Home Health & WellnessBeauty Care ඔයාගෙත් නිය පෙළ ආරක්ෂා කරගන්න මේ දේවල් කරන්න

ඔයාගෙත් නිය පෙළ ආරක්ෂා කරගන්න මේ දේවල් කරන්න

by LADY.LK

කාන්තාවන් විලාසිතාවට ආසයි. විලාසිතා කරන්න හැඩට ඉන්න ඕන කරන්නෙ ලස්සන ඇඟක් සහ සුදු මූනක් විතරක් නෙමෙයි. කියුටෙක්ස් පුරවලා වහගත්තත් පිරිසුදු සහ ලස්සන නිය පෙළක් කියන්නෙ හැඩට පිරිසුදුවට ඉන්න ඕනම කාන්තාවකගේ සිහිනයක්. අපි අද Lady.lk තුළින් කියන්නට යන්නේ අන්න ඒ ගැන. ඔබේ නියපොතුවල පිරිසුදු බව ගැන ඔබ සිතිය යුත්තේ කො​හොමද කියන එක ගැන. ඒ වගේම නියපොතුවලට එන ලෙඩ රෝග ගැන සහ ඒවයෙදි කළ නොකළ යුතු දේ ගැන. ඉතිං මේ සටහන නිය පෙළ පිළිවලට සහ ආරක්ෂාකාරීව පවත්වා ගෙන යන්නට කැමති හැම කාන්තාවකටම වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. 

ඔයාගෙ නිය පෙළ දිහා හොඳින් බලන්න. ඒවා ශක්තිමත්ද? නිරෝගියි කියා ඔබට පෙනෙනවාද? කඩතොළු තිබෙනවාද? නැමුම් තිබෙනවාද? සුදු පැහැ ලකුණු තැන තැන තිබෙනවාද? මේ අතරින් බොහෝමයක් දේවල් සාමාන්‍ය නිය ආරක්ෂාවකින් මකාගන්නට පුළුවන් වුණත් මෙයින් ඇතැම් දේ ඔබේ සිරුරේ පවතින පෝෂණයේ අඩුපාඩුම වෙන්නට පුළුවන්. 

ගනං ගන්න

අපි මේ සඳහන් කරන දේවල් දැක්කොත් ගනං නොගෙන ඉන්න එපා, ගොඩ බෙහෙත් කරන්නත් එපා. මේ වගේ අවස්ථාවක වෛද්‍යවරයෙක් මුණගැසීම නුවණට හුරුයි. වඩා හොඳ වන්නේ චර්ම රෝග විශේෂඥයෙකු හමුවීමයි. එහිදී බොහෝ විට තත්ත්වය විටමීන ඌනතාවයක් නම් බයෝවිටා වැනි විටමීනයක් නිර්දේශ කරන්නට ඉඩ තිබෙනවා. නමුත් ඔබ මෙවන් අවස්ථාවක විශේෂඥයෙකු මුණගැසීම ඉතා වැදගත්.

නිය පොත්තක හෝ කිහිපයක වර්ණය වෙනස් වුවහොත්

සාමාන්‍ය නිය හැඩය වෙනුවට අසාමාන්‍ය නිය හැඩයකට ලක් වුවහොත්

නියපොත්ත ඝනකම වුවහොත් හෝ සිහින් වුවහොත්

නියපොත්ත නියමලෙන් වෙන් වුවහොත්

නියපොත්ත වටා ලේ ගැලීමක් සිදු වුවහොත්

නියපොත්ත අවට අධික වේදනාවක් දැනෙනවා නම්

සාමාන්‍යයෙන් කල් යද්දි ඇඟිල්ල ඉක්මවා වැඩෙන නියපොත්තක් එසේ නොවැඩේනම්

මෙන්න මෙවන් අවස්ථා ගනං නොගෙන නම් ඉන්න එපා. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවට යන්න.

බැරි වැඩ

මේ කියන්න යන්නෙ ඔයාට කරන්න බැරි වැඩ ගැන නෙමෙයි. නියපොත්තකට කරන්න බැරි වැඩ ගැන. සාමාන්‍යයෙන් කතාවට කියන්නෙ නියපොත්තෙන් කරන්න තියෙන වැඩේ පොරවෙන් කරන්න ඉඩ තියන්න එපා කියලයි. නමුත් අපි නම් කියන්නෙ ඒ උපමා පැත්තකින් තියලා, කරන්න අපහසු වැඩ නියපොත්තෙන් නොකර ඉන්න තරමට හොඳයි කියලයි. සමහර යකඩ භාන්ඩවල මළකඩ සූරන්නට, ටින් හෝ බෝතල් විවර කරන්නට, අවට ගෑවිලා තියෙන ගම් සුද්ධ කරන්නට, ෆෝන් කාඩ් හෝ වෙනත් කාඩ්පත්වල සූරන්නට ඇති තැන් සූරන්නට, යන්න එපා. ඒ දේවල් වෙනුවෙන් තමුන්ගෙ ශරීර අවයවයක් වෙනුවට වෙනත් උපාංගයක් භාවිතා කරන්න. 

අත්වැසුම්

සාමාන්‍යයෙන් තමන්ගෙ නිය පෙළ ගැන හොඳින් හිතන කාන්තාවක් අනිවාර්යයෙන්ම ගෙදර දොර වැඩ කටයුතුවලදී අත්වැසුම් භාවිතා කරනවා. තෙල් ඉඳුල් භාජන සෝදන්නට යොදන රසායනිකයන් අත්වලට හානිකර විය හැකියි, ගෙවතු වගාවන්වලදී පස් මත විෂබීජ වගේම යම් යම් තියුණු ගල් කැබලි නිසා හානි විය හැකියි, ඒ වගේම රෙදි සේදීමේදී වගේම නිවස පිරිසුදු කිරීමේදිත් ඔබ නොසිතන හානි විය හැකි නිසා නිය පෙළ ආරක්ෂා කරගන්නට ගෙදර දොර වැඩ කටයුතුවලට භාවිතා කළ හැකි සාමාන්‍ය රබර් අත් වැසුම් භාවිතා කරන්නට පුළුවන් නම් කදිමයි. 

සාමාන්‍ය විදිය තමයි හොඳම විදිය

සාමාන්‍යයෙන් නිය පෙළ ලස්සනට තියාගන්නට කරන්නේ මොනවද? සතියකට හෝ දෙකකට වතාවක් ක්‍රමවත්ව නිය කපනයකින් වැඩුනු නිය කපා, කඩතොළු සුමට කර, පිරිසුදුවට තබාගන්නවා. මේ හැරෙන්නට ඔබ නොකළ යුත්තේ මොනවාද? කිසිසේත්ම නියපොතු කන්න එපා. සමහරවිට ඔබත් නොදැනිම ඒ දේ සිද්ධ වෙනවා නම් එය විෂාදයේ මූලික ලක්ෂණයකුත් විය හැකියි. නිය කෑම නිසා නියමලට දැඩි ලෙස හානි සිද්ධ වෙන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම ලොකු බරක් දීගෙන නියපොතු පීරි ගාමින් දවස පුරා ඒ වෙනුවෙන් වෙහෙසෙනවා නම් එය නිය පෙළට වදයක්. එනිසා එවන් කටයුත්තක් කරනවා නම් නේල් සලෝන් එකකින් ඒ කටයුතු කරගන්නවා හැරෙන්නට දැඩි ලෙස නිය පෙළට වද දෙන්නට එපා. මොකද සාමාන්‍ය විදිය තමයි හොඳම විදිය.

රසායනික දේ අවම කරන්න

අපි මෙතනදි රසායනික දේ කියලා කියන්නෙ ඇසිටෝන්වලට. ඇසිටෝන් බහුලවම අඩංගු වෙන දෙයක් තමයි කියුටෙක්ස් රිමූවර්. ඒ නිසා ඔයා භාවිතා කරන කියුටෙක්ස් රිමූවර් එක ඇසිටෝන් රහිතයිද කියන එක ගැන සැළකිලිමත් වෙන්න. ඒ වගේම නිතරම කියුටෙක්ස් රිමූවර් භාවිතා කරන්නත් එපා. සාමාන්‍යයෙන් නිය ආලේපනයක් ගැල්වුවාට පස්සෙ එය යම් කලක් පවතින නිසා ඉවත් කරන්න හදිසි නොවී සිටින තරමට හොඳයි. එහෙමයි කියලා, කියුටෙක්ස් රිමූවර් සමට හානිකර යැයි සිතා නියපෙළ සූරා පිරිසුදු කරන්නත් එපා. එය නියපොත්තට දැඩි ලෙසින් හානිකර වේවි.

පෝෂණය ඉතා වැදගත්

සාමාන්‍යයෙන් නියපොතුවල මතුවෙන සුදු පැහැ කුඩා ඉරි බොහෝ දෙනෙකු බය වෙන කාරණයක්. නමුත් එය සුළු සුළු පෝෂණ උණතා නිසා ඇති වෙන්නක්. එය ඔබේ නිය වර්ධනය වීමත් සමග ඉවත් වී යාවි. නමුත් ඔබ ඔබේ පෝෂණ උනතාවය ගැන සිත යොමු කළ යුතුයි. එවැනි පෝෂණ උනතා මගහරවන්නට අවශ්‍ය දේ සිදු කළ යුතුයි. එනිසා බහුලවම මෙයට හේතු විය හැකි විටමින්, ඛනිජ ලවණ, කැල්සියම්, සින්ක් සහ යකඩ අඩංගු ආහාර ඔබේ ආහාරයට එකතු කරගත යුතුයි. 

මැනිකියෝ පෙඩිකියෝ

ඩර්මටොලොජි සහතිකය ලත් අයගෙන් පමණක් මැනිකියෝ සහ පෙඩිකියෝ සේවා සඳහා යොමු වෙන්නට මතක තියාගන්න. ලාබ නිසා හෝ මිතුරියක නිසා තමුන්ගේ ශරීරයට සේවාවක් ලබා දෙන ආයතනයක් තෝරාගන්නට එපා. අනිවාර්යයෙන්ම අදාළ සහතික සහ පුහුණු සේවකයින් සිටිනවාද කියන විශ්වාසය ඇතුව මෙවන් තැනකට යන්න. ඒ වගේම කිසිම මොහොතක ඔබේ නිය මහ ඉවත් කරන්නට එපා. එල ඔබේ සම සහ නිය පොත්ත අතර සවිකිරීම් කාරකය විදියට වැඩ කරනවා. එය ඉවත් කිරීම නිය පෙළට නොයෙක් හානි සිදු කරන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම මේ වෙනුවෙන් භාවිතා කරන සියළු උපකරණ ජීවානුහරණය කළ පිරිසුදු උපකරණ බවට තහවුරු කරගන්න. මෙය ඔබේ සම සමගින් සිදු කරන ක්‍රියාවක් නිසා ආසාත්මිකතා මෙන්ම බෝවන රෝගද නොයෙක් විට ඇති විය හැකියි.

ඉතිං අත් අගිස්සේ තිබුණා කියා, පා අගිස්සේ තිබුණා කියා කිසිසේත්ම ඔබේ කදිම නිය පෙළ නොසලකා හරින්නට එපා. එය ඔබේ ලස්සන තවත් උස් කරවන දෙයක්.

Related Articles