Home LifestyleLiving වාහනේ ඇක්සිඩන්ට් වුණොත් මුලින්ම මේ දේවල් ගැන හිතන්න

වාහනේ ඇක්සිඩන්ට් වුණොත් මුලින්ම මේ දේවල් ගැන හිතන්න

by LADY.LK

කතාවටත් කියනවනෙ ඔයා නොබී රිය පැදවූවත් බීලා රිය පදවන කෙනෙක් අතින් අනතුරක් වෙන්න පුළුවන් කියලා. අන්න ඒ විදියටම ඔයා කොච්චර හොඳ රියදුරෙක් වුණත්, අපරික්ෂාකාරී රියදුරෙක් අතින් ඔයාව ඇක්සිඩන්ට් වෙන්න පුළුවන්. අපි අද Lady.LK තුළින් කතා කරන්නෙ කාන්තාවක් විදියට ඔයාලට මහමග සිද්ධ වෙන රිය අනතුරකදි කලබල නොවී ඒ ප්‍රශ්නයෙන් ගොඩ එන්නට හැකි ක්‍රම කිහිපයක් ගැනයි.

කලබල නැතුව

සාමාන්‍යයෙන් ලංකාවෙදි ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි කාන්තාවක් රවට්ටන්න පුළුවන් කියන එක. ඒ වගේම මේ මහමග අනතුරකදිත් ලේසියෙන්ම කාන්තාවගේ පැත්තට වරදපටවලා තමන්ට ගැලවෙන්න පුළුවන් කියන එක. ඒ නිසා මහමගදී අනතුරක් වුණාම අනික් පාර්ශවය අතින් සිද්ධ වුණු වැරැද්දක් වුණත් ඔයාගේ ඇඟට ගොඩ වෙලා මේක ඔයාගේ වැරැද්දක් විදියට ඔයාගේ කරපිට පටවන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වෙලාවට ඔයා වැරදි නැත්තං කිසිම විදියකින් කලබල වෙන්න එපා. මුල්ම දේ තමයි කලබල නොවීම. කලබල නොවී නීත්‍යානුකූලව මේ වැඩේ කරන්න උත්සාහ කිරීම තමයි හොර කරන කට්ටියට උගන්නන්න පුළුවන් හොඳම පාඩම.

වීඩියෝ

මේ වැඩේට බොහෝම ප්‍රයෝජනවත් වෙනවා වීඩියෝ කැමරාවක්. ඔයාගේ වාහනයේ වීඩියෝ කැමරා සවිකර තිබෙනවානම් වඩාත් හොඳයි. නමුත් අවාසනවාකට මේ අනතුර සිද්ධ වෙන වෙලාවේ එහෙම නැතිනම් අනිත් පාර්ශවයට පෙනෙන්නම මේ සිදුවීම සම්පූර්ණයෙන් වීඩියෝ කරන්න. එහෙම වුණාම ඒ අය අනවශ්‍ය බොරු කිරීම් හෝ බලපෑම්වලට එන්නේ නෑ වගේම, වටපිටාවේ සිටින අයත් එවැනි තැනකට මැදිහත් වී ඔවුන්ගේ අදහස් ඒ තුළට ඔබන්නට උත්සාහ කිරීම නවතිනවා.

තුවාල

මේ විදිය අනතුරක් වුණාම අපි මුලින්ම හිතන්න ඕන දෙයක් තමයි ජීවිතවල ආරක්ෂාව. ඒ නිසා සියළු බාධක පැත්තක් තියලා තුවාලකරුවන් ඉන්නවා නම් ඔවුන්ව රෝහලට ගෙන යන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග සිද්ධ කරලා ඉන්පස්සෙ මේ ප්‍රශ්නය විසඳා ගැනීමයි හොඳම විදිය.

කෝල්ස්

ඔවු මුලින්ම ඔබේ රක්ෂණ නියෝජිතයා දැණුවත් කරලා ඉන්න ඕන. මොකද මේ රිය අනතුරෙන් සිදු වුණු පාඩුව ක්ලේම් කරගන්නට උවමනායිනෙ. ඉන්පසුව ඔබේ අනතුර සිද්ධ වුණු ලඟ පාතක සිටින ඔබේ මිතුරෙකු දැණුවත් කරලා ඔහුව හෝ ඇයව එම ස්ථානයට ගෙන්වා ගන්න. කිහිප දෙනෙකු ගෙන්වා ගන්න පුළුවන් නම් ඔයාගෙ හිතට හයියක් වේවි. එහෙම කිරීම අනෙක් පාර්ශවය ඔබට පිරිස් බලය පෙන්වා බිය වද්දන්නට කරන උත්සාහයකදිත් ප්‍රයෝජනවත් වේවි.

ට්‍රැෆික් නැති කරන්න

හැප්පුණු වාහන දෙක පොලිසිය එනතුරු ඒ විදියටම තැබීම නිසා මහමග විශාල මාර්ග තදබදයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා වාහන දෙක පිහිටි ආකාරය ගැන අදහසක් ගන්න රෝද පිහිටුම් මහමග සළකුණු කරලා, ස්මාට්ෆෝනයෙන් පින්තූර කිහිපයක් අරගෙන වාහන දෙක පසකට කරගන්න. ඊටපස්සෙ පොලීසිය එනතුරු ඔබට ඉන්නට පුළුවන් වගේම අන් මිනිසුන්ට ඔබේ රිය අනතුර නිසා කාල නාස්තියක් වෙන්නෙත් නැහැ.

එන්ට්‍රියක්

සිදුවී ඇත්තේ සුළු අනතුරක් නම්, දෙපාර්ශවයම ඒ පාඩු බෙදාගෙන යන්න කතිකා වුණානම්, යම් හදිස්සි තත්ත්වයක් උඩ අනුකම්පා සහගතව ඔබ අනෙක් පාර්ශවයට යන්නට දුන්නා නම්, මේ ඕනෑම අවස්ථාවකදී ඔබ ලඟම පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දමා යෑම වැදගත්. එසේ නොවුණහොත් අනෙක් පාර්ශවය පොලිසියට පැමිණිලි කළොත් ඔබ කිසිඳු වරදක් නොකරම සැකකරුවෙකු බවට පත්වෙනවා.

පැනයන්න දෙන්නෙපා

අපි මුලින් කියපු වීඩියෝ කිරීම වැදගත් වන්නේ මෙතැනදියි. සාමාන්‍යයෙන් අනතුර සිදුවුණේ අනෙක් පාර්ශවයෙන් නම් ඔවුන් පොලිසිය එන්නට පෙර පැන යන්නට උත්සාහ කරන්නට ඉඩ තියෙනවා. ඔබ කලබල නොවෙනවා හෝ ගැහැනියක වූ පළියට එවැනි අසාධාරණයන්ට කරබාගෙන සිටිය යුතු නැහැ. ඔවුන්ගේ රූප සියල්ල ඔබ සන්තකයේ තිබීම ඔවුන්ට එලෙස පැනයන්නට නොහැකි බාධාවක් වෙනවා වගේම, ඒ වෙනුවෙන් ඔබට නැගී සිටින්නටත් පූර්ණ අයිතිය තියෙනවා.

වැරැද්ද ඔයාගෙද?

ඔවු අපිත් මිනිස්සු නිසා අපේ අතිනුත් වැරැදි වෙන්න පුළුවන්. එහෙමයි කියල අනිත් අය ඉල්ලන ඉල්ලන විදියට සල්ලි දෙන්න හෝ ඒ අය කියන අලාබ ගෙවන්නට සූදානම් වෙන්න එපා. පසුකාලීනව සිද්ධ වෙන කරදර ගැන මතක් කරලා ඔවුන් ඔබෙන් මුදල් ඉල්ලාවි. ඒ කිසිවක් සිදු නොකර, එවන් අවස්ථාවන් පවා වීඩියෝ කර පොලීසිය ආ විටෙක පෙන්වන්න. ඔබේ වැරැද්ද පිළිගන්න. එයට නීතියෙන් දෙන දඬුවම විඳිනවා මිස කිසිඳු හොර පාරක යන්න එපා. 

Related Articles