මේ කතාව තමයි ගොඩක් දෙනෙක් මේ සටහනේ හොයාගෙන ආපු ප්‍රශ්නය. ඔව් බොහෝදෙනෙක් අහන සහ විශේෂයෙන්ම දෙපාර්ශවයේ දෙමවුපියන් සැරින් සැරේට අහන ප්‍රශ්නය තමයි මේක. කොටිම්ම අලුත් බිරින්දෑට කෑමක් ගැන අප්‍රියාවක් දැණුනත්, ​ප්‍රෙග්නන්ට්ද කියලා ප්‍රශ්න කරන තත්ත්වයක් තමයි තියෙන්නෙ. අන්න ඒ නිසා මේ හැමෝම දරුවෙක් හදන කම් ආසාවෙන් බලාගෙන ඉන්නවා වගේම පහු වෙද්දි ඒක ගැන බලපෑම් කරන්නත් ඒවි. නැවත හැරීමක් නෑ ඉතිං

මෙන්න මේ ප්‍රශ්න බොහෝමයකට උත්තර හොයන්න පුළුවන් හොඳම විදිය තමයි තමුන්ගේ පවුල් ජීවිතය වෙනම ගත කරන්නට වෙනම නිවහනකට පදිංචියට යාම. ඒ විදියට වෙනම නිවහනකට පදිංචියට ගියාම හැඩ ගැහෙන්නට ඕන විදිය ගැනත් අපි ලඟදීම සටහනක් තබන්නම්.

Related Articles