Home LifestyleLiving ඔයාව මහත් කරවන ප්‍රධානම හේතු

ඔයාව මහත් කරවන ප්‍රධානම හේතු

by LADY.LK

මහත අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඇයි ඒ අය මහත් වුණේ කියල හිතාගන්න බැරි එක. සාමාන්‍යයෙන් මහත අය මහත වුණු ගමන් කරන දෙයක් තමයි මොකුත්ම නොකා ඉන්න එක. එහෙම වෙලා නින්ද නොගිහින්, දවසේ වැඩ කටයුතු ඔක්කොම අවුල් වුණාම ඒ අය ආයෙත් සාමාන්‍යයෙන් කනවටත් වැඩිය කාලා තවත් මහත් වෙනවා. අන්න ඒ නිසාම අපි මේ කියන්න හදන්නෙ ඔයාලා මහත් වෙන්නට හේතු වුණු කාරණා ටික. ඔයාලා මහත නැතත් ඔයාලට මහත යාළුවෙක් ඉන්නවානම් එයාට පේන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම මේ කාරණා නිසා මහත් වුණු කෙනෙක් ඉන්නවානම් මේ අවුල් ටික හඳුනාගෙන මහත් බවින් යම් තරමකට හරි මිදෙන්න උත්සාහ කරන්න. නිරෝගීව ඉන්න.

විශ්වාස කරපු කට කතා

සමාජයේ එක එක කටකතා තියෙනවානෙ. ඔය කටකතාවලින් වැඩිපුරම ප්‍රචලිත වෙන්නෙ මොනවාද? විශ්වාස කරන්න අමාරු දේවල්. සාමාන්‍යයෙන් මහත කෙනෙකුට කෙට්ටු වෙන්න කියල ලැබෙන උපදසේ මොනවාද? අඩුවෙන් ගුණදායී කෑම කන්න, ව්‍යායාම කරන්න වගේ දේවල්නෙ. නමුත් අපි මේ කියන්නෙ විශ්වාස කරන්න අමාරු කටකතා ගැන. ගෙදර හදාගත්තු බෙහෙත් ජාති වගේම සාමාන්‍යයෙන් අහන්න නොලැබෙන විදියෙ දේවල් නිසා ගොඩක් අය අර අපි මුලින් කියපු සරළ දේවල් නොකර මේ අමුතු දේවල් කරන්න ගිහින් නිකරුණේ ශරීරය මහත් කරගන්නවා. සමහර විට මේ කියන කටකතාවලින් හානියක් නොවුනත්, ඒවයින් ලැබෙන මානසික උත්තේජනය නිසාම සමහරු ආහාරය පාලනය ගැන​ නොහිතා විහින් මහත් වෙනවා.

නින්ද මදියි

නින්ද මදි වීමත් මහත් වෙන්නට ප්‍රධානම හේතුවක්. නින්ද මදි වුණාම අපිට සිද්ධ වෙන ප්‍රධානම දේ වෙන්නෙ විඩාබර වීම. මේ විඩාබර වීම මගහරින්නට මොළයෙන් අපි තවත් කැලරි සිරුරට ලබාගන්නට පොළඹවනවා. ඒ නිසා තමයි රෑට ඇහැරිලා ඉද්දි අපිට නිකමට ගිහින් ෆ්‍රිජ් එකේ දොර ඇරලා බලන්න හිතෙන්නෙ. අන්න ඒ නිසා සිරුරට නින්ද මදි කරගන්න එක බඩ ඉදිරියට නෙරා එන්න තරමේ ප්‍රශ්නයක් වේවි. අන්න ඒ නිසා රෑට ඇහැරිලාම ඉන්නවානම් දැනෙන කෙටි බගින්නට කන්න පළතුරක් ලඟ තියාගන්න.

කන මිතුරෝ

ඔයාටත් ඉන්නෙ හොඳට කන බොන මිතුරෝ නම් ඔයාගෙත් බඩ ඉදිරියට එන්නට එය හේතුවක් වේවි. බලන්න යාළුවොන්ගෙත් බඩ වැඩියි නම්, කට්ටිය නිතරම එකතු වුණාම කරන්නෙ කන බොන එක නම් ඉතිං ​මේ කාරණාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. අපි කියන්නෙ මෙහෙම යාළුවොන්ව ආශ්‍රයෙන් ඈත් කරන්න කියලා නෙමෙයි. අපි කියන්නෙ මෙහෙම යාළුවොන්වත් යහමගට ගන්න කියලයි. කෙළින්ම ජිම් යමු කියන අදහස ඔලුවට දාන්න උවමනා වෙන්නෙ නෑ. යාළුවො එක්ක ඉන්ඩෝර් ක්‍රිකට් ගහන්න වගේ දේකට එකඟ කරවාගෙන තරමක් ගුණ දේවල් කන්න බොන්න පුරුදු වුණාම හරි.

එක තැනක

ඔයාගෙ මහත් වීමට එකම තැනක දිගු වෙලාවක් ඉන්න එකත් හේතුවක්. ඒකට ඉතිං කරන්න දෙයක් නෑ බොහෝවිට. මොකද බොහෝදෙනෙක් නිතරම එකම තැනක රැඳෙන්නෙ රැකියාව නිසානෙ. රැකියාව වෙනුවෙන් එකම තැනක වාඩි වෙලා වැඩ කරන එක සිරුරට හොඳ නැති නිසාම අපිට පුළුවන්. විනාඩි තිහකට පමණ වතාවක් පොඩ්ඩක් ඇවිදලා එන්න. ඒක සිරුරට වගේම මනසටත් හොඳයි. එකම තැන වාඩි වෙලා ඉන්න නිසා තරමක් අඩුවෙන් කෑම කන්න. ඒ වගේම රැකියාවට එද්දි වගේම රැකියාව අවසන් වෙලා යද්දි පොඩ්ඩක් දුර ඇවිදින්නත් පුළුවන්.

කම්මැලිකම

කම්මැලිකම නිසාත් මහත් වෙනවා. පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න කම්මැලිවුනාම මහත් වෙන එක අහන්නත් දෙයක්ද? පඩි පෙළ නගින්න කම්මැලි නිසා ලිෆ්ට් එකෙන් යනවා, පොඩි දුරක් පයින් යන්න අකමැති නිසා ටුක් එකක් යනවා වගේම, අතේ ගාගෙන කන්න අකමැති නිසා තෙලේ බැදපු ෂෝට් ඊට්ස් කනවා. ඉතිං මහත් වෙන එක අහන්නත් දෙයක්ද?

අවේලාව

අපි මේ කියන්නෙ අවේලාවෙ කරන අනිත් වැඩ ගැන නෙමෙයි. අවේලාවෙ කරන කෑම ගැන. ප්‍රධාන වේල් තුන ආහාර ගන්න එක අපි සාමාන්‍යයෙන් කරන දෙයක්නෙ. කෙට්ටු වෙන අයට දෙන උපදෙසක් තමයි වේල් පහක් විතර කෙටි ආහාරයක් පළතුරක් වගේ දෙයක් කන්න කියන එක. ඒ කියන්නෙ ලොකු ප්‍රධාන වේල් මගහැරලා, බත් පාන් වගේ දේවල් මගහැරලා.ඒ වුනත් අපේ අය මහත් වෙන ප්‍රධානම හේතුවක් තමයි මේ ප්‍රධාන ආහාර වේල් තුන කාලා ඉවර වෙලා, ඒ අතරටත් තවත් ආහාර ​ගන්න එක. ඒ දේවල් පළතුරක් වගේ ගුණ දෙයක් නොවී රෝල්ස් සමෝසා වගේ දෙයක් වෙන ඉඩ වැඩි නිසයි මේ මහත් වීම.

නොහිතන දේ

මහත් වෙන්න හේතුවක් විදියට අපි සාමාන්‍යයෙන් හේතුවක් විදියට නොහිතන දේත් වෙන්න පුලුවන්. ඔයා මහත් වෙන්නෙ නෑ කියලා හිතාගෙන නිතරම කන බොන දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගෙ උප්පත්තියෙන්ම ඔයා මහත් වෙන කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒක ඔයා විසින් ක්‍රියාත්මක වෙලා අඩු කරගන්නෙ නැත්තං දිගටම ඔයා මහත් වේවි. ඒ වගේම අපි මින් පෙර ගත්තු මොකක්හරි බෙහෙතක අතුරුඵලයක් වෙන්නත් පුලුවන්. කවුද දන්නෙ? අපි නොහිතන දේ හේතු විදියට තියෙන්න පුළුවන්නෙ…

Related Articles